Hela Rahas

Hela Rahas Official Web Portal

එදා බුදු ඇසින් දුටු විශ්වය

අපේ පෘථිවිය මෙන් හැට ගුණයක් පමණ විශාල පෘථිවියට සමාන ග්‍රහලෝකයක් ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගන්නා ලද බව වාර්තාවේ. ආලෝක වර්ෂ 1400 කටත් වඩා ඈතින් පිහිටා ඇති මෙම ග්‍රහ ලෝකය පිළිබඳ තොරතුරු ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වී තිබේ.

මෙම ප්‍රවෘත්තියත් සමඟ විශේෂයෙන්ම ලාංකේය බෞද්ධ ජනතාවගේ සිත්සතන් මෙයින් වර්ෂ දෙදහස් පන්සිය හැටකට පමණ පෙර අරමුණු වූවා සේය. ඒ අන් කිසිවක් නිසා නොව එදා බුදුරජාණන් වහන්සේ දුටු දසදහසක් චක්‍රාවාට අද විදු ඇසින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින බැවිනි.

නිර්මාණවාදී නැතහොත් දේවවාදී ආගමික ඉගැන්වීම් අනුව මෙම පාථිවිය, නොපෙනෙන දෙවියෙකු විසින් මවන ලද්දකි. සෘග් වේදයේ විශේෂයෙන්ම දශවන මණ්ඩලයේ ඉගැන්වීම් බුදුදහම හැර සෙසු ලෝක ආගම් බිහිවීමට බෙහෙවින් ම බලපා ඇත.භක්තිවාදය ප්‍රතික්ෂේප කරන බුදුහම අනෙක් ආගම් හා සමාන නොවේ. එම නිසා බුදුරදුන් වදාළ සෑම ධර්ම කාරණයක් ම ප්‍රශ්න කළ හැකිය. විමර්ශනය නොකළයුතු ප්‍රශ්න නොකළ යුතු ප්‍රස්තුත බුද්ධ දේශනාවේ නොමැත.

බුදුදහම අනුව මෙම ලෝකය මවන ලද්දක් නොවේ. ඇත්ත වශයෙන් ම බුදුදහම අනුව විශ්වයේ මුලක් මැදක් අගක් නොමැත. එහෙයින් විශ්වය අනවරාග්‍ර වෙයි. මේ සඳහා සංයුක්ත නිකායේ ‘අනමතග්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤයති’ යන දේශන පාඨය නිදසුන් කොට දැක්විය හැකිය. විශ්වය කලින් කල ඇති වී විකාශය වේ. අග්ගඤ්ඤ සූත්‍රය, සත්තසූරියුග්ගම සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලින් ඒ බව ප්‍රකට වේ. මෙම දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ඒ බව මෙසේ සඳහන් වේ. එනම්,

  • ‘හොති ඛො සො වාසෙට්ඨ, සමයො යං කදාචි කරහචි
  • දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති’

කිසියම් කාලයක මේ ලොව වැනසෙයි. එසේ ලොව වැනසෙන කාලය සංවට්ට කල්පයයි. විශ්වය හටගෙන විකාශය වන කාලය විවට්ට කල්පය වශයෙන් හැඳින්වේ. විසුද්ධිමාර්ගය වැනි අටුවාවල මෙම කල්ප තවදුරටත් විස්තර විභාග දක්වා ඇත. ඒ අනුව විනාශ වන කල්පය නැතහොත් කාලය සංවට්ට නම් වේ. නැසී නැතහොත් විනාශ වී පවත්නා කාලය විවට්ටට්ඨායි. විනාශ වී වැඩෙන කල්පය විවට්ටට්ඨායි. වැඩී නැතහොත් වර්ධනය වී පවතින කාලය විවට්ටට්ඨායි ය. මෙහිදී කල්පය වශයෙන් දක්වන කාලය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම සුදුසුයි. කල්ප යන පදයේ අර්ථ කිහිපයක් තිබේ. නිදසුනක් වශයෙන් ආයුෂ කල්පයක් කියන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් උපරිම වශයෙන් ජීවත්වන කාලයටයි. ලෝක විභාගයේ දී කල්පය යනු අති දීර්ඝ කාලයකි. එම දීර්ඝ කාලය තේරුම් ගැනීමට සංයුක්ත නිකායේ සාසපොපමාවත්, පබ්බතෝපමාවත් වැදගත් ය. සාසප නැතහොත් අබ ඇට උපමාව මෙහි දී පැහැදිලි කර බලමු. දිගින්, පළලින් හා උසින් යොදුන බැගින් වූ අයෝමය කොටුව හදා එහි අබ ඇට පුරවයි. යම් පුරුෂයෙක් යම් කෙනෙක් අවුරුදු සීයෙන් සීයට එක අබ ඇටය බැගින් ඉවත් කර යම් දවසක එම අබ ඇට පෙට්ටිය හිස්වේද එදාට කල්පය සම්පූර්ණ වේ. යොදුනකට සැතපුම් 16ක් පමණ වේ. විශ්වය සම්බන්ධයෙන් කල්ප විවරණ කෙතරම් දීර්ඝ කාලයක් දැයි දැන් ඔබට පැහැදිලි වේ.

අප මේ ජීවත් වන පෘථිවියට අමතරව තවත් ලෝක දස දහස් ගණන් තිබෙන බව ලොවට මුලින්ම හෙළි කළේ බුදුරජාණන් වහන්සේ ය. මේ සඳහා හොඳම නිදසුන අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ සඳ වැනි සූත්‍රයයි. මෙම සූත්‍රයට විශේෂ නමක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ දක්වා නැත. ඇතැමෙක් මෙම සූත්‍රය චූලනිකා සූත්‍රය වශයෙන් නම් කොට තිබේ.

බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙසේ වදාළ සේක. ආනන්ද සඳහිරු දෙදෙන යම්තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝකවත් කරද්ද එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයි ද ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරූ පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරු කුරු දිවයින් වෙයි. දහසක් පූර්වදේහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාරදහසක් වෙත්.චතුර්මහා රාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි. තුසිත දෙව්ලොව දහසකි. නිර්මාණ රතී දෙව්ලෝ දහයකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහයකි. ආනන්ද හිමියනි මේ දහසක් සක්වළින් යුත් චූලනීකා ලෝක ධාතුවයි.

මෙබඳු සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතුවයි. මෙය ශ්‍රාවකයන්ට විෂය නොවේ. බුදුරජාණන් වහන්සේට ම විෂය වෙයි. මෙසේ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවයි. කෝටි ලක්ෂයක් චක්‍රාවාටයක් මෙහි ඇතුළත් ය. ආදී වශයෙන් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන මේ සූත්‍රයේ විස්තර විභාග දැක්වෙයි.

මෙම සූත්‍රයෙන් කියැවෙන දේ කෙටියෙන් මෙසේ පැහැදිලි කළ හැකිය. එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය සක්වළකි. නැතහොත් චක්‍රාවාටයකි. එබඳු චක්‍රාවාට දහසක් සහස්සි චූලනිකා ලෝක ධාතුවයි. සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් ( 1000 ය 1000 = 1000000) ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතුවයි. ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් (1000000 ය 1000 = 100000000) තිහහස්සී මහා සහස්සී ලෝකධාතුවයි. මෙහි එන ගණන් ක්‍රම පිළිබඳ අටුවාව විස්තරයක් කරයි.

නවීන විද්‍යාව අනුව සඳ යනු ආලෝකය විහිදුවන වස්තුවක් නොවෙයි. එහෙත් මෙම සූත්‍රයේ එසේ සඳහන් වන්නේ එදා කතා ව්‍යවහාරය අනුවයි. එය සම්මුති දේශනාවයි. මේ ආකාරයේ ලෝක ධාතු පිළිබඳ සඳහන්වන තවත් සූත්‍රයක් වශයෙන් සංඛාරුප්පත්ති සූත්‍රය පෙන්වා දිය හැකිය.

ඉදිරි වකවානුවේ බුද්ධ දේශනාවේ සඳහන් විශ්වය පිළිබඳ කරුණු ඇතුළත් කොට විශේෂ පොතක් අප විසින් සම්පාදනය කරමින් පවතියි. ඇතැම් කරුණු පිළිබඳ හොඳින් විමර්ශනය කොට එහි ඇතුළත් කරුණු ලැබේ. කෙසේ වුවත් අපවත් වී වදාළ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවෝ මේ පිළිබඳ ඉතා හොඳ විවරණයක් සපයා ඇත. එය අප මෙහි උපුටා දක්වන්නේ උන්වහන්සේගේ විචක්ෂණ පාණ්ඩිත්‍ය ප්‍රකට කිරීම පිණිසයි.

ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලි ගේ මතයට අනුව අපේ පෘථිවියේ මෙන් ජීවී සතුන් සිටින ග්‍රහ ලෝක යටත් පිරිසෙයින් ලක්ෂ කෝටියක් වත් විශ්වයෙහි තිබේ. චක්‍රාවාට, චක්‍රවාළ, සක්වළ යනු මේ ලෝකධාතුවලට භාවිත කරන තවත් නමකි. චක්‍රකාර හැඩයෙන් ලෝක ධාතුව භ්‍රමණය වන බැවිනි. සක්වළ යන වචනය මෙකල වැරැදි ලෙස යොදනු ලබන තැන් ද ඇත. අපට පෙනෙන සඳ තිබෙන්නේ පිටසක්වළක නොවේ. සඳ පමණක් නොව සෞරමණ්ඩලයේ ග්‍රහලෝකද මේ ලෝකධාතුවට අයත් ඉරවල් ඇතුළු සෞරමණ්ඩල සියල්ලක් ද අපේ සක්වළට අයත් ය. මේ සක්වළට බෞද්ධ ග්‍රන්ථවල ඇත්තේ සහස්සී ලෝක ධාතු යන නමයි. නවීන විද්‍යාඥයන් භාවිත කරන්නේ ක්ෂීරපථ යන නාමයයි.

මූලික බෞද්ධ මතයටත් නවීන මතයටත් අනුව විශ්වයේ කුඩාම කොටස වන්නේ ඉරවල් දහස් ගණන් ඇති සහස්සී චූලනිකා ලෝකධාතුවයි. බෞද්ධ මතය අනුව මේ සහස්සී චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙන්නේ පුඤ්ජ වශයෙනි. මෙවැනි ලෝක ධාතු දශකයක් ඇති ලෝක ධාතු පුඤ්ජය දසසහස්සී ලෝකධාතු යනුවෙන් හැඳින්වේ. එවැනි ලෝක ධාතු සතරක් ඇති ලෝක ධාතු පුඤ්ජය චතුසහස්සී ලෝක ධාතු නම් වේ. සියයක් ඇති තැන සතසහස්සී ලෝකධාතු වෙයි. මෙවැනි ලෝක ධාතු ගැන සඳහනක් සංඛාරුප්පත්ති සූත්‍රයෙහි දක්නට ඇත.

මෙසේ ද්විගුණව දහස් ගණන් එකට එකතු වී තිබෙන මේ ලෝක ධාතු පුඤ්ජය ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක ධාතු පුඤ්ජයේ ඉතා කිට්ටුවෙන් ප්‍රධාන ලෝක ධාතු දහයක් ඇත. ඊට ඈත පිහිටි තරමක් කුඩා ලෝක ධාතුන් සමග ගණන් කළොත් විස්සක් ඇත. කන්‍යා රාශිය වශයෙන් අපට පෙනෙන ප්‍රදේශයේ ලෝක ධාතු දහසක් එකට පිඬු වී තිබෙන බව පැවසීමු. මේ ලෝක ධාතු පුඤ්ජ හෙවත් දෙවැනි දහස් ගණන් වූ ද්වි සහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහස් ගණනින් පිඬු වූ ප්‍රදේශය මුළු මහත් විශ්වයයි. එනම් තෙවැනි දහස් ගණන වූ තිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවයි. මහා ලෝක ධාතුය යි කියනු ලබන්නේ ද මෙයමැයි. විමසා බලන විට නවීන මතය ද මෙය හැර අනෙකක් නොවේ. ඇතැම් තාරකා විද්‍යාඥයෝ එයට අධිලෝක ධාතුව (Metagaolxy) යන වචනය යොදති.’

බුදුදහම අනුව සක්වළකට එක්තරා සීමාවක් පනවා ගත හැකි ය. එනම් එක ඉරකින් ආලෝකය වැටෙන ග්‍රහයන් එක් සක්වළක් වශයෙන් ගණනය කළ හැකි ය. මෙම සීමාවන් ඉක්මවා යන තවත් දහස් ගණන් සක්වළවල් ඇත. එය අසීමිතය. මේ සියලු සීමා ලෝක ධාතු වශයෙන් විවරණය කිරීමට ප්‍රමාණවත් සාධක ඇත. සිතා සීමාවකට එළඹිය නොහැකි කරුණු සතරෙන් එකක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විෂයයි. ‘ලෝක චින්තා භික්ඛවේ අචින්තෙය්‍යා න චින්තෙතබ්බා. යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

අංගුත්තර නිකායේ සඳහන් අචින්තෙය්‍ය සූත්‍රයේ පාඨයේ සාමාන්‍ය අදහස නම් ලෝක විෂය ගැන සිතීමෙන් උමතු විය හැකි බවත්. දැඩි දුකට හේතුවන බවත් ය.

මෙහි අදහස විද්‍යාඥයන්ට පර්යේෂණ කරන්නට හොඳ නැහැ යන්න නොවේ. ලෝක විෂය පිළිබඳ කොතෙක් පර්යේෂණ කළත් සීමාවක් නොමැති බවත්ය. ඇතැම් විට අසීමිත ලෝකධාතුව ගැන සිතන්න සිතන්න සීමාවක් නොමැති හෙයින් උමතු විය හැකිය. මේ ආදී වශයෙන් ලෝක විෂය පිළිබඳ අදහස් ත්‍රිපිටකයේ කොතෙකුත් සඳහන් ය.