Hela Rahas

Hela Rahas Official Web Portal

කිරි‍ වෙහෙර නො වැන්ඳොත් කතරගම දෙවියන්ගේ පිහිටක් නෑ

  • දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුලාදී චන්දනම්
  • ධ්‍යාන හෝම දාන යාචනාදී, කර්ම සේවිතම්
  • පූජයාමි වාර වාර සෞඛ්‍යලාභ හේතුජං
  • ස්කන්ද දේව රාජ පාද පත්මකං නමෝතදා

කතරගම ශුද්ධ පූජා භුමියකි. අද බොහෝ දෙනා විනෝද ගමනක් වශයෙන් කතරගම ‍ෙගාස් අතරමඟ නතර වන අවස්ථා ඇති කර ගන්නේ විනෝදයේ සීමාවක් නැති නිසාය.

මෙවැනි අය තමයි මැණික් ග‍ඟේ දිය යටින් කිඹුලෝ ඇවිත් හපා කන්නේ. ඇත්තෙන්ම එය සාධාරණ බව මගේ අදහසයි. මැණික් ග‍ඟේ දිය නෑම කරන්නේ නිර් වස්ත්‍රයෙනි. බොහෝ දෙනා ඇඳුම් අඳින්නේ බාගෙටය. ග‍ඟේ ඇති වෙනකන් දඟලමින් නා අවසන් කර ඉන්පසුව රාත්‍රියේ නැවත වරක් ලැඟුම්හල් තුළදී මොලේ රත් කරගෙන ගෙඩි පිටින් විශාල පූජා වට්ටියක් හදාගෙන ඔලු ගෙඩිය උඩ තබාගෙන යන්නේ කඳ සුරිඳුන්ගේ මහ දේවාලයට නේද?

මුඛයෙන් නාසයෙන් සුරා ගඳ විහිදුවමින් පූජා වට්ටියටත් ඒ ටික විසුරුවා හැර තබන පූජාව දෙවියෝ බාර ගන්නවාද? පිළිතුර ඔබ අතේ!.

මෙහිදී නුවණැති ඔබ කල්පනාකර බලන්න. දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමට මේ අය කුමක්ද කළේ කියා. දෙවියන් නිතර බලාපොරොත්තුවන කුසල් මේ අය දෙවියන්ට අනුමෝදන් කළාද? අඩුම වශයෙන් කිරි වෙහෙර වහන්සේ, අෂ්ඨඵල බෝධින් වහන්සේ මේ ආදී ස්ථානවලට භක්ති පූර්වකව මල් පහන් සුවඳ, පිරිකර, පැන්, ගිලන්පස, දැහැත් උදේ කාලයෙක නම් කිරි පිඬු පූජාව ආදී පූජා කළාද? ඒවා නැති කොට දෙවියන්ට පිං දෙන්නේ කෙසේද? එසේ නම් දෙවියන්ගේ ආශිර්වාදය මේ අයට ලැබේද?

සුරා බිබී දැඟලුවා මිසක් කිරි වෙහෙර දෙසටවත් නොගිහින් පූජාව තැබීමෙන් පලක් වේද? මේ අයට අවසානයේ ලැබෙන්නේ දේවාශිර්වාදයද? නැත. ලැබෙන්නේ දේව ශාපයයි.

කඳ සුරිඳුන් පිදීමට යන සියලු දෙනා මළ ගෙවල් හා වැඩිවිය පැමිණීමේ කිළිවලින් මාස 3 ක් ඈත් විය යුතුය. අනෙක් සාමාන්‍ය කිළිවලින් දින 7ක් ඈත් විය යුතුය.

දිනය නියම කර ගැනීමේ දී පුර පස (මාසෙ පෝයේ සිට පස‍ළොස්වක දක්වා) ඒ අතර බදාදා හෝ සෙනසුරාදා, අඟහරුවාද දිනයකට යෙ‍දා ගත යුතුය.

නියම කරගත් දිනට කලින් දිනයේ උදේ 10.00ට පළමුව හෝ සවස 06.00න් පසුව විහාරස්ථානයකට නඩයේ සියලු දෙනා එකතු වී බෝධි පූජාවක් තබන්න නඩයේ යන සියලු දෙනාටම පොදුවේ එක් අයෙකුට එක පහන බැගින් සියලු දෙනාටම පහන් දල්වන්න. කුඩා දරුවා පවා අසුවන ලෙස සියලු දෙනාටම පහන් ප්‍රමාණය දල්වන්න. බසයේ රියැදුරු, කොන්දොස්තර සමඟ 25ක් සිටිනවා නම් පහන් 25ම බෝධිය වටා දල්වන්න.

සුදු, නිල්, රතු මල් වට්ටි 3යි. සුවඳ දුම්, පැන්, ගිලන් පස, දැහැත් විට උදේ වරුවේ නම් කිරි බත් පාත්‍රා 7ක් ද මේ ආදී සියල්ල බෝධීන් වහන්සේට පූජා කර විෂ්ණු කතරගම, නාථ, දැඩි මුණ්ඩ සියලු දෙවියන්ට පිං දෙන්න. රතන සූත්‍රය පිරිත් නූලක් සියලු දෙනාට යා කර 21 වර බෝධීන් වහන්සේ ඉදිරිපිට සජ්ඣායනා කරන්න. සියල්ල අවසානයේ එම නූල් සියලු දෙනාගේ දකුණ අතේ බැඳ ගන්න. බස් රථයේ රියදුරු කොන්දොස්තර දෙපලට ද යන දිනයේ ඒ මොහො‍ෙත් නූල් ගැට ගසන්න.

ඉන් පසුව බදදා හෝ සෙනසුරාදා, අඟහරුවාදා දිනට එළිවෙන පාන්දරක රාත්‍රී 12.00න් පසුව ගුරු පංචම හෝරාවකින් ගමන පිටත් වන්න. මේ අවස්ථාවේදී සාදු කාර මැද්දේ බසය පිටත්වීම පාරම්පරික ගැමි සිරිතකි. බුදු ගුණ කවි තාලයකට කියමින් යෑම ශ්‍රද්ධාව භක්තිය වැඩිවීමට හේතු‍ෙව්. දේව භූමියට සැපත්වීමෙන් පසුව සදාචාරය රැකෙන පරිදි අසභ්‍ය කථා, විහිළු තහළු කිරීම, සංගීත බජව් ආදියෙන් තොරවී ශාන්තව හැසිරිය යුතුය. පළමුව කළ යුතු කාර්යය වන්නේ නවාතැන්පොලේ ලැ‍ඟුම් ගෙන ඉන් පසු මැණික් ග‍ඟෙන් ස්නානය කර පිරිසිදු වී සුදු ඇඳුමෙන් සැරසී අෂ්ඨඵල බෝධීන් වහන්සේ, කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වන්සේ වැඳ පුදා ගැනීමය.

මල් වට්ටි, නොයිදුලෙන් සිඳ ගත් පහන් 21, පැන්, ගිලන් පස, බෙහෙත් වතුර, දැහැත් ආදී සියලු දේ ස්ථාන දෙකටම පූජා කර දෙවියන්ට පිං දෙන්න. සියලු දෙනා එකතු වී රතන සූත්‍රය සජ්ඣායනා කරන්න‍.ඉන් පසුව රාත්‍රී 09.00න් පසුව ප්‍රථමයෙන්ම නාථ දෙවියන්ට පිරිසිදු පූජා වට්ටියක් තබන්න. සුදු රෙදි යාර 03ක් ඊට තබා පූජා කරන්න. අනතුරුව විෂ්ණු දෙවියන්ට අනිවාර්යයෙන් පිරිසිදු පූජා වට්ටියක් තබන්න. නිල් රෙදි යාර 3ක් ඊට තබන්න.

ඉන් පසුව කතරගම දේවතාවුන් වහන්සේට පිරිසිදුව පූජා වට්ටිය තම තමන් සකස් කරගෙන රතු රෙදි යාර 3ක් ද තබා එදින රාත්‍රී හෝ පසුදිනට එළි වෙන පාන්දර පූජාව තබන්න. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ පූජා වට්ටියට නරක් නොවූ අලුත් පලතුරු වර්ග තැබීමය. ඊළඟට ගමෙන් රැගෙන යන පිරිසිදු ජලයෙන් පලතුරු සේදිය යුතුය. තම තමන් ඊට ජලය රැගෙන යා යුතු වේ. සියලු දෙනා එකතු වී ඉහත ස්ත්‍රෝත්‍රය 3 වර ශබ්ද නඟා කියන්න.

ජ්‍යෙතීර්වේදී ජේ. ගුණපාල
දකුණු උඩුව – කුඩා උඩුව හොරණ