Hela Rahas

Hela Rahas Official Web Portal

කොල්ලු කැඳ නිවැරදිව හදාගන්න විදිය

හිටි හැටියෙම කඩියෝ වගේ වැඩ කර කර හිටිය අපේ ජීවිත තෙල් ඉවර වුන එන්ජිමක් වගේ ටිකෙන් ටික පණ නැති වෙලා අතන මෙතන ඔහේ කඩා වැටෙන අවස්ථාවන් අපේ ජීවත වල එමට තියෙනවා. ඒ වෙලාවට වැඩක් පලක් කරගන්න තියා මේ ශරීර කූඩුව උස්සගන්නවත් අපිට හිතෙන්නෙ නෑ.

කියාගන්න බැරි මහ අමුතු කෙඩෙත්තු ගතියකින්, නිදිමතකින්, මහ වෙහෙසකින් අපේ මුළු ඇඟම වහගෙන ඉන්නවා වගේ හැඟීමක් ඒ වෙලාවට අපිට දැනෙනවා. වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියත් ගොඩක් පරීක්ෂණ කරලා ඔවුනුත් කියන්නේ ඔයාට ඇති ලෙඩක් නෑ කියලයි.

මෙන්න මේ වගේ වෙලාවකදි ඇඟට පණ ගහලා එන්න අපේ පැරැන්නන් හදලා බිව්වේ ඉතා රසවත් කැඳ එකක්. ඒ තමයි “කොල්ලු කැඳ” ඒක දෙතුන් සැරයක් බිව්වම අපේ ජීවිත වලට නැවත පණ එන්නේ හරියට අළු මතින් නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙක්ට වගේ. කොල්ලු කැඳක් විදිහට වගේම තම්බලා බීමෙනුත් අපේ ගතට සිතට දැනෙන ප්‍රාණවත් බව කියලා නිම කරන්න බැහැ.

ඒකනේ හැතැප්ම ගානක් කිසිම වෙහෙසක් නැතිව දුවන අශ්වයින්ටත් කොල්ලු දෙන්නේ. සමහරවිට මේකට ඉංග්‍රීසියෙන් “හෝස් ග්‍රෑම් (Horse Gram)” කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. අපි කියන නිසාම නෙවෙයි ඔබත් මෙන්න මේ කොල්ලු කැඳ එක ජීවිතයේ සොඳුරු අත්දැකීමක් බවට පත්කරගෙන අශ්වයෙක්ට වගේ කිසිම වෙහෙස මහන්සියක් නැතිව වැඩ පල කරගත හැකිදැයි කියලා ඔබම අත්විඳින්නකෝ.

කොල්ලු කැඳ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :-

  • රැයක් දියේ දමාගත් කොල්ලු හුන්ඩු 01 ක්
  • කැකුළු හාල් හුන්ඩු 1/2 ක්
  • පොල්කිරි කෝප්ප 1/2 ක්
  • ලුණු ස්වල්පයක්

කොල්ලු කැඳ සාදාගන්නා ආකාරය :-කොල්ලු දියේ දමාගත යුත්තේ කැඳ එක සෑදීමට පෙර දිනයේදී යි. කොල්ලු දියේ දමාගත් දිනයට පසු දින උදෑසන කොල්ලු සහ සෝදාගත් හාල්, වතුර කෝප්ප 03 ක් සමඟ ලිපේ තියන්න.

බත් කැඳ එනතුරු තම්බාගන්න. පසුව එයට ලුණු බිඳක් දමා යලිත් පිසින්න.

දැන් මේ මිශ්‍රණය ගෙන බ්ලෙන්ඩරයට දමන්න. හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

බ්ලෙන්ඩර් කරගත් කැඳ මිශ්‍රණය යලිත් සාස්පානට දමා මද ගින්නේ පිසින්න. පොල්කිරි කෝප්ප 1/2 ක් පමණ මුසුකර උතුරවාගෙන පොල්කටු හැන්දෙන් හොඳින් විනාඩියක් පමණ හැඳිගා බාගන්න.

පසුව උණුසුම් පිටම කිතුල් හකුරු සමඟ බොන්න.