Loading...
බත් කෑවත් කල්පනාවෙන් කැඩුණු හාල් කෑම හොඳ නෑ ගුණ රතු නාඩු අපි අහාරයට ගන්න ඕන බත් ගැන ඖෂධීය රහස් ටිකක් මෙන්න.
පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිටම බත බුලතින් සශ්‍රීකව තිබු බවට ඉතිහාසය සාක්ෂි දරයි. ක්‍රි.පූ. අටසිය වන සියවසටත් ඉපැරණි කාලයක සිටම වී ගොවිතැන මෙරට ප්‍රධාන කෘෂිකර්මාන්තය බවට පත්ව තිබූ බව පැවැසෙයි. මෙලෙස එදා සිට අද දක්වාම සහලින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී
ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වුවද වර්තමානය වන විට බත් ආහාරයට ගන්නා බොහෝ දෙනෙකුට දියවැඩියාව, අධික තරබාරුව, රුධිරයේ කෙලෙස්ට්රෝල් ප්‍රමාණයේ ‘ටී.ජී’ ප්‍රමාණය (triglyceride - ට්‍රයි ග්ලිසරයිඩ් ප්‍රමාණය) ඉහළයාම වැනි රෝග තත්ත්වයන් බහුලවම දක්නට ලැබීම තරමක් පුදුම සහගතය.
සාමාන්‍ය පුද්ගලයෙක් තම ශරීරයට ලබා ගත යුතු ශක්ති ප්‍රමාණයෙන් සියයට හැටක පමණ ප්‍රමාණයක් පිෂ්ට ධාතුවෙන් ලබා ගත යුතු බව සඳහන් වුවද සමබල ආහාරයක් ලබා ගැනීමේ දී පිෂ්ටයෙන් ලබා ගන්නා ශක්තිය අනවශ්‍ය ලෙස ලබානොගැනීමටත් වගබලා ගත යුතුය. ඒ මන්ද යත් පිෂ්ටය සහිත ආහාර වැඩිපුර ගැනීම නිසා ඉහත කී රෝග වැලැඳීමේ හැකියාව වැඩි බැවිනි.
ලංකාවේ භාවිත වූ පාරම්පරික සහල් වන සුවඳැල්, කළු හීනටි, මා වී, පච්චපෙරුමාල්, කුරුලු තුඩ, රත්දැල්, මඩතවාළු ආදී සහල් වර්ග ජනතාව අතර මූලික ස්ථානයක් ගෙන තිබුණි. මෙම පාරම්පරික සහල් වර්ගවල පෝෂ්‍ය පදාර්ථ ගුණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සහල් පර්යේෂණ ආයතනය මඟින් පර්යේෂණ කර පෙන්වා දී ඇත. මේවායේ ඇති බ්ලූටමික් අම්ලයත් (සිරුරට අවශ්‍ය අම්ලයකි) ඉතා ඉහළ අගයකින් යුත් විටමින් හා ඛණිජ ලවණ ප්‍රමාණයත්, සිරුරට අවශ්‍ය කෙඳි ප්‍රමාණයත්, ඉහළ මට්ටමකින් යුතුව පවතින අතර මෙම සහල් වර්ග අනුභව කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. මේ අනූව බලන කළ ශ්‍රී ලාංකික සමාජය බෝනොවන රෝගවලින් වළක්වාලීමට සහල් මඟින් එකල විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව පැහැදිලිව පෙනීයන කරුණකි.
සහල්වල අඩංගු පෝෂණ පදාර්ථ
සහල්වල පෝෂණය දෙස බලන විට ,පිෂ්ට ධාතුව -සියයට 80 ක් ද ප්‍රෝටීන් - සියයට6ත්7ත් අතර ප්‍රමාණයක්ද කෙඳි ප්‍රමාණය සියයට 1 සිට 1.3 දක්වාද තෙල් ප්‍රමාණය සියයට දශම 7ක් වශයෙන් ද බ්ලූටමික් අම්ලය වැඩි ප්‍රමාණයක් ද අඩංගු වේ. මීට අමතරව ඛණිජ ලවණ හා විටමින් වර්ග විශාල වශයෙන් ද අඩංගු වේ. මේවා අපි ලබා ගන්නා සහල් අනූව වෙනස් වේ. තවද සහල්වල ‘සෙලනියම්’ නම් මුල ද්‍රව්‍ය සියයට 27 ක් පමණ අඩංගු වන අතර මෙම මුල ද්‍රව්‍ය පිළිකා වළක්වා ගැනීමටත් හෘද රෝග වළක්වා ගැනිමටත්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් වළකා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් බව සොයා ගෙන ඇත.
එලෙසම ක්ෂුද්‍ර පෝෂක ගණනාවක් සහල් තුළ අඩංගු වන අතර මිනිසා ආහාරයට ගන්නා එක බත් කෝපයකින් මැංගනීස් ක්ෂුද්‍ර පෝෂක පදාර්ථය මිනිස් සිරුරට ලබා දෙයි. මෙය මිනිස් සිරුරේ ස්නායු හා ලිංගේන්ද්‍රයන්ගේ පෝෂණය හා ක්‍රියාකාරිත්වය සඳහාත් සිරුරේ අති විශාල එන්සයිම ප්‍රමාණයක් නිපදවීමටත් අවශ්‍ය වේ. සහල්වල ඇති පයිටෝ කෙමිකල්ස් (phyto cemicals) මඟින් සිරුරේ හෘද රෝග සහ කොලොස්ට්‍රෝල් ඇතිවීම වළක්වා ලීමෙහි හැකියාවක් පවතී. එලෙසම මෙහි ප්‍රති ඔක්සිකාරක ගුණය හෙවත් ඔක්සිජන් උරා ගැනීමේ හැකියාව (anti oxidant) අඩංගු වේ. අනෙක් අතට බලන විට සිරුරට අවශ්‍ය ප්‍රොස්පරස් ප්‍රමාණය, යකඩ, විටමින් බී සික්ස්, බී ත්‍රී, බී වන් ආදී මිනිස් සිරුරට අවශ්‍ය විටමින් සංයෝග රැසක් පවතී. රතු සහල් පරිභෝජනය මඟින් සිරුරේ ඇතිවන පිළිකා සෑදීමේ අවධානම විශාල වශයෙන් අඩු කරගත හැකිවේ. මෙම කුරුට්ට සහිත සහල්වල ඇති තෙල් මඟින් හදවතට අහිතකර LDL කොලොස්ටරෝල් මට්ටම පහත දැමිය හැකි අතර හදවතට හිතකර HDL කොලොස්ටරෝල් මට්ටම (High density lipo protein) වැඩිකර ගත හැක.
වෙළඳපළට ගිය විට තද රතු හාල් (Whole grain), තනිකර සුදු හාල් (කුරුට්ට නොමැති), තම්බන ලද හාල්,තම්බා සකසන ලද සහල්-රතු නාඩු/සුදු නාඩු (par boild), යනා දී වශයෙන් සහල් වර්ග රැසක් දැක ගත හැක. මේවා අතුරෙන් වඩාත්ම ගුණ දායක වන්නේ රතු නාඩු ගණයට අයත් සහල්ය. එහි පෝෂණ ගුණය ඉතා ඉහළය. පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පවත්වා ගැනීමටත් තරබාරුකම අඩුකර ගැනීමටත් ඉක්මනින් බඩගිනි ඒම වැළැක්වීමටත් අවශ්‍ය ගුණය මෙම සහල් වර්ග සතුව ඇත. තද රතු සහල් ලෙස හඳුන්වන නිවුඩ්ඩ සහිත සහල් වර්ගවල හා තම්බන ලද රතු සහල් වල ඇති කෙඳි ප්‍රමාණය, විටමින් හා ඛණිජලවන ඉතා අධිකය.
මේ අනුව බලන කල කුරුට්ට සහිත සහල් ආහාරයට එක් කර ගැනීම සැම අතින්ම ගුණ දායකය. කුරුට්ට ඉවත් කරන ලද සුදු හාල්වල ගුණාත්මක භාවය මීට සාපේක්ෂව අඩුය. එමනිසා සුදු සහල් පරිභෝජනයට ගැනීම පිළිබඳ සලකා බැලිය යුතුය. සුදු සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි මට්ටම වැඩිවීමට සැමවිටම හේතු වේ. කෙදි මට්ටම අඩු නිසා බඩවැලේ ක්‍රියාකාරීත්වයට ද බලපෑම් ඇතිවීමට හේතු විය හැක. සුදු සහල් පරිභෝජනයට ගැනීමෙන් දියවැඩියාව සහ තරබාරුව වැනි රෝගවලට ගොදුරු විය හැක.
ශ්‍රී ලාංකිකයන්ට තිබෙන බලවත්ම බෝ නොවන රෝගී තත්ත්වය වන්නේ දිනෙන් දින රුධිරයේ සීනි මට්ටම වැඩිවන දියවැඩියා රෝගී තත්ත්වයයි. විශේෂයෙන්ම කුමන වර්ගයේ දියවැඩියා තත්ත්වයක හිටියත් රුධිරයේ සීනි මට්ටම වැඩිවීම පාලනය කර ගැනිම සඳහා ඔබගේ උසට, බරට, ක්‍රියාකාරීත්වයට, වැළැඳී ඇති දියවැඩියාරෝගී තත්ත්වයට ගැළපෙන සේ සකසා ගත් සමබල ආහාර වට්ටෝරුවට කුරුට්ට සහිත රතුහාල් එක්කර ගැනීමත් තම්බන ලද රතු සහල් නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීමත් හේතුවෙන් සිරුරේ සීනි පාලනය කර ගැනිමට ඉඩ ප්‍රස්ථා හිමිවේ. එමඟින් දියවැඩියා රෝගීන් වයසට යනවිට ඇතිවන බඩවැල්වල ක්‍රියාකාරීත්වයන්හි වෙනස්වීම් සඳහා වඩාත් සුදුසු වන්නේ කෙඳි සහිත රතුබත් වැනි පිෂ්ට ධාතුවකි. එමගින් මල බද්ධය වළක්වා ගැනුමට මහඟු රුකුලක් මෙම කුරුට්ට සහිත රතු සහල් ආහාරයට ගැනීමෙන් ස්වභාවිකවම ලැබේ.
එලෙසම රතු හාල් සහිත සමබල ආහාරවේලක් දිනපතා ලබා ගැනීමෙන් සිරුරේ බර අඩු කර ගැනුමට ද අවකාශ ලැබේ. සහල්වල සෝඩියම් මූල ද්‍රව්‍යය ඉතා අඩුවෙන් ඇති බැවින් රුධිර පීඩනය සහිත රෝගීන්ට ද බත් පරිභෝජනය ඉතා සුදුසුය. එලෙසම වකුගඩු රෝගීන්ට පෝෂණවේදීන් විසින් ලබා දෙන නිර්දේශ ආහාර වට්ටෝරුව තුළ බත් අඩංගු කර ඇත්තේ ද එහි සෝඩියම් මූල ද්‍රව්‍යය ඉතා අඩුවෙන් ඇති බැවිනි. කෙසේ නමුත් ගුණාත්මකව සහ ප්‍රමාණවත්ව පිසින ලද සුදු සහල් ද සමහර රෝගී තත්ත්වයන් සඳහා ප්‍රයෝජනවත් බව අප අමතක නොකළ යුතුය. කෙසේ නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අප ලබා ගත යුතු හොඳම සහල් වර්ගය වන්නේ කුරුට්ට සහිත රතු හාල් සහ ඒ ආශ්‍රිත ආහාර වර්ගය.
පුද්ගලයකු දිනකට ලබා ගත යුතු සහල් ප්‍රමාණය ගැන දැනුම්වත් වෙමු.
ප්‍රමාණාත්මක වශයෙන් සළකන විට දිනකට අඩි 5ත්6ත් අතර උස කිලෝ ග්රෑෑම් 63ත් 65ත් අතර පමණ බර පුද්ගලයකුට දිනකට ආහාර වශයෙන් ලබා ගත යුතු හාල් ප්‍රමාණය වන්නේ හාල් ග්රෑම් 300 ක පමණ ප්රමාණයකි. මෙය පුද්ගලයාගේ එදිනෙදා ක්‍රියාවලින් අනුවත් රෝග තත්ත්වයන් මතත් වෙනස් විය හැකි වුවත් නිරෝගී පුද්ගලයෙක් සඳහා ඉහත සඳහන් ප්‍රමාණයන් අදාළ වේ. වියළි හාල් කෝප්ප භාගයකින් කැලරි 130ක ප්‍රමාණයක් පුද්ගල සිරුරට සැපයේ.
සහල් පරිභෝජනය කරන විට ඔබ වඩාත් සැලකිය යුතු කරුණු කිහිපයකි.
* පිරිසුදු ජලයේ සහල් හොඳින් සෝදා හැරීමට අමතක නොකරන්න.
සහල් හොඳින් සේදීමෙන් සහල්වලට එන බැසිලස් ගණයේ බැක්ටීරියා වර්ග මෙන්ම පුස් වර්ග ද සමහර වෙළෙඳුන් එකතු කර ඇති රසායනික හා පාට වර්ග ද ඉවත් කිරීමට හැකියාව ලැබේ.
*බත් පිසීමේදී විශේෂයෙන්ම එම සහල්වලට නිවැරදි ප්‍රමාණයට ජලය යොදා උතුරා අවසන් වූ විට මද රස්නයේ වසා තැබීම සාමාන්‍ය පිළිවෙතයි. නමුත් අද රයිස් කුකර් විදුලි උපකරණ මඟින් බත් පිසීම සිදු කරන බැවින් සහල් ඇටය බත් බවට පත්කිරීමේ දී එය බෙරි බවට පත් නොකර ගැනීමට වඟබලා ගත යුතුය.
යම් හෙයකින් ජලය වැඩි පුරයොදා බත් බෙරි වුවහොත් එය ශරීරයේ සීනි මට්ටම වැඩි වීමට බලපෑ හැකි හේතුවක් විය හැක. නමුත් ජීරණයට පහසුවක් වේ.
* බත් පිස අවසන් වනතුරු හැදි මිටෙන් හා කෝටුවලින් කූරු ගෑමෙන් වැළකී සිටින්න.
මෙසේ කූරු ගෑමේ දී බත් ඇටය කැඩීමකට ලක්වේ. එය ද බත්වල ගුණාත්මක භාවයට හා පෝෂණයට බලපානු ලබයි.
* බත් වලට ගුණාත්මක භාවයෙන් යුතු පිරිසුදු තෙල් හැන්දක් එකතු කිරීම තුළින් බත් ඇට එකට ඇලීම වළකා ගත හැක.
පාරම්පරික සහල් සහ වෙළෙඳපෙළ් ඇති අනෙකුත් සහල්වල මිල ගණන් බැලූවිට කිලෝවක් රුපියල් 65 සිට 250 දක්වා වූ මුදලකට සහල් වර්ග අලෙවි වේ. මෙහිදී පෝෂණවේදීන් රෝගීනට ආහාර නිර්දේශ කිරීමේ දී බොහෝවිට සිදු වන්නේ මහජනතාව අතර වැඩියෙන්
භාවිතා වන මෙම සහල් වර්ග අනුව ලබා ගත යුතු ආහාරය නිර්දේශ කිරීමයි. වර්තමානයේ සහල් පරිභෝජනය කිරීම පිළිබඳ මිනිසුන් තුළ බියක් ඇතිව තිබේ.
සහල් නිෂ්්පාදනයේ දී යොදන රසායනික පොහොර සහ අධික ලෙස යොදන කෘමිනාශක සහ වල්නාශක අඩංගුවීම නිසා එම සහල් පරිභෝජනයේ දී සහල් තුළින් මිනිස් සිරුරට ඇතුළු වන ආසනික් හා කැඩ්මියම් වැනි රසායනික සංයෝග නිසා වකුගඩු රෝගී තත්ත්වයන්වලට මුහුණපෑමට සිදුවෙන බවයි. නමුත් ප්‍රමිතියෙන් යුතු සහල් භාවිතයත් නිවැරදි ආකාරයෙන් හා නිවැරදි ප්‍රමාණයෙන් සැකසූ කෘමිනාශක හා පොහොර යෙදවීමට කටයුතු කිරීමත් ඒ සඳහා අවශ්‍ය නිවැරදි අධීක්ෂණයත් ලබා දෙමින් ගොවි මහතුන් දැනුම්වත් කිරිමත් කළ යුතුම වේ. ඒ සඳහා සහල්වල ප්‍රමිතිය පරීක්ෂා කර නිර්දේශ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් රසායන විද්‍යාඥයන්ගේ දැනුම ලබා ගැනීම ද වැදගත් වේ.
අප කිසි විටෙක බියෙන් ආහාර ගත යුතු නොවේ. ඒ මන්ද යත් සහල් අපට අත්‍යවශ්‍ය ආහාරයක් වන බැවිනි. එය ගොවියාට ආදායම් මාර්ගයක් මෙන්ම රටට සම්පතක් වන බැවිනි.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
0 comments:
Post a Comment