Hela Rahas

Hela Rahas Official Web Portal

කැරපොත්තා ගේ හැකියාවන්

කැරපොත්තා … ඔබටනම් කරදරයක් වීමට හැක. නමුත් කැරපොත්තා යනු මෙලොව ජීවත් වන විශේෂිතම සත්ත්වයෙකි. ඔවුන් සතුව පවතින හැකියාවන්ද පුදුම සහගතය. එකල අපගේ ගුරුතුමියක් විසින් කැරපොත්තා හට දින දෙකක් වාතය නොමැතිව ජීවත් විය හැකි බව පැවසුවාය. වරක් සිකුරාදා දිනයක අප විසින් එම කටයුත්ත සැක හැර දැන ගැනීම පිණිස පන්තියෙන් අල්ලා ගත් කැරපොත්තෙකු ජෑම් බෝතලයක් තුල දමා සිර කරන ලදි. එවිට අපට සදුදා නැවත පැමිණ ගුරුතුමිය කිව්වේ ඇත්තදැයි බැලිය හැක.

නමුත් අපට එක් දෙයක් අමතක විය. සදුදා පෝය දිනයක් වූ බැවින් පාසල නැවත පටන් ගත්තේ අගහරුවාදා දිනකය. ගුරුතුමිය පැවසු පරිදි කැරපොත්තාට ජීවත් විය හැක්කේ දින දෙකක් බැවින් අප සිතා සිටියේ කැරපොත්තා නිසැකවම මිය යනු ඇත. අගහරුවාදා අප ගොස් බලන විට කැරපොත්තා ජෑම් බෝතලය තුල නිසොල්මනේ සිටියේය. එම නිසා අප සිතුවේ ඌ මිය ගොස් ඇතැයි කියාය. එම නිසා ජෑම් බෝතලය හැර කැරපොත්තා ඉවතට දමන ලදි. නමුත් එක් වරම කැරපොත්තා වේගයෙන් පැන ගියේ බලා සිටි අප පුදුමයට පත් කරවමිනි.

නමුත් මෙම කරුණ ආගමට දහමට ලැදි අපගේ ගුරුතුමියට පැවසු විට අපට හොදින් බැනුම් ඇසීමට සිදු විය. ඉහත සදහන් කල අයුරින්ම කැරපොත්තා දින තුනක් ජෑම් බෝතලය තුල සිර වී සිටියේය. නමුත් ඌ මියගියේ නැත. එම නිසාම කැරපොත්තා සතුව පවතින සුපිරි හැකියාවන් සොයා බැලූ විට විස්තර රාශියක් සොයා ගතහැකි විය. එක්වරක් හුස්ම ගෙන මිනිත්තු හතලිහක් ජීවත් විය හැකි බව මම සොයා ගත්තෙමි. එම නිසා ඇතැම් විට ජෑම් බෝතලය තුල පවතින වාතය දින තුනක් කැරපොත්තා ප්‍රයෝජනයට ගත් බව අනුමාන කලෙමි. පහත දැක්වෙන්නේ කැරපොත්තා සතුව පවතින සුපිරි හැකියාවන් කීපයකි.

කැරපොත්තා වසර මිලියන ගණනකට පෙර සිටම ලෝකයේ වාසය කරයි. ඩයිනසොරයන් සිටි කාලය තුල පවා ඔවුන් ජීවත් විය. එම නිසා කැරපොත්තා යනු ලෝකයේ සිටිනා පරනම ජීවියෙකි. මිනිසා යම් කිසි දිනෙක ලෝකයෙන් වද වී ගියත් කැරපොත්තන් ලෝකය මත ජීවත් වනු ඇත. ඒ මක් නිසාද යත් කැරපොත්තන් හට පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු පවා ජීවත් විය හැක. ඊට හේතුව කැරපොත්තන් හට අධික විකරණශීලිතාවයක් හමුවේ වුවද ජීවත් විය හැකි නිසාය.
කැරපොත්තන් විශේෂ හාරදසකට වඩා ලෝකය මත ජීවත් වේ.

එමෙන්ම කැරපොත්තන් ලෝකයේ සෑම ගොඩබිමකම පාහේ ජීවත් වන බව විද්‍යාඥයින් පවසයි. ඔවුන් හට අධික ශීත තැනක මෙන්ම අධික උෂ්ණත්වයක් තුල පවා ජීවත් විය හැක. එමෙන්ම ඔවුන්ට පිහිනීමට පවා සුපිරි හැකියාවක් පවති. එමෙන්ම කැරපොත්තෙක් ජලය යට පවා හුස්ම අල්ලා ගෙන පැයක් පමණ විය හැකිය. නමුත් කැරපොත්තාට ජලය නොමැතිව සතියක් ජීවත් විය හැක . එමෙන්ම ආහාර නොමැතිව මාසයක් පමණ ජීවත් විය හැක.

එමෙන්ම කැරපොත්තාට හිස නොමැතිව වුවද සතියක් පමණ ජීවත් විය හැක. එයට හේතුව කැරපොත්තන්ගේ රුධිරය ඉක්මනින් කැටි ගැසීමයි. එම නිසා සිරුරෙන් රුධිරය වහනය නොවේ. එමෙන්ම මොවුන් සුපිරි ධාවන ශූරයින් වේ. මොවුන්ගේ කකුල් ඒ සදහා විශේෂයෙන් හැඩ ගැසී ඇත. කකුල් හයක් පවති. එක කකුලක් සන්ධි තුනකින් සමන්විතය. නමුත් මොවුන්ගේ කකුලක් නැති වුවහොත් එය සති තුනකින් පමණ නැවත වර්ධනය වේ.

මොවුන්ගේ ජීවන කාලය වසර තුනක් පමණ පවති. එමෙන්ම මොවුන්ට පියාසර කිරීමටද සුපිරි හැකියාවක් පවති. එමෙන්ම කැරපොත්තාගේ හිස දෙපැත්තේ ඇන්ටනා දෙකක් වැනි අවයව දෙකක් පවතින බව ඔබ දැක ඇති. ඒවා පවතින්නේ කැරපොත්තාගේ සන්නිවේදනය සදහාය. එමෙන්ම කැරපොත්තාගේ ශරීරය මත අධික බැක්ටීරියාවන් ගහණයක් ජීවත් වේ.

නමුත් ඔවුන් එම බැක්ටීරීයා මගින් තමන්ට අවශ්‍ය විටමින් ආදීය නිර්මාණය කර ගනි. එමෙන්ම කැරපොත්තා යනු පරිසර සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත් ජීවියෙකි. නමුත් කැරපොත්තාගේ කෙල හා මුත්‍රා ඔබ සිරුරේ ගෑ වුවහොත් ඔබේ සමට විවිධ ගැටළු පැන නැගෙනු ඇත. එම නිසා ඒවායින් ප්‍රවේසම් වන්න වග බලා ගන්න.