Hela Rahas

Hela Rahas Official Web Portal

අතීතයේ මිනිසුන් නිර්මාංශ බව හෙළිවෙයි

අතීතයේ මිනිසුන්ගේ ජීවන රටා අධ්‍යනය කිරීමේදී අපට පොත්පත්වල බොහෝවිට දකින්න ලැබෙන්නේ දඬු මුගුරු පොරෝ අතින් ගෙන සතුන් දඩයම් කිරීමෙහි යෙදෙන මිනිසුන්ගේ ඡායාරූපයි. ඒ වගේම බොහෝවිට ඔවුන් යැපුණේ සතුන්ගේ මස් පුළුස්සා ආහාරයට ගෙන බවයි එම පොත්පත්වල සඳහන් වෙන්නේ.

කෙසේ නමුත් ඒ සියල්ලම බොරු බවට පත්කරමින්, ඉතාම ඈත අතීතයේ ජීවත් වූ මිනිසුන් බොහොමයක් මස් මාංශ ඉතාම අවම වශයෙන් ආහාරයට ගත් හෝ සම්පූර්ණයෙන්ම නිර්මාංශ පුද්ගලයන් බව පෝලන්ත විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකළ නවතම අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.

එම විද්‍යාඥයන් මෙම නිගමනයට එළඹී තිබෙන්නේ පෝලන්තයේ දකුණු ප්‍රදේශයෙහි නියෝලිතික යුගයේදී ජීවත් වූ ආදිතමයන්ගේ ජීවන රටාව වසර ගණනාවක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ අනුව ඔවුන් ඉතාම අවම වශයෙන් මස් ආහාරයට ගත් හෝ සම්පූර්ණයෙන්ම මස් ආහාරයට නොගත්, ශාක මත මූලික වශයෙන් යැපුණු පුද්ගලයන් බව තහවුරු වුනා.

ඔවුන් විසින් ඉතාම සූක්ෂමව එම කාලයේ ජීවත් වූ මිනිසුන්ගේ සහ සතුන්ගේ අස්ථි කැබලි ඉතාමත් දියුණු තාක්ෂණයන් උපයෝගී කරගෙන පරීක්ෂා කලා. එහිදී ඔවුන්ට ලැබුණු ප්‍රතිඵල පුදුමාකාරයි. ඒ මිනිස්සුන්ගේ ආහාර වේල මූලික වශයෙන් කිරි නිෂ්පාදන, බාර්ලි සහ තිරිඟු වලින් සමන්විත වී තිබුණා.

ඔවුන් සත්ව පාලනයෙහි යෙදී තිබුණා නම් ඔවුන් එම සතුන්ගෙන් ලබාගෙන තිබුනේ ලොම්, සම් සහ කිරි පමණයි. ඔවුන්ගේ දෛනික ජීවිතයට මස් අඩංගු වී නොතිබුණු බව එම පර්යේෂකයන් තීරණය කලේ ඔවුන්ගේ දත් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මිනිසුන් සුළු වශයෙන් හෝ සත්ව ආහාර ගැනීමට පුරුදු වීමට පෙර වසර 5000ක්‌ පමණ පුරාවට ඔවුන් සම්පූර්ණ නිර්මාංශ පුද්ගලයන් වූ බවත් පර්යේෂකයන් සොයා ගත්තා. වඩාත් සිත් ඇදගන්නා සුළු කාරණය වන්නේ ඊට සමාන ප්‍රතිඵලයක් අප්‍රිකාවේ වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් සම්බන්ධයෙන්ද හෙළි වීමයි.

එම පරීක්ෂණවලට අනුව අප්‍රිකාවේ වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් මූලික වශයෙන් ශාක සහ පොළොව තුළ වැඩෙන එළවළු කෝටු වල ගසා පිලිස්සීමෙන් ආහාරයට ගත් බව බව හෙළිවී තිබුනා.

එකල තිබූ වතුර හිඟකම මෙයට හේතුවක් විය හැකි බව විද්‍යාඥයන් පවසනවා. එනම්, එකම ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට ශාක වලට වඩා වැඩි ජලය ප්‍රමාණයක් සතුන් පරිභෝජනය කරන නිසා, වැඩි වතුර ප්‍රමාණයක් අපතේ යවමින් සත්ව ආහාර ලබා ගන්නවාට වඩා අඩු වතුර ප්‍රමාණයකින් වගා කොට ශාක ආහාර ලබා ගැනීම ඔවුන්ට වඩා හොඳ විසඳුමක් වුණා.

උදාරණයක් ලෙස සීරියල් කිලෝග්‍රෑම් එකක් ලබා ගැනීමට ඔබට වතුර ටොන් 0.4 -3ක් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන අතර හරක් මස් කිලෝග්‍රෑමයක් ලබා ගැනීම සඳහා හරකෙකු වෙනුවෙන් වතුර ටොන් 15ක්‌ පමණ වැය කිරීමට සිදුවෙනවා. මේ නිසා විද්‍යාඥයන් පවසන ආකාරයට අනාගතයේදීත් වතුර හිඟකමක් ඇති වුවහොත් මිනිසුන්ට සත්ව ආහාර වෙනුවට නිතැනින්ම ශාක ආහාර වලට යොමු වීමට සිදු වනු ඇත.