Hela Rahas

Hela Rahas Official Web Portal

අවුකන බුදු පිළිම වහන්සේ නෙලූ බරණ ගල් වඩුවාගේ කතාව

“මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා” අපි මේ සිංදුව නම් ඕනතරම් අහල තියෙනවා. අද අපිත් යමු මේ විස්තරයෙන් අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා වගේම අවුකන බුදුපිළිමයේ ඉතිහාසය සොයාගෙන.

අපි මුලින්ම අවුකන පිළිමය නෙළුව ඒ මහා කලා කරුවා කවුද කියලා බලමු. අවුකන පිළිම වහන්සෙ නිමවූ ගල්වඩුවා “බරණ” කියන ගල් වඩවෙකු බවත්, ඔහුට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය “ ගල්වඩුවාගම ” නමින් අදත් ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස “අවුකන” නිර්මාණය වුන බව. ඒ කතාව අපි පසුව කතා කරමු.

සමභංග ඉරියව්වෙන් යුක්ත විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ තියෙනවා. ඉන් එක පිළිමයක් තමා අවුකන බුදු පිළිමය. අවුකන පිළිමය තියෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලා වැව දෙසට මුහුණලා.

දැන් අපි බලමු අවුකන බුදුපිළිමය ගැන ඉතිහාසය. මහාවංශයේ දැක්වෙන්නෙ, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා ඇති බව. ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයක්. මේ ප්‍රතිම වහන්සේ උසින් අඩි 38 අඟල් 10 ක්. සිරස් පත සමඟ උස අඩි 42 අඟල් 6 ක්. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් ඇති අතර, පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4 ක් ලෙස ගණන් බලා ඇත.

මේ සුවිසල් අවුකන පිළිමයෙ සුවිශේෂ ලක්ෂණයක් තමා එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සළකුණක් මතට වැටීමයි. මෙයින් පෙනී යන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙලීමට තරම් ගල් වඩුවා සමත් වී ඇති බවයි.

එය, හෙළ කලා කරුවාගේ විශ්මිත කලා කුශලතාවය මැනවින් ලොවට කියාපාන සාධකයක්. පුජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටි කර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යාමාන වෙනවා.දෙතිස්මහාපුරුෂ ලක්ෂණ-ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරුපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරුපයද නිරුපනය කල යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේනම් ප්‍රතිමාවක නිරුපනය කරන්නද?

මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.

ඒවා නම්, සුපුහුටි පාද, දික් විලුඹ, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්-පා, මත්තෙහි ගොප් ඇටය, සෘජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරි තිබෙන්නාවූ දෙඅතුල්- දෙපතුල් / දෙඅස්න්කූඨ පිටිකර ඇති බව / සිංහයෙකුට බඳු වූ ඌර්වකාය / පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව / රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව / සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව / ඌර්ණ රෝම ධාතුව / උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත්.

අවුකන පිළිමයෙ ඇති තවත් වැදගත් ලක්ෂණයක් තමා සිරුරේ බර දෙපා වලට සමසේ බෙදී යනසේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳි කර තිබීම. වම හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව “ කටක”මුද්‍රාව වන අතර, අකුණු හිතන් “අභය” මුද්‍රාව නිරූපනය වේ.

රැස් වෙහෙර ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. වඩාත් ප්‍රචලිත කතාවක් තමා මේ පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා ‍රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ආරම්භ කර ඇති බව. පලමුව පිලිමය නිමවන තැනැත්තා, “හූවක්” තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය.

කෙසේ වුනත් ‍රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ “හූ” හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත් තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත් කියනවා.ඒ කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස් වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ.

ඒ වගේම තමා රැස් වෙහෙර නැත්නම් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ විදියටමයි.අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස් වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙලා ඇත.

රැස් වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කෙනෙකු විය හැකි බව ඉතිහාඥයෝ කියනවා.

කොහොම වුනත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් විදියට බොදු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙනවා.අපෙ රටේ වටිනා උරුමයන් වන මේ හෙළ උරුමයන් මතුවටත් රැක ගැනීම අපි කාගෙත් වගකීමක්.