Hela Rahas

Hela Rahas Official Web Portal

ජම්බුක ආජීවකයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, බොහෝ දෙනෙක් දුරදිග බලන්නේ නෑ. හිතෙන හිතෙන පව් කරනවා. ඒ පව් කිරීමෙන් සතුටුවෙනවා. සමහර පව් අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් විපාක දෙනවා. නිවන් දකින තුරු විපාක දෙනවා. මේ කර්ම විපාක කියල කියන්නේ සිතින් සිතලා ඉවර කරන්නට බැරි මහා අද්භූත දෙයක්.තමන්ගේ වරදින් කරගත්තු දෙයක් නිසා බොහෝ කලක් සසරේ දුක්වින්ද අවාසනාවන්ත චරිතයක් සසරෙන් එතෙර වෙන්න වාසනාව ලැබූ හැටි කියවෙන කථාවක් තමයි දැන් සඳහන් වෙන්නෙ.රජගහ නුවර එක්තරා ධනවත් පවුලක සැප සම්පත් පිරුණු පවුලක දරුවෙක් උපන්නා. මේ දරුවා කවදාවත් බත් කෑවෙ නෑ. කුඩා අවදියේ ඉඳන්ම තමන්ගේම අසූචි කන්න පටන්ගත්තා. දෙමව්පියන් කොතෙකුත් උත්සාහ කළත් මේ ළමයාගේ අසූචි කෑම නවත්වන්න බැරිවුණා.කුඩා අවදියේ ඉඳන්ම ඇඳුමක් අන්ඳවගන්න හරි අමාරුයි. අන්ඳවන අන්ඳවන ඇඳුම ගලවලා දානවා. මේ පොඩි දරුවා සෙලුවෙන්මයි ඉන්නේ. ඒ වගේම මේ දරුවාව ඇඳක නිදිකරවන්න බැහැ. ඇවිත් බිමම නිදියනවා. බිම ඇලවුණොත් විතරයි මේ දරුවාට නින්ද යන්නේ. මෙච්චර කෑම බීම තියෙන, ඇඳුම් පැළඳුම් තියෙන, ඇඳ පුටු තියෙන පවුලක ඉපදුණත් මේ ළමයාට තිබුනෙ මහා ආසාමාන්‍ය දුක්ඛිත ගතිගුණ.මේ දරුවාට දෙමව්පියන් හරි ආදරෙයි. ඒ නිසා මේ සෑම දෙයක්ම සඟවාගෙන සිටියා. නමුත් හැමදාම සඟවන්න බැහැ. හැඬූ කඳුලින් යුතු දෙමව්පියන් මේ ළමයාගේ ඉරණම ගැන සාකච්ඡා කළා.“සොඳුර…. අපේ පුතාට මොකද කරන්නේ? මේ ගතිගුණ රට්ටු දැනගත්තොත් අපට වහකන්නයි වෙන්නේ. අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද ගමනක් යන්නෙ? අපි කොහොමද මේ ළමයාගේ අනාගතය හදන්නේ? බත් කටක් කන්නෙ නෑ. තමන්ගේම අසුචි කන්නෙ. ඇඳුමක් අඳින්නෙ නෑ. නිරුවතින්මයි ඉන්නෙ. ඇඳක නිදියන්නෙ නෑ. බිමමයි නිදියන්නෙ. අනේ හැබෑට අපිට මේ මොකද වුණේ…?”එතකොට මේ දරුවාගේ අම්මා කඳුළු වගුරුවමින් හූල්ල හූල්ල ගොතගහන්න පටන්ගත්තා.“අනේ දෙවියනේ…. මොන විපතක්ද මේ වුනේ…? මේ ළමයාට මොන කලදසාවක් යාවිද? හිමියනි, මට අදහසක් ඇතිවුණා. අපි මේ දරුවාව නිගණ්ඨ ආරාමයකට භාරදෙමු. උන්දැලාටත් ඇඳුම් නැහැ නොවැ. තියෙන දෙයක් කාලා එතකොටවත් ඉඳීවි.”“ඒ අදහස නම් යසයි! ඉතින් එතකොටවත් අපේ ළමයා හැදෙන්නෙ නැතෑ.”

දෙමව්පියන් මේ ළමයා රැගෙන නිගණ්ඨයින් ළඟට ගියා.“පින්වත් නිගණ්ඨයන් වහන්ස, අපේ ළමයා හරීම පින්වත්. සංසාරයේ පුරන ලද මහා ගුණයෙන් යුක්තයි. කිසිම දේකට ආසාවක් නෑ. රසවත් ආහාර පානයකට ආසාවක් නෑ. ලස්සන ඇඳුමකට ආසාවක් නෑ. ඇඳ පුටු මේසයකට ආසාවක් නෑ. ඔබවහන්සේලාගේ ගතිගුණවලට මේ දරුවා හොඳටම සෑහෙනවා. පොඩි වුණාට පින්කඳක්!”නිගණ්ඨයින්ට හරි සතුටුයි. දරුවව ළං කරගත්තා. ඔළුව අතගෑවා. ආදරයෙන් කතා කළා.“බොහෝම හොඳ පුතෙක් වගෙයි. හැබැයි ඇඟ පත කෙට්ටුවෙලා මාන්දම් ගතියක් තියෙන්නෙ මොකද? කුඩා අවදියේ ඉඳන් රූක්ෂ තපස් පුරන්න පෙරුම් පුරාගෙන ආපු දරුවෙක් වෙන්න ඇති. ඔහොම තමයි…. ඔහොම තමයි…. පින් ඇති උදවිය අපි ළඟට කැරකිලා එනව නොවැ.”ඉතින් දෙමව්පියන් මේ දරුවාව සතුටින් භාර දුන්නා. නිගණ්ඨයින් මේ දරුවාට තපස් රකින හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන ඉන්න හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන අනිත් කකුල නවාගෙන කලවට තද කරගන්නවා. මේ විදිහේ නොයෙක් තපස් ක්‍රම ඉගැන්නුවා. දවස් ගණන් නොනා ඉන්න හැටි ඉගැන්නුවා.මේ ළමයා හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගත්තා. හැබැයි නිගණ්ඨයින් අතරේ කසු කුසුවක් ඇතිවුණා.“ඒකයැ භවත්නි, මේ ආපු කොලු පැටියා මහා අද්භූත සත්වයෙක් නොවැ. කිසි දෙයක් කන්නෙ නැහැ. කොහොමද මෙයා ජීවත් වෙන්නේ? ඒ වගේම හරිම දක්ෂයි. හැම තපස් ක්‍රමයක්ම කියල දෙන විදිහටම ඉගෙන ගන්නවා. සමහර විට දෙවියන්ගේ ආනුභාවය වෙන්න ඇති. මේ ළමයා කොහොමද මෙහෙම නොකා නොබී ඉන්නේ. කෑවෙ නෑ කියලා කිසි අමුත්තක් නෑ නොවැ.”“නෑ…. මේකෙ මොකක් හරි රහසක් ඇති. මං මේක හොයාගන්නම්.”දවසක් එක නිගණ්ඨයෙක් මේ දරුවා ඉන්න තැන සැඟවී හිටියා. රාත්‍රී එකට පමණ මේ ළමයා කරුවලේම නැගිට්ටා. කරුවලේම පිටත් වුණා. අර නිගණ්ඨයා හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගියා. මේ ළමයා වටපිට බල බල සැකෙන් සැකෙන් අඩි තිය තිය හොර ගමනක් යනවා. ඒ පස්සෙන් නිගණ්ඨයත් ගියා. මෙයා නැවතුණේ ඒ ගම පිටිපස්සේ ඇති වැසිකිළි වල ළඟයි. එතන තමයි මිනිසුන් වැසිකිළි කරන්නේ.

එතනට ගිය මේ ළමයා අර අසුචි කාගෙන කාගෙන ගියා. තොල කට ලෙවකාලා අතපිහදාලා සෝදගෙන ආපහු හැරිලා ආවා. මේ තැනැත්තාගේ අසුචි අනුභවය නිගණ්ඨ ආරාමයේ සියලු දෙනා දැනගත්තා.දැන් මොකද කරන්නේ? නිගණ්ඨයින් හොඳටම කලබල වුණා.“හපොයි…! හපොයි…! මේකා හිටියොත් අපිත් විනාසයි. දෙමව්පියො කිව්වෙ මහා පින්වන්තයෙක් කියලයි. අපිත් හිතුවෙ එහෙම නෙව. මේ පුද්ගලයා අසුචි අනුභව කරලයි ජීවත් වෙන්නෙ. මේක දැනගත්තොත් අපට මේ ප්‍රදේශය දාලා යන්න වෙයි” කියල නිගණ්ඨයන් අර පුද්ගලයාව එළෙව්වා.දැන් මෙයාට යන එන මං නෑ. තනියම කල්පනා කළා.‘ඔව්… මං දැන් තපස් ක්‍රම දන්නවා. මට අසුචි නොකා ඉන්න බැහැ. බත් දකින කොට අප්පිරියයි. ඉතින් මං කොහොමද බත් කන්නෙ? දැන් මට කරන්න තියෙන්නෙ එක දෙයයි. මං තනියම ජීවත් වෙනවා. මට හොඳට තපස් කරන්න පුළුවන්. මං මිනිස්සුන්ට තපස් කරලා පෙන්නනවා. එතකොට මිනිස්සු දැනගනීවි මං මහා ආනුභාව සම්පන්න කෙනෙක්ය කියලා. එතකොට කාටවත් මාව එළවන්න බැහැ’ කියලා මොහු එක්තරා ගල්තලාවක් මතට නැග්ගා. නැගලා දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා.කඳු ගැටයකට අත්දෙක තියාගෙන උඩු අත බලාගෙන කට ඇරගෙන ඉන්නවා. අමුතුම විදිහේ තපස් කරන කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා ආරංචි වුණා. ඔහුගේ නම ‘ජම්බුක’ නමින් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ තාපසයාව බලන්න දුර ඉඳල එන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා,“නුඹලා මොනවා කියනවද? මං මේ කකුල් දෙකම පොළොවේ තිබ්බොත් මහා පොළොව සෙලවී යාවි. කඳු පර්වත පෙරලේවි. කම්පා වේවි. මහා පොළොවට එහෙම උහුලගන්න පුළුවන්කමක් නෑ.”එතකොට මිනිස්සු පුදුමයෙන් වගේ බලාගෙන සාදු නාද දුන්නා. මහා බලසම්පන්න උත්තමයෙක් ආවා කියලා වැඳ වැටුණා. මිනිස්සු තවත් ප්‍රශ්න කළා.“පින්වත් මහා තාපසයන් වහන්ස, තමුන්නාන්සේ මොකද උඩ බලාගෙන කට ඇරගෙන ඉන්නෙ?”“ඔව්… නුඹලා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. නුඹලාට තේරෙනවාද සුළං හමනවා?”“එහෙමයි. අපට තේරෙනවා.”“මං මෙහෙම කට ඇරගෙන ඉන්න කොට අන්න ඒ සුළඟ මගේ කුසට ඇතුල් වෙනවා. ඒක තමයි මගේ ආහාරය. හහ්… හහ්… හා…! සුළං වලින් ජීවත් වෙන වෙන කවුරුවත් නුඹලා දැකලා තියෙනවද?”

එතකොට මිනිස්සු භයෙන් තැතිගත්තා. මේ පුදුමාකාර තාපසයා ඉදිරියේ වැඳවැටුණා. මිනිස්සු කතා වුනා.“මේ වගේ උතුම් කෙනෙකුට දානෙ ටිකක් දෙන්න ඇත්නම් කොයිතරම් හොඳද?” කියලා අති ප්‍රණීත වූ ආහාර පාන පිළියෙල කරගෙන ගිහින් මේ තාපසයා ඉදිරියේ දණගහගෙන ඒ භාජන ඔසවාගෙන හිටියා.“අනේ… උතුම් තාපසයන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාව උපදවා මේ දානයෙන් බිඳක්වත් වළඳන සේක්වා!”එතකොට ජම්බුක ආජීවකයා මෙහෙම කියනවා.“ආහාරයෙන් මට වැඩක් නැතිබව නුඹලා දන්නවා නෙව. හොඳා! නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් මං යම් උපකාරයක් කරන්නම්. අන්න අර තණ කොළ ගහ ගලවගෙන වරෙන්….. ඕන්න බලාපන්… මේ වෑංජනවල මේ තණකොල ගහ ගෑව්වා…. ඔන්න බලාපන්… මං යාන්තං දිවේ තැවරුවා….. හරි… දැන් හරි…. දැන් අරගෙන පලයල්ලා. නුඹලාට හිතන්න බැරි තරම් පිනක් අයිති වුණා.”මිනිස්සු සාදුකාර දුන්නා. වැඳ වැටුණා. පින් දිදී පිටත් වුණා.රාත්‍රියට ජම්බුක ආජීවකයා කකුල් දෙක පොළොව උඩ තියලා කට පියාගන්නවා. හොරෙන් හොරෙන් අඩි තියලා පිටත් වෙනවා. ඒ යන්නේ මිනිසුන්ගේ අසූචි දමන බෑවුමටයි. එතනට ගිහින් අර අසුචි කාගෙන කාගෙන යනවා. හොඳට බඩ පිරෙන්න කනවා. ඊට පස්සේ වගක් නැතුව නොදන්නවා වගේ ආපහු ඇවිත් ඉන්නවා.මේ විදිහට මොහුගේ ජීවිතය පනස් පස් අවුරුද්දක් ගෙවුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් රාත්‍රී වෙලාවක මෙතනට වැඩියා. වැඩලා “පින්වත් ජම්බුක” කියලා ජම්බුක ආජීවකයා ඇමතුවා. එතකොට ජම්බුක තාපසයාට කේන්ති ගියා.“මට නම කියලා කතා කරන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකයේම නෑ. ඔබ කවුද?” කියලා ඇහුවා.“මම ශ්‍රමණයෙක්. මට අද රාත්‍රියේ මෙහෙ නවතින්න ඕන.”එතකොට ජම්බුක ආජීවකයා නවාතැන් දෙන්න කිසිසේත්ම කැමැති වුණේ නෑ. නැවත නැවත කරුණු කියලා කැමැත්ත ගත්තා. ඒ පර්වතයට පහළින් නවතින්න අවසර දුන්නා.රාත්‍රී ප්‍රථම යාමයෙහි සතර වරම් දෙව් මහරජ දරුවන් මුළු මහත් පර්වතය බබුළුවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට පැමිණියා. මධ්‍යම යාමයෙහි සක්දෙව් රජු පැමිණියා. පශ්චිම යාමයෙහි දස දහසක් සක්වල එළිය කරගෙන මහා බ්‍රහ්ම රාජයා පැමිණුනා.මෙය දුටු ජම්බුක ආජීවකයාගේ මාන්නය දුරුවුණා. දමනය වුණා. නැමුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කළා. වන්දනා කොට වාඩිවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ජම්බුක ආජීවකයාගේ අතීත ජීවිතය හෙළිදරව් කළා.“පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.පින්වත් ජම්බුක, කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණා. ඒ කාලෙ ඔබ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුවක්. අවුරුදු විසිදාහක් ආයුෂ තිබුණු ඔබ හොඳට සිල් රැක්කා. නමුත් කෙලෙස් දුරුකරන්න මහන්සි ගත්තෙ නෑ. ඔබ තුළ තිබුණු ඊර්ෂ්‍යාව නිසයි ඔබට මේ විපත වුණේ.ඉතින් ඔබ ගමක පන්සලක වාසය කළා. සැදැහැවතුන් ඔබට ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. දවසක් ඒ පන්සලට තව භික්ෂුවක් වැඩියා. ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඔබ එය හිතුවේ නෑ. ඒ භික්ෂුව කෙරෙහි පැහැදුණෙත් නෑ. ඔබ පැහැදිලා හිටියේ ඔබට ලැබෙන සත්කාර සම්මාන ගැන විතරයි.ඉතින් එක් දායකයෙක් අර භික්ෂුවගේ ගුණ ඔබ ඉදිරියේ කියන්න ගත්තා. ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාව ඇතිවුණා. දවසක් ඒ දායකයා අර භික්ෂුවට සිවුරක් පූජා කළා. ඔබට ඒ ගැනත් ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. දවසක් ඒ දායකයා කැමැත්තෙන්ම ඇවිත් කරණවෑමියෙක් ලවා ඒ භික්ෂුවගේ හිස බෑවා. ඔබට තවත් ඊර්ෂ්‍යාව ඇතිවුණා. ඔබ ඒ භික්ෂුවට නින්දා කරන්න පටන් ගත්තා.“හහ්! ඔහේ කවුද මෙහෙට රිංගගෙන මගේ දායකයො අල්ලගන්න? මේ දායකයින්ටත් පිටස්තර භික්ෂුවක් දැක්ක ගමන් ඒකවමයි ලොකු වෙන්නෙ. ඔහේ මගේ දායකයින්ගේ දානෙ වළඳනවට වඩා හොඳයි අසූචි කෑව නම්. ඔහේ ඔය සිවුරු පොරෝනවට වඩා හොඳයි සෙළුවෙන් හිටිය නම්. මහ ලොකුවට කරණවෑමියන් ලවා හිස බාවගත්තා. ඔයිට වඩා හොඳයි තල් ඇට දෙකකින් තද කොට ඔය කෙස් උදුරගත්තා නම්.”

ඊට පස්සේ පින්වත් ජම්බුක, ඒ අරහත් භික්ෂුව ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පන්සල දාලා ගියා. ඔබ මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ දහස් ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ දුක්වින්ඳා. දැන් ඔබ ඒ කර්මයේ ඉතිරි විපාකත් විඳිනවා. ඔබ තවමත් අසූචි කනවා. තවමත් සෙළුවෙන් ඉන්නවා. තවමත් කෙස් උදුරනවා. පින්වත් ජම්බුක, දැන් ඉතින් දුක් වින්ඳා ඇති.”එතකොට ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට චතුරාර්ය සත්‍යය දේශනා කළා. ජම්බුක සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වුණා.බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගත් පොදු ජනයා පසුදින උදේ වැල නොකැඩී එන්න පටන් ගත්තා. ජම්බුක ආජීවකයාට පැහැදුණු බොහෝ දෙනෙක් හිතුවේ බුදුරජාණන් වහන්සේ ජම්බුකගේ ගෝලයෙක් වූ බවයි. ඒ පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා, ජම්බුක දෙස බලනවා. එවේලෙහි ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා.“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. මං වනාහී ශ්‍රාවකයා වෙමි” කියලා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගුකොට ජම්බුක ආජීවක ඇමතුවා.“පින්වත් භික්ෂුව, එන්න. මේ ශාසනයේ තුළ මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නෙ. දුක් කෙළවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න” කියල වදාළා.එතකොට ජම්බුකගෙන් හිස කෙස් රැවුල් නොපෙනී ගියා. සෙළුවත් නොපෙනී ගියා. මනා කොට සිවුරු හැඳ පොරවා ගත් පාත්‍රය අතට ගත් උපශාන්ත භික්ෂුවක් පෙනී සිටියා. මිනිසුන් සියලු දෙනා සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ජම්බුක භික්ෂුව අරහත්වයට පත්වුණා. ඔහුගේ තපස් ජීවිතය ගැන පිරිස අතරේ කතාබහක් ඇතිවුණා.