Hela Rahas

Hela Rahas Official Web Portal

ඇවිදින්න බැරි ගුරුතුමියගේ අපුරු පාසල

කවදාවත් පාසල් නොගිය, කවදාවත් දෙපයින් ඇවිද නොගිය, අඩි දෙක හමාරක් පමණ උසැති දිරිමත් කාන්තාවක්, වසර 19ක් පුරාවට පාසලක් පවත්වාගෙන යාම අපූරුම පුවතකි. “උත්සාහයෙන්, කැපවීමෙන්, ඉලක්කය කරා ගමන් කරන ඉතාමත්ම ජනප්‍රිය කතන්දරයක් ලෙසට, අපි ඉබ්බාගේ සහ හාවාගේ තරගය තුළින් හඳුනාගෙන ඇත්තෙමු. එවන් ගමනකින් ඉලක්කයක් කරා ගමන් කළ චන්ද්‍රිකා කුමාරි අපට හමුවන්නේ කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයෙනි. උසින් අඩි දෙකහමාරක් වන ඇය, දෙපා අප්‍රාණිකව උත්පත්තිය ලබා ඇති අතර, ඇයට ඇවිදීමට නොහැකිය ය. එහෙත් ඇය ඉතාමත් ශක්තිමත්, බුද්ධිමත් බවින් පිරිපුන් බව, ඇය සමග ගත කළ හෝරා කීපයේ දී අපි වටහා ගත්තෙමු. පෙර පාසල් තබා කෙදිනකවත් පාසල් නොගිය චන්ද්‍රිකා කුමාරි 40 වන වියෙහි පසුවෙයි. 1978 දී උත්පත්තිය ලබා ඇති ඇය, ඇති දැඩි වන්නේ, පවුලේ එකම දැරිය ලෙස ය. ඇගේ මව සහ පියා දෛනික වැටුප් ලබන සුළු රැකියාවල නිරතව සිටියහ. එදිනෙදා ලැබෙන මුදලින් ඔවුහු සිඟිත්තිය ඇති දැඩි කළහ. පාසල් යන වයස වන විට ඔවුන්, ඇය ළඟම පිහිටි පාසලට ඇතුළත් කිරීම සඳහා ඔසවාගෙන ගියහ. එහෙත්, ඇයගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇය භාරගැනීම වෙනුවට, පාසලට දරුවන් භාරගැනීම අවසන් කර ඇති බව දන්වමින් ඇය ප්‍රතික්ෂේප කළේය. චන්ද්‍රිකාගේ මව සහ පියා බොහෝ සේ අසරණ වූහ. ඔවුන්ට දුර බැහැර පාසලකට චන්ද්‍රිකාව ඇතුළත් කිරීමට තරම් හැකියාවක් නොතිබුණි. ඊට හේතුව ඇය ඔසවාගෙන යාමට සිදුවීමත්, වාහනයකින් එක්කරගෙන යාමට තරම්වත් වත්පොහොසත්කමක් චන්ද්‍රිකාගේ මව්පියන්ට නැති වීමත් ය.

චන්ද්‍රිකාට පාසලක් නොලැබුණු ද, ඇය ගෙදර තබාගෙන තමා දන්නා දේ කියාදීමට 6 ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගෙන ඇති චන්ද්‍රිකාගේ මව වන ඒ. පියසීලි මහත්මිය කටයුතු කළා ය. ඇය දන්නා තරමින් තම දියණියට අකුරු කියා දුන්නා ය. ඒ අතරතුර චන්ද්‍රිකාට වඩා අවුරුදු හතරකින් බාල දැරිවියක් ඇයට අකුරු කියා දුන්නාය. මේ සියලු උදව් ලබාගනිමින් ඉතාමත් හොඳින් සහ ඕනෑකමින් අකුරු ඉගෙන ගත් චන්ද්‍රිකා අවුරුදු 17, 18 වන විට ඉතාමත් හොඳින් ඉංග්‍රීසි, ගණිතය, පරිසරය, සිංහල යන විෂයයන් ඉතාමත් හොඳින් ප්‍රගුණ කළාය. ඇය ඉතාමත් අමාරුවෙන් සහ උවමනාවෙන් තමා උගත් දෑ තව කෙනෙකුට කියාදීමේ අරමුණින් ගමෙහි කුඩා දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කරනු ලැබුවාය. ඇගේ ඉගැන්වීම කොතෙක් දුරට සාර්ථකද යැයි අවබෝධ කරගත් නිසා ඇයට යම් කිසි මුදලක් දී අමතර පන්ති පවත්වන ලෙසට මාපියෝ ඉල්ලා සිටියහ. ඒ අනුව ඇය වසර පහක පමණ කාලයක් නිවසේ සිට දරුවන්ට අමතර පන්ති කළා ය. මේ අතරතුර 2000 වසරේදී ඇය තම නිවසෙහි ඉදිරිපස පෙර පාසලක් ආරම්භ කළා ය. එය නමින් “කින්නර” පෙර පාසලයි. දැනට මෙම පෙර පාසල ආරම්භ කර වසර 19ක් ගතව ඇත. ඒ කාලය තුළ ඇගෙන් ඉගෙන ගත් දරුවන් පිරිස දහසක් පමණ වේ. ඔවුන්ගෙන් වැඩිපිරිසක් උසස් අධ්‍යාපන කටයුතු කරන අතර, නිවේදන වෘත්තියෙහි නියැළෙන දැරිවියන් තිදෙනෙක් සහ විවිධ උසස් වෘත්තීන්වල නිරත වන අය සිටින බව ද, ඇය කියන්නීය. ඇගේ පෙර පාසල මෙන්ම, ඇගේ අමතර පන්තිවල ඉගෙන ගන්නා දරුවෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්ව සිටිති. චන්ද්‍රිකා කුමාරි ඉතාමත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ගොඩනගාගත් පෙර පාසල සඳහා විවිධ අයගේ උදව් උපකාර විටින් විට ලැබුණි. එහෙත් ඇගේ පෙර පාසල තවමත් ලියා පදිංචි කර නැත. ඊට බලධාරීන්ගේ ඇස නොගැටීම කණගාටුදායක කාරණාවකි. ඇය ආබාධිත තත්ත්වයේ පසු වීමත්, ඇය අධ්‍යාපන සුදුසුකම් එනම් විභාගවලින් සමත්වී නොමැති වීමත් නිසා ඇයට පෙර පාසල ලියාපදිංචිය ලබාදීමට නිලධාරීන් කටයුතු යොදා නැත. එහෙත්, මේ වන විට ඇය විවිධ පාඨමාලාවන් හදාරමින් පෙර පාසල් පුහුණුව ලබමින් විවිධ ඇගයීම්වලට ද ලක් වෙමින් සිටින ඉතාමත් දක්ෂ ගුරුවරියක ලෙස දස්කම් පාන්නීය.

ඇය පිළිබඳව අප සමඟ කතාබහ කරනු ලැබූ “මධුෂිකා සඳරුවනි” ඇගේ පෙර පාසලේ ප්‍රථම කණ්ඩායමේ ආදි ශිෂ්‍යාවකි. ඇය මේ වන විට නිවේදන වෘත්තියේ නියැළෙයි.
ඇය අප සමඟ කියා සිටියේ, “මං මගේ රාජකාරිවලට අමතරව හැමදාමත් මගේ ගුරුතුමිය රැක බලාගන්නට පෙර පාසලට එනවා. ඇය අවශ්‍ය තැන්වලට ඔසවාගෙන යන්නේ මගේ මේ අත් දෙකෙන්. ඒ වගේම ඇය යන විවිධ රැස්වීම් සහ වැඩමුළු සඳහා රැගෙන යන්නේ මම. ඉතිං මම හිතන්නේ, ශිෂ්‍යාවකට තමන්ගේ ගුරුවරයාට කරන්න පුළුවන් උපරිම දේ මට කරන්න පුළුවන් වෙලා තියනවා. මේක මා ලබපු භාග්‍යයක් විදියටයි මා සලකන්නේ. මේ වගේ ධෛර්යමත් කාන්තාවක් මේ රටේ අනාගතයට, දරුවන්ට ඉතාමත් ආදර්ශමත් කෙනෙක් කියලා. හේතුව, මෙයා ඉතාමත් කැපවීමෙන්, උත්සාහයෙන් තමන්ගේ කටයුතු තනියම කරගන්න කරන වෑයම තව ගොඩක් දෙනෙකුට ආදර්ශයක්. ඒ. පියසීලි චන්ද්‍රිකා ගුරුතුමියගේ මවයි. ඇය මෑතක් වන තුරුම මල් වත්තක වැඩට ගියාය. එහෙත්, චන්ද්‍රිකා තම මව ජීවත් කරවීමට හැකි බවට පැවසීම නිසා, ඇය රැකියාවෙන් ඉවත්ව නිවසේ නතරව ඇත්තේ මීට ටික කලකට ඉහතදීය. එතෙක් ඇය මල්වත්තේ හි වැඩ කළා ය. ස්වාමිපුරුෂයා මිය යෑමෙන් පසුව වසර ගණනාවක්ම චන්ද්‍රිකාව රැකබලා ගැනීමට පියසීලී මහත්මිය විශාල වෙහෙසක් ගත්තාය. පෙර පාසලෙහි උගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිරන්තරයෙන්ම චන්ද්‍රිකාට උදව් පදව් කිරීමට පෙළඹී සිටීම තමාගේ සැනසිල්ලට කාරණාවක් යැයි පියසීලි මහත්මිය කියන්නීය. “අද මගේ දුව ඉන්න තැන පිළිබඳ ඉතාමත් සතුටට පත්වනවා. ඒකට හේතුව, මම කවදාක්වත් හිතුවේ නෑ දුවට තනියම මෙච්චර දෙයක් කරගන්ඩ පුළුවන් වෙයි කියලා. මං එයාව වඩාගෙන අත්තනගල්ලට විසි වතාවක් ගිහින් තියෙනවා. මෙයාගේ කකුල හදන්න පුළුවන් වෙයිද කියලා. නමුත්, මෙයාගෙ අස්ථි ශක්තිමත් නැති නිසා එයා යන සෑම තැනකම වඩාගෙන යන්න මට සිද්ධ වුණා. එදා වගේම අදත්, මේ වෙන විටත් අවුරුදු හතළිහක් මම මගේ දුව වඩාගන්නවා.

චන්ද්‍රිකා කුමාරි මහත්මිය අප සමඟ කතා බහ කළේ මේ ආකාරයටය. “මගේ අනාගත බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතිව ජීවත් වීමයි. ඒ වගේම මගේ පෙර පාසල ලියාපදිංචි කර ගැනීමත් මගේ බලාපොරොත්තුවක්. මම විභාග සමත් නොකළාට පෙර පාසල් ගුරුවරියක විදිහට සියලුම වැඩමුළු සහ පුහුණුවීම් ලබලා තියෙනවා. අවුරුදු 19ක මට අත්දැකීම් තියෙනවා. මෙහිදී ඉගෙනගත්ත දරු දැරියෝ උසස් තැන්වල ඉන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් මගේ පෙර පාසල ලියාපදිංචි කර දෙන්නට නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වෙයි කියලා. එක දවසක් මේ පෙර පාසලට ආවා පූර්ව ළමා සංවර්ධන නිලධාරිනියක්. එතුමිය මට කිව්වේ පෙරපාසල් ලියාපදිංචි කරන්නට මම විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැති කම සහ මගේ ආබාධිත තත්ත්වය බලපාන බවයි. එහෙත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මගේ පෙර පාසල් ලියාපදිංචි කරලා දෙයි කියලා. මම ඉන්න තත්ත්වය ගැන මං චුට්ටක්වත් හිතන්නේ නෑ. මං දරුවෝ ගැන හිතලා සාරි අඳින්න ගත්තා. මම කොණ්ඩෙ කපලා හිටියේ. ඒත් දරුවෝ කැමතියි කොණ්ඩෙ බැඳලා ඉන්න ටීචට. ඒ නිසා මං කොණ්ඩෙ වැව්වා. දරුවන් වෙනුවෙන් මම ගොඩක් කැපවීම් කරනවා. මං උත්සාහ කරන්නේ මං උගත් දේ තුළින් දරුවන්ට යහමග පෙන්වීම යි. මගෙන් ඉගෙන ගත් දරුවෝ ගොඩක් මට උදව් කරනවා. පුංචි පණිවුඩයක් යවපු ගමන් ඒගොල්ලෝ මට ඊට ප්‍රතිචාර දක්වනවා. මං ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන. ගිය අවුරුද්දෙ මං අම්මවත් එක්ක සිරීපාදේ ගියා. ඒත් මට නගින්න බැරි නිසා මම බස් එකට වෙලා හිටියා. ඒ වුණාට මේ අවුරුද්දේ මේ ගමේ මගෙන් ඉගෙනගත්ත දරුවෝ ප්ලාස්ටික් පුටුවක කකුල් හතරක් කපල මාව එ්කෙ තියාගෙන ගැට ගහගෙන සිරීපාදෙ උඩටම අරන් ගියා. පැය හතරෙන් උඩට ගිහින් අපි සිරිපාදේ වන්දනා කළා. මට හරි සතුටුයි ඒ ගැන. ඒ විතරක් නෙමේ, අද වෙනකොට මගේ අම්මව බලාගන්න පුළුවන් මට්ටමේ ආදායමක් මම ලබනවා. මම මීට අමතරව අමතර පන්තිත් කරනවා. අම්මා මාව චූටි කාලෙ වඩා ගත්තා වගේම මේ අවුරුදු 40 වෙලා තාමත් මාව වඩා ගන්නවා. මට, අම්මා වඩා ගන්නවා තරම් සනීපයක් තවත් නෑ. ගොඩාක් සනීපයි මට.” ඇය කීවාය. ඉරණමට අභියෝග කරන දිරිය දියණියට අපගේ සුභාශිංසනයත් පළකර සිටිමු. සටහන : කුරුණෑගල චාන්දනී දිසානායක