Hela Rahas

Hela Rahas Official Web Portal

අවුරුදු අට දාහක් පැරණි නගරයක් හමුවෙයි

ගල් යුගයේ මිනිසුන් ජීවත් වූයේ නිවාසවල නොව ගල් ගුහා වැනි ආවරණ සහිත ස්ථානවල බව පිළිගත් සාමාන්‍ය මතයයි. ඔවුන් කණ්ඩායම් වශයෙන් ගුහාවල අවිචාරී ලෙස ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෝකය පුරා රටවලින් ලැබේ. අප ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා වන බලංගොඩ මානවයා ද එලෙස ගල් ගුහා සිය වාසස්ථාන බවට පත්කරගෙන ජීවත් වූ මානව වර්ගයක් විය. ඔවුන්ට නූතනයේ මෙන් නගර තිබුණේ නැත. එකිනෙක ආසන්නයේ ගොඩනැගුණු නිවාස සහිත ගම්මාන තිබුණේ නැත. මේ ගල් යුගය අවසන් වී මිනිසා ශිෂ්ටාචාර ගතවීමත් සමග ක්‍රමයෙන් නිවාස සහ ගම්මාන බිහිවන්නට විය. නමුත් අදින් වසර 8000කට පමණ පෙර ගල් යුගයේ දී ද ගම්මාන නිර්මාණය කළ මානවයන් පිරිසක් පිළිබඳ අපූරු සාධකයක් නිරිත දිග බල්ගේරියාවෙන් හමුවී තිබේ. ඒ නිවාස 60කින් පමණ සමන්විත නව ශිලා යුගයේ ගම්මානයක් බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කළහ. ග්‍රීසියේ දේශසීමාව හරහා බල්ගේරියාවේ අගනුවර වූ සොෆියා දක්වා දිවෙන ස්ට්‍රැමා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතරතුර මුසාලිවෝ නගරය ආසන්නයෙන් මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙහි පුරාවිද්‍යාත්මක සාධක ඇති බව දැනගත් වහාම බල්ගේරියානු කෞතුකාගාරයේ ජාතික පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාඥයෝ එහි කැණීම් ආරම්භ කළහ. මෙය අද්විතීය සොයා ගැනීමකි. මානව ඉතිහාසයේ මෙතෙක් නොසිතූ සාධකයක් හමුවීමකි. මෙම ගම්මානය ඉදිකර තිබෙන්නේ ගොවිතැනින් ජීවත් වූ පිරිසක් විසින් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එසේ වුව ද ඔවුන්ගේ කැණීම්වලින් හෙළි වී ඇත්තේ සමාන්තර වීදි තුනක් ඔස්සේ නිවාස සමූහය අක්කර පහක් හෙවත් වර්ග මීටර් 20,000ක ප්‍රමාණයේ ඉදිකර තිබෙන බව ද තහවුරු කරගෙන ඇත. පුරාවිද්‍යාඥයන් මවිත කළ අනෙක් සොයා ගැනීම වූයේ මේ ගම්මානයේ තිබී ඇති දිය අගලයි. ඒ දිය අගල බෝට්ටු ගමනා ගමනයට ද යොදාගෙන ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත.

මෙහි සිදුකරන කැණීම්වල දී මනාව සැකසූ මැටි භාණ්ඩ මෙන්ම ආභරණ ද සොයගෙන තිබේ. නිවෙස් ද යම් සැලැස්මක් අනුව සකසා තිබෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙම ව්‍යාපෘතිය මෙහෙයවන මහාචාර්ය කෲම් බැව්වරෝ සහ බල්ගේරියානු විද්‍යා ඇකඩමියේ සාමාජික මහාචාර්ය නිකොලොව් පවසන්නේ මෙහි ඇති ඇතැම් නිවාස දෙමහල් නිවාස බවයි. එවායේ උස අඩි 26ක් පමණ වී ඇති බවත් පියසි දෙකකින් යුතු වහළක් පවා තිබී ඇති බවත් මහාචාර්ය බැච්වරෝ පවසයි. “මේ නිවාස අප පුදුමයට පත් කළා. ගොඩනැගිලි වරිච්චි සහ මැටිවලින් සකස් කර තිබෙනවා. බිත්තිවල ඝනකම අඟල් අටක් පමණ වෙනවා. විශාලත්වය වර්ග අඩි 328ක්. මේ නිවාස ඉදිකළ පැරණි මිනිසුන් ලී රාමු යොදා පසුව මැටි සහ ගොම මිශ්‍රකර බිත්ති කපරාරු කර තිබෙන බවත් පැහැදිලියි. මෙය ඉතාමත් හොඳින් සැලසුම් කළ ස්ථානයක් බව පැහැදිලියි.” පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ මෙය නගරයක් ලෙසිනි. යුරෝපීය ශිෂ්ටාචාර බිහිවීමට පෙර යම් දියුණුවකට පත්වූ මිනිස් කොට්ඨාසයක් විසින් මේ ස්ථානය ඉදිකරන්නට ඇති බවත් එය නගරයක් මෙන් තිබෙන්නට ඇති බවත් ඔවුහු කියති. දැනට ලැබී ඇති සාධක සියුම්ව පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ මෙම නිවාසවල දෙවැනි මහල ලෑලි යොදා සකස් කර තිබී ඇති බවයි. කෙසේ වෙතත් මෙම නිවාස පද්ධතියට යටින් තවත් සාධක ඇති බව දැනටමත් තහවුරු කරගෙන සිටින පුරාවිද්‍යාඥයන් අදහස් කරන්නේ ගැඹුරට පරීක්ෂණ කටයුතු පුළුල් කිරීම සඳහා මෙතැන ඇති නිවාස කොටස් ගලවා සුරක්ෂිතව ඉවත්කර සංරක්ෂණය කළ යුතු බවයි. කැණීම් සඳහා සහභාගී වූ සංඛ්‍යාව 130කි. ඉන් 30 දෙනෙක් පුරාවිද්‍යාඥයන් වීම විශේෂත්වයකි. බල්ගේරියානු සංස්කෘතික අමාත්‍යාංශය මෙම පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීම සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. (සජීව විජේවීර)