Hela Rahas

Hela Rahas Official Web Portal

අභයගිරිය ස්තූපය අසලින් කරඬුවක් හමුවෙයි

අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්තූපයේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමේදී කළ කැණීමකදී රනින් නිමකර ඇතැයි විශ්වාස කෙරෙන කුඩා කරඬුවක් සහ ආභරණ කිහිපයක් ඇතුළු පුරාවස්තු හමුවී තිබේ. අභයගිරිය ස්තූපයේ ඊසාන දිග දිසාවේ පහළම පේසා වළල්ලේ මුහුණත ගඩොල් වරියට යටින් තිබියදී කුඩා කරඬුව සහිත පුරාවස්තු හමුවී තිබෙන අතර එතැනම ඊට යටින් ගල් පුවරුවක් යට තිබී අනෙක් පුරාවස්තු හමුවී ඇත. ක්‍රිස්තු වර්ෂ දොළොස්වැනි සියවසට අයත් බවට සිතිය හැකි මෙම පුරාවස්තු අතර කරඬුවට අමතරව රනින් කළ බව පෙනීයන මුද්දක් ඇතුළු ආභරණ කිහිපයක කොටස් ලෝහමය කුඩා තහඩු කොටස් හා අස්ථියකින් තැනූ ආභරණයක කොටස් හා අස්ථි කොටස් කිහිපයක්ද වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘතියට අයත් පරික්ෂණාගාරයේදී සිදුකළ මූලික පරික්ෂණවලදී අනාවරණය කරගත් තොරතුරුවලට අමතරව තවත් වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රනින් නිමකර ඇතැයි විශ්වාස කෙරෙන කුඩා කරඬුව තුළ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට එක්ස් රේ පරික්ෂාවක් සිදුකළ යුතුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය හා මහාවිහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය කුලතුංග මහතා මෙසේ පැවැසීය. හමුවූ මේ පුරාවස්තු ගැන කාල නිර්ණය කර ගැනීමේදී අපට පහසුවක් වී තිබෙනවා, කලින් මේ පුරාවස්තු හමුවූ තැනම පොළොවේ පස්වලට යටවී තිබී හමුවූ මිනිසෙකුගේ ප්‍රමාණයට වඩා විශාල ශෛලමය බුදුපිළිමය, ඒ අසල කොටා තිබූ බුදුපිළිමය මෙතැනයි කියන සටහනේ අකුරු අයත් වන්නේ දොළොස්වැනි සියවසටයි. ඒ කියන්නෙ පොළොන්නරු යුගයටයි. මහාවංශයේ සඳහන් වෙනවා පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අනුරාධපුරයට ඇවිත් අභයගිරිය ස්තූපය ප්‍රතිසංස්කරණය කළ බව. මේ පුරාවස්තු තැන්පත් කර තිබුණු තැන් ගැන අවධානය යොමුකරද්දී ඒවා පොළොන්නරු යුගයට අයිති ඒවා බව පැහැදිලියි. හමුවූ මේ කුඩා කරඬුව තිබුණේ තවත් කරඬුවක් ඇතුළතයි. ඒක තිබුණෙත් තවත් කරඬුවක් ඇතුළතයි. රනින් කරවූ බව පෙනෙන මේ කුඩා කරඬුව විවෘත කරන්න අපේ පරික්ෂණාගාරයේදී දැරූ උත්සාහය අසාර්ථක වුණා. අපහසුවෙන් එය විවෘත කරන්න ගියා නම් ඒ කරඬුවට හානි සිදුවෙන්න පුළුවන්.

ඒ නිසා පරමාණුක බල අධිකාරියෙන් හෝ එවැනි වෙනත් ස්ථානයකින් එක්ස් රේ පරික්ෂණයක් කිරීමෙන් තමයි ඒ තුළ තිබෙන්නෙ මොනවද කියලා බලාගන්න වෙන්නෙ. බොහෝදුරට මේ පුරාවස්තු නිධන් වස්තු ලෙස තැන්පත් කළ ඒවා විය හැකියි. කොහොමවුණත් මට හිතෙන්නෙ, පූජනීය පුද්ගලයෙකුගේ භෂ්මාශේෂ හෝ අස්ථි කොටස් අවශේෂ මෙහි තැන්පත් කර තිබෙනවා විය හැකි බවයි. මිනිසුන්ගේ පයට නොපෑගෙන තැනක තැන්පත් කර තිබූ නිසයි එහෙම හිතෙන්නෙ. එතැනම පහළින් සළපතල මළුවේ ගල් පුවරුවක් යට තිබී හමුවූ පුරාවස්තු අතර රන් පැහැ ලෝහමය මුදු කිහිපයක් තිබෙනවා. ඒ වගේම රන් පැහැ කුඩා තහඩු කිහිපයක් තිබෙනවා. තවත් ඒවගේ පුරාවස්තු කිහිපයක් තිබෙනවා. අස්ථිමය වළලු කැබැලි කිහිපයකුත් තිබෙනවා. මේ සම්බන්ධව පූර්ණ පරික්ෂණයක් සිදු නොකොට වැඩි විස්තර ලබාදීමට හැකියාවක් නැතැයි කී මහාචාර්යවරයා එම පරික්ෂණ අවසන්වූ වහාම තොරතුරු මාධ්‍ය වෙත ලබාදෙන බව පැවැසීය.