Hela Rahas

Hela Rahas Official Web Portal

ඇත්ත සල්මල මෙන්න

අපි දන්නවා අප මහා බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට මෙලොව උත්පත්තිය ලැබුවේ ලුම්බිණි සල් උයනේ සල් ගහක් පා මුලදී.ඒ වගේම අප මහා බුදුරජාණන්වහන්සේ දස බිම්බරක් මාර සෙනඟ පරාජය කරලා බුද්ධත්වය ලබා ගත්තේ ඇසතු බෝ රුක මුලදී.ඒ වගේම උන් වහන්සේ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර මලල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයන්නේ සල් ගස් සෙවණේ.

බෞද්ධයෝ විදිහට අපි උතුම් වෙසක් පොහෝ දින සමරන තෙමඟුලට සම්බන්ධ අසිරිමත් අවස්ථා දෙකකටම සල් ගස සම්බන්ධ වෙනවා.මේ නිසා අපේ පන්සල් වල වගේම සමහර ගෙවතු වලත් සල්ගහට විශේෂ තැනක්, පූජනීය පිළිගැනීමක් ලැබෙනවා.හැබැයි අපි මේ සල්ගහ කියල අදුනගෙන තියෙන්නේ නිවැරදිම සල්ගහද? ඒ ගැන අපි නුවණින් විමසා බලමු.ඊට කලින් කුඩා මතක් කිරීමක් තියෙනවා ඒ තමයි මෙතෙක් ඔබ අපේ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

බෞද්ධයෝ විදිහට අපේ වෙනත් ආගමිකයන්ට වඩා වාසනාවන්තයි. මොකද අපේ ශාස්තෘවරයාණන්වහන්සේ හැම දේම නුවණින් විමසා බලලා පිළිගන්න කියලා ශ්‍රාවකයෝ වන අපිට නිදහස ලබා දීලා තියෙන නිසා.මේ නිසා අපිට ධර්මය දිහාත් විමසුම් ඇසින් බලන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා.

අපි මුලින්ම සල් ගස ගැන ත්‍රිපිටකයේ සඳහන් වන වෙන එක ස්ථානයක් ගැන විශේෂයෙන් බලමු.ත්‍රිපිටකය අවස්ථා කීපයකදීම සල් ගස් ගැන සඳහන් වුණත් අපේ මේ ගවේෂණයට අතිශයින් වැදගත්වන එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්තාව ඇතුළත් වෙන්නේ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ.මේ සූත්‍රය තුළ අප මහා බුදු රජාණන්වහන්සේගේ මහා පරිනිර්වාණය, ඊට පෙර සහ පසු අවස්ථා විස්තර කෙරෙනවා.මේ සූත්‍රයේ පාඨයක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා.

“එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වම් ශ්‍රී පාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහ සෙයියාවෙන් සැතපුණෝය. එකල යමක සල්ගස් දෙක හැම තැනම අකලට පිපුණු මල් වලින් ගැවසී ගත්හ.ඒ ගස් දෙවියන් විසින් සොලවන ලදුව තථාගතයාණන් වහන්සේට පූජා පිණිස තථාගතයානන් වහන්සේගේ ශරීරය මත මල් වගුර වන්නාහුය.බොහෝසෙයින්ම මල් අතුලාක් මෙන් වගුර වන්නාහුය.නිරන්තරයෙන් හාත්පස මල් වගුරු වන්නාහුය.දිව්‍යමය වූ පරසතු මදාරා මල් ද අහසින් වැටෙන්නාහුය”

මෙහි සූත්‍ර පාඨය තුළ අපි අපේ මාතෘකාවට අදාලව අවධානය යොමු කරන්න ඕන වැදගත් කාරණා කීපයක් සඳහන් වෙලා තියෙනවා.

ඒ තමයි සල් මල් පිපුණේ අවාරයට කියන කතාව සහ මේ සල් ගස්වල හැම තැනම මල් පිපී මල් වලින් ගැවසී තිබුණා කියන කාරණාව.ඒ වගේම මේ ගස් දෙවියන් විසින් සෙලවීම නිසා ඒ මල් බුදුරජාණන් වහන්සේගේ සිරුර මත වැටුණා කියන කාරණාව.

මේ කාරණා තුන අපිට සැබෑ සල් ගස සොයාගෙන යන ගමනේ දී ඉතාමත් වැදගත් වෙනවා.

අපි දැන් බලමු අපි හැමෝම දන්න සල් කියලා හඳුන්වන ගහට මේ ලක්ෂණ තියනවාද කියලා.විශේෂයෙන්ම මේවගේ සල් ගහක් ගෙදර තියන කෙනෙක් ඉන්නවා නම් ඔබ දන්න සල් ගස් වල මේ ලක්ෂණ තියනවාද කියන එක කමෙන්ට් එකකින් දක්වන්න කියලත් අපි ඉල්ලීමක් කරන්න කැමතියි.

අපි දැනට සල් කියලා හඳුන්වන ගසේ වසර පුරාම මල් පිපෙනවා.මේ ගහට වාරයක් අවාරයක් කියලා කාලයක් නැහැ.නමුත් මහා පරිනිර්වාණ සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ සල් මල් පිපුණේ අවාරයට කියලා.ඒ වගේම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ගැන කියන තැන් වලදී සඳහන් වෙන්නේ මහමායා දේවිය ලුම්බිණි සල් උයනට ගියාම අවාරයේ මල් පිපුණු සල් ගහක් දැකලා ඒ සල් අත්ත අල්ල ගන්න හිත් පහල වුනා කියලා.එහෙම නම් අපිට පැහැදිලි වෙන දේ තමයි වර්තමානයේ අපි සල් කියලා භාවිතා කරන ශාකය සහ ත්‍රිපිටකය තුළ සල් කියලා හඳුන්වන ශාකය අතර යම් පරස්පරයක් තියෙනවා කියන කාරණය.

ඒ වගේම දැන් අපි සල් කියලා හඳුන්වන ගහක් දැකලා තියන ඕනෑම අයෙක් දන්නා දන්න දෙයක් තමයි, මේ ගහේ කඳ මත විතරයි මල් පිපෙන්නේ කියලා.මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ගස හැම තැනම මල් තිබුණයි කියන කතාවට අපි සල් කියලා හඳුන්වන ගහ ගැලපෙන්නෙ නැහැ කියන එක පැහැදිලි වෙනවා.ඒ වගේම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ගැන ආපහු මතක් කර ගත්තොත් කඳක් මල් පිපෙන ශාකයක අත්තක් අල්ලා ගන්න හේතුවක් තියෙනවාද කියන එක ඔබම කල්පනා කරලා බලන්න.

ඊළඟ කාරණාව තමයි වඩාත් වැදගත් ම කාරණවා.ඒ තමයි දෙවියන් විසින් පූජාවක් විදිහට සල් ගස් වල බුදුරජාණන් වහන්සේගේ සිරුර මතට වැටෙන්න සැලසුවා කියන එක.පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් අපි දැන් ව්‍යාහාර කරන සල් මල් වල බර.ඒ වගේම සල්මල් හැදෙද්දි සල් ගෙඩි වලිනුත් මේ ගහ පිරිල යනවා.ඒ ගෙඩිත් ඉතාමත් බරින් යුක්තයි. ඉතින් ඔබට නිකම්වත් හිතන්න පුළුවන්ද පිරිනිවන් මංචකයේ වැඩ වෙසෙන බුදුරජාණනවහන්සේට පූජාවක් විදිහට මේ මල් උන්වහන්සේගේ සිරුරට දෙවියන් පතිත කලා කියලා. ඒ වගේම හිතන්න පුළුවන් දේ තමයි ත්‍රිපිටකයේ සඳහන් වන සල් ගස්වල අතු සෙලවූවම මල් රැසක් වැස්සක් ආකාරයට බිමට පතිත වෙනවා කියන දේ.ඒ නිසා වෙන්න ඇති මහමායා දේවියට ලුම්බිණි සල් උයනට පිවිසුණු අවස්ථාවේදී සල් අත්තක් අල්ලන්න හිතෙන්නෙ ඇත්තේ.

දැන් ඔබට සීයට සීයක් පැහැදිලි ඇති මේ අපි ව්‍යවහාර කරන සල් ගස් වර්ගය ත්‍රිපිටකයේ සඳහන් වන සල් ගස් වර්ගය නෙමෙයි කියන එක.

දැන් අපි ඉදිරියේ බැරෑරුම් ප්‍රශ්න දෙකක් තියනවා. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු අප මහා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවට සම්බන්ධ සල් ගස මොකක්ද? ඒ වගේම අපි දැන් සල් කියලා ව්‍යවහාර කරන ගස් වර්ගයේ සුල මුල මොකක්ද කියන ප්‍රශ්න දෙක. අපි දැන් මේ ප්‍රශ්න දෙකට වෙන වෙනම උත්තර හොයමු.

මුලින්ම අපි මේ දැනට සල් කියලා හදුන්වන ශාකයේ සුල මුල ගැන හොයලා බලලා ඉමු.උද්භිද විද්‍යාඥයන්ට අනුව මේ අපි දැන් සල් කියලා වරදවා හඳුන්වන ගස් වර්ගයේ මුල් නිජබිම දකුණු ඇමරිකාව.ඔවුන් මේ ශාක වර්ගය සඳහා භාවිතා කරන්නේ කැනන් බෝල් කියන නම. සිංහලට ඒ නම හරවා ගත්තොත් කාලතුවක්කු උණ්ඩ ගස කියන නම.මේ ශාකයට මේ නම ලැබෙන්න හේතුව තමයි මේ ගහේ ගෙඩිය කාලතුවක්කු උණ්ඩයක හැඩහුරුකම ගැනීම. උද්භිද විද්‍යාත්මකව මෙම ශාකය හඳුන්වන්නේ කුරෝපිටා ගයනෙන්සිස් (Couroupita guianensis) යන නමින්.

මේ ගස ලංකාවට සහ ඉන්දියාවට හඳුන්වා දෙනු ලබන්නේ වර්ෂ 1881 දී විතර.සමහර වාර්තා වලට අනුව ඉන්දියාවටත් කලින් තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් විසින් මේ ශාකය මේ ශාකයම හඳුන්වා දෙන්නේ. මේ නිසාම ඒ කාලයේ ලංකාවේ සහ ඉන්දියාවේ දකින්න ලැබෙන ගස් වර්ග පිළිබඳව බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයින් සකසා ඇති නාමාවලිවල මෙවැනි ගසක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ.එම නාමාවලි දෙක පිළිවෙළින් Flora of British Ceylon සහ Flora of British India වෙනවා.

ලංකාව තුළ මේ කැනන් බෝල් ශාකය සඳහා සල් කියන නම යෙදුණේ නැහැ කියන්න ප්‍රබල සාක්කියක් අපිට පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් හමු වෙනවා. ඒ 1901 වර්ෂයේ දී පසු කලෙක පස්වැනි ජෝර්ජ් නමින් රජ වුණු යෝර්ක් හී ආදිපාදවරයා ලංකාවේ සංචාරයක පැමිණියාම එම සංචාරය සිහිපත් වීම සඳහා කැනන්බෝල් ගහක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී රෝපණය කරනු ලබනවා.එම අවස්ථාවේ දී විවෘත කරන ලද පැරණි සමරු ඵලකය අද දක්වාම දකින්න පුළුවන්.ඒ ඵලකයේ එම ගසේ විද්‍යාත්මක නාමය සහ සාමාන්‍යයෙන් ව්‍යවහාර වන ඉංග්‍රීසි නාමය සඳහන් කර අනතුරුව සිංහල නම ලෙස භාවිතා කර ඇත්තේ කුරෝපිටා යන නම පමණයි.ඒ වන විටත් මේ ගස සඳහා සිංහල නමක් ව්‍යවහාරයේ භාවිතා නොතිබුණු බවට මේ සමරු ඵලකය ඉතාමත් ශක්තිමත් සාක්කියක්.

එහෙම නම් දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති, අපි මේ සල් කියලා වැරදියට ව්‍යවහාර කරන්නේ කැනන්බෝල් ශාකයට කියන එක.

එහෙමනම් දැන් අපිට විසඳගන්න තියෙන ප්‍රශ්නේ තමයි බුද්ධ චරිතයට සම්බන්ධ සල් ශාකය මොකක්ද කියන එක.මේ ගැටලුව අපට ඉතා පහසුවෙන් විසඳ ගන්න පුළුවන්

මොකද ඉන්දියානුවන් අද දක්වාම මේ ශාකය සඳහා සල් කියන වචනය භාවිතා කරනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු සිදු වුණු ලුම්බිණි සල් උයන අද අයත් වෙලා තියෙන නේපාලය ඇතුළු උතුරු ඉන්දියාව පුරාම සල් වනාන්තර දැක ගන්න පුළුවන්.ඒ වගේම බුදුරජාණන් වගේ ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරානුවර තව නුවර තවමත් සල් ගස් දකින්නට ලැබෙනවා.මේ සල් වර්ගය සඳහා උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ෂෝරියා රොබුස්ටා (Shorea Robuta) යි.

ෂෝරියා රොබුස්ටා

මේ ශාකයේ ලක්ෂණ මෙන්න මේ විදියට පෙළ ගස්සවන්න පුළුවන්.මේ සල් ගසේ මල් හට ගන්නේ අප්‍රේල් මාසේ විතරයි.මේ නිසා වෙසක් මාසයේ මල් පිපෙනවා කියන්නේ අවාරයට මල් පිපීමක්. මේ ස්වභාවය ත්‍රිපිටකයත් සඳහන් වන සල් ගසේ ස්වභාවය එක්ක ගැලපෙනවා.

තේක්ක ගසක සමානකමක් දක්වන මේ සල් ගසේ අතු නොබෙදෙන කඳක් දකින්න පුළුවන්

ඒ වගේම මේ ගසේ පත්‍ර කැනන් බෝල් ශාක පත්‍ර වලට සාපේක්ෂව ඒ තරම් දිගටි හැඩයක් නොගන්නා අතර තරම ලා පැහැයක් ගන්නවා

තරමක් සුදු සුදු පැහැයෙන් යුක්ත වන මල්, පත්‍රවල ඇතුළට නැමී පවතිනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේ මල් හටගන්නේ අතු අග.මෙනිසා ශ්‍රී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය අවස්ථාවට සහ බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සල් වර්ගය මේ ශාක වර්ගය කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.

මේ වෙනකොට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරීන් නිවැරදි සල් වර්ගය රට පුරා බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බීජ ඔවුන් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන උද්භිද උද්‍යානය තුළ තවාන් දමා පැළ ලබා ගැනීම සිදු කරනවා.

අපි මේ ආකාරයෙන් පැහැදිලි කිරීමක් දුන්නට පැරණි සාහිත්‍යය ගැන වගේම ලංකාවේ ග්‍රාම නාම ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්ට සල් ගස ගැන මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි අපේ සන්දේශ කාව්‍ය වල සල් ගස් ගැන සඳහන් වෙනවා වගේම සල්පිටිය, සල්පිටි කෝරළය වගේ ග්‍රාම නාම මුණගැහෙනවා.

මේ දේවල් වලට පාදක වුණු සල් ගස් මොනවද කියන එක. මේ ප්‍රශ්න වලට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සේවය කරන මහාචාර්ය සිරිල් විජේසුන්දර පිළිතුරු ලබා දීලා තියෙනවා එතුමාට අනුව සල්පිටි කෝරළය සහ සල්පිටිය යන තැන්වලට අදාල වෙන ගස් වර්ගය හල්. හල්ගස් අපේ රටට ආවේණික ශාකයක්.සාමාන්‍යයෙන් ස ශබ්දය හ ශබ්දය බවට පත්වීම සිංහල භාෂාවෙ ස්වභාවයක්.මේ ගැන සිදත් සඟරාවේ පවා සඳහන් වෙනවා. සහල් කියන වචනය හාල් කියලා ව්‍යවහාරයට එක් වෙන්නේ මේ රීතියකට අනුව.හල් කියන වචනය සල් විදිහටත් භාවිතා වෙන්න පුළුවන්.

එහෙමන ඇතිවන ඊළඟ ප්‍රශ්නේ තමයි සන්දේශ කාව්‍යවල වර්ණනා කෙරෙන සල් ගස් වර්ගය මොනවාද කියන එක.මේකට උත්තරේ තමයි කටු ඉඹුල්.සාමාන්‍යයෙන් කටු ඉඹුල් කිව්වම අපිට මතක් වෙන්නේ අපාය වුණාට, අපිට මේ ලෝකය තුළදීත් ඒ නම තියෙන ශාක වර්ගයක් දැක ගන්න ලැබෙනවා. මේ ශාක වර්ගය සඳහාත් සල් මල් කියන වචනය ඉන්දියාවේ භාවිතා වෙනවා.මේ ශාකය සඳහා පැරණි උද්භිද විද්‍යාත්මක නාමය සල්මලියා මලබාරිකා (Salmalia malabarica) ලෙස භාවිතා වී තිබෙනවා .මේ උද්භිද විද්‍යාත්මක නාමය ලබා දෙන්නත් මේ ශාකය සඳහා සාමාන්‍ය වැසියන් භාවිතා කරන නම බලපාලා තියෙනවා.

පසු කලෙකදී මේ නම බොම්බැක්ස් මලබාරියා (Bombax malabarica) ලෙසට වෙනස් වෙලා තියෙනවා.රතු පැහැති ඉතාමත් ලස්සන මල් පිපෙන මේ ගස්වල මල් වැටීමේදී ගස යට පලසක් ආකාරයෙන් සකස් වෙනවා.මේ නිසා මේ ගසට සහ මල්වලට කවියන් අතිශයින් ප්‍රිය කරල තියෙනවා.නමුත් සාමාන්‍ය ජනතාවට කට ඉඹුල කියද්දී මතක් වෙන්නේ අපාය නිසා ඒ වෙනුවට සල්මල් කියන්න ව්‍යවහාරය යොදන්න ඔවුන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ මිනිස්සු තුළ තිබුණු මේ වැරදි මතය නිවැරදි කරන්න මුල් වුණු මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතාට ජාතියක් වශයෙන් අපි ණය ගැති බව කිව යුතු වෙනවා.