Sat. Aug 8th, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

ඩුබායි නගරය ගැන බොහෝ දෙනා නොදන්නා රහස්

1 min read

ඩුබායි කියන්නේ කාන්තාරයක් මැද ඉදිකළ, සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද නවීන, සුඛෝපභෝගී කෘතිම නගරයක්. වසර 50කට පෙර වගේ මෑතක් වනතුරුම කාන්තාරයක්ව පැවති මෙය, මේ වන විට මැද පෙරදිග ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් සහ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා. ඩුබායි වඩාත්ම ප්‍රසිද්ධව පවතින්නේ සුඛෝපභෝගී සාප්පු සවාරි සහ නවීන ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධයෙනුයි.

ලෝකයේ උසම ගොඩනැගිල්ල වන 830m ක්‌ උසැති බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඩුබායිහි ඇති අහස සිඹින අනෙක් කුළුණු අභිබවා නැඟී සිටිනවා. දේපළ වෙළඳාම් සහ සංචාරක කර්මාන්තය මගින් ඩුබායි ආර්ථිකය පවත්වා ගෙන යන අතර ඉතාම ඉහල මට්ටමේ ව්‍යාපෘති මගින් නවීකරණය සහ දියුණුවෙහි හිනිපෙත්තටම ලඟා වීමට ඩුබායි සමත්ව සිටිනවා. ඉතින් මේ අපූරු නගරය ගැන බොහෝ දෙනා නොදන්නා අපූරු කරුණු කිහිපයක් අපි ඔබ සමග බෙදාහදා ගන්න සිතුවා.

ඩුබායි හි බර්ජ් අල් ඇරාබ්( Burj Al Arab) හෝටලයේ ඇතුළත කැරට් 24 රන් පත්‍ර, වර්ග මීටර 1790කින් සරසා තිබෙනවා. එය හරියටම මොනාලිසා චිත්‍ර 46 265ක ප්‍රමාණයක් ආවරණය කිරීමට ප්‍රමාණවත්.ලෝකයේ ඇති මුළු දොඹකර සංඛ්‍යාවෙන් 25% ක් ම තිබෙන්නේ ඩුබායිහි බව කියවෙනවා. නමුත් ඇතැම්විට එය කටකතාවක් විය හැකියි. මොකද වෙනත් මූලාශ්‍ර වලින් පැවසෙන්නේ එය 2 -3% තරම් ප්‍රමාණයක් වන බවයි.කෙසේ නමුත් ඩුබායි නගරය තවමත් දියුණු වෙමින් පවතින නිසා ඇත්ත වශයෙන්ම එහි ඉතා විශාල සංඛ්‍යාවක්‌ දොඹකර තිබෙනවා.

ඩුබායි හි ඇති කෘතීම තල් දුපත් (artificial palm islands) නිර්මාණය කිරීම සඳහා වැලි කියුබික් මීටර මිලියන 94ක් අවශ්‍ය වී තිබෙනවා. එම වැලි ප්‍රමාණය හරියටම, සුප්‍රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල වැනි ගොඩනැඟිලි දෙකහමාරක් පිරවීමට ප්‍රමාණවත්. මොකද එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල කියුබික් මීටර් 37ක්‌ පමණයි විශාල වෙන්නේ.

තවත් විදියකින් කියනවා නම් මෙම දූපත් සඳහා යොදාගත් මුළු ගල් හා වැලි ප්‍රමානය යොදාගෙන, පෘථිවිය වටා තුන්වරක් එතිය හැකි මීටර් දෙකක්( අඩි 6.5) පළලැති තාප්පයක් නිර්මාණය කරන්න පුළුවන්. ඩුබායි පොලීසිය විසින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමටත් තමන්ගේ නගරයෙහි ධනවත් බව පෙන්වීමටත් ඉතාම සුපිරි ගණයේ මෝටර් රථ යොදා ගන්නවා. උදාහරණයක්‌ ලෙස, ෆෙරාරි FF (ඇමරිකානු ඩොලර් 500,000), ලැම්බෝගිනි ඇවෙන්ටේඩර් (ඇමරිකානු ඩොලර් 397,000) සහ ඇස්ටන් මාර්ටින් One-77 (ඇමරිකානු ඩොලර් මිලියන 1.79) වැනි සුඛෝපභෝගී මෝටර් රථ ඩුබායි පොලීසිය සතු වෙනවා.

ඒ අනුව ඇමරිකාවේ එක් ළමයෙකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වැය වන මුළු මුදලට වඩා මිලක් ඩුබායි පොලිස් කාරයක් සඳහා වැය වෙනවා. මොකද ඇමරිකාවේ මිල අධිකම විශ්වවිද්‍යාලය වන නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය සඳහා ළමයෙකුට අවුරුදු හතර සඳහාම වැයවෙන්නේ ඩොලර් 248 000ක මුදලක් පමණයි. ඩුබායිහි මුළු ජනගහනයෙන් 15%ක් පමණයි එමිරාටිස්,(Emiratis) එහෙමත් නැත්නම් ස්වදේශික අරාබි ජාතිකයන් සිටින්නේ.

ඉතිරි 85% ම විදේශිකයන්. ඩුබායි හි අහස සිඹින කුළුණු නිර්මාණය කරන කම්කරුවන් බොහොමයක්‌ ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය වැනි රටවල් වලින් සංක්‍රමණය වූ අයයි. මේ නිසා එහි මුළු ජනගහනයෙන් 50% ක් පමණ ඔවුන්ගෙන් සමන්විත වෙනවා. ඩුබායි හි පන්ති භේදය විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙම කම්කරුවන් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන විට එමිරාටි පුද්ගලයන්ට ඔවුන්ගේ නිවාස කුලී, අධ්‍යාපන හා රෝහල් බිල් සඳහා මුදල් ගෙවනු ලබනවා. එසේම විදේශිකයන්ගෙන් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් ඉතාම ආකර්ෂණීය වැටුප් ලබනවා.

ඇමරිකාවට පාපන්දු තරම්ම ඩුබායි නගරයට ඔටු තරඟ ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් මේ තරඟ සඳහා යොදාගන්න ඔටුවන්ගේ ප්‍රමාණය අනුව ඔවුන් පැදවිය හැක්කේ කුඩා ළමුන්ට පමණයි. මෙය ළමුන් කම්කරුවන් ලෙස යොදා ගැනීමක් නිසා සෙසු ලෝකයා මෙයට එරෙහි වී තිබුණා. එසේම නගරවාසීන් විසින් ළමුන් තරඟ සඳහා යෙදවීමට අකමැති වූ විට ළමුන් ජාවාරම් කිරීම වැනි නීති විරෝධී කටයුතුද සිදුවී තිබුණා. පසුකාලීනව ඩුබායි නගරය විසින් එයට විසඳුමක් ලෙස රොබෝවරුන් නිපදවීම සිදු කලා. ඒ අනුව දැන් ඔටු තරග සඳහා ඩොලර් 300 – 10 000 වැනි මිලකට අලෙවි වන කුඩා ළමුන්ගේ ප්‍රමාණයට සකසන ලද රොබෝවරුන් යොදා ගන්නවා.

මෑතක් වන තුරුම ඩුබායි හි ගොඩනැගිලි වලට ලිපින, සිප් කේත(Zip code) හෝ ප්‍රාදේශීය කේත අංක(Area Code) තිබුණේ නැහැ. ඩුබායි නගරය ඉතාම ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ නිසා එයට නිසි ආකාරයෙන් ලිපින පද්ධතියක් සකසා ගැනීමට හැකි වුණේ නැහැ. මේ නිසා ඔවුන් ලිපියක් යවන විට, ලිපිය යැවිය යුතු ස්ථානයට ළඟාවිය හැකි කුඩා සිතියමක් ඇඳිය හැකි වන සේ හෝ එතැනට ළඟා වන ආකාරය මග සලකුණු සහිතව කෙටියෙන් ලිවීමට කුඩා ඉඩක් තබා තිබුණා. 2015 දී තමයි ඩුබායි නගරයට ගොඩනැගිලී හඳුනාගත හැකි ආකාරයට ඉලක්කම් 10කින් යුතු කේතයක් වන මකානි අංක (Makani numbers) හඳුන්වා දුන්නේ.

ඩුබායි නගරයේ ඔබ කෙතරම් මුදල් ඉපයූවත් ඔබ ආදායම් බදු ගෙවිය යුතු නැහැ. මේ නිසා බොහෝ මුදලක් ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් නගරයට ලඟා වෙන සංචාරකයන් බොහෝමයක් සිටිනවා. නමුත් අවාසනාවකට වගේ ඩුබායි හි ජීවන වියදම ඉතා ඉහළ වන නිසා ඔබ මුදල් උපයන වේගයෙන්ම මුදල් වියදම් වෙනවා. 2013 ලොව පුරා ගනුදෙනු කෙරුණු මුළු රත්තරන් වලින් 40% ක්ම තිබුණේ ඩුබායි නගරයේ. එහි රත්තරන් කුට්ටි නිකුත් කෙරෙන ATM යන්ත්‍ර පවා තිබෙනවා. තවත් විදියකින් කියනවා නම් හොඳින් වැඩුණු අලි 354 දෙනෙකුගේ බරට සමාන වන රත්තරන් තොගෙයක් එම නගරය සතු වෙනවා.

ලෝකයේ උසම, විශාලතම සහ සුඛෝපභෝගී දේවල් අඩංගු ඩුබායි නගරයේ මීළඟ නිර්මාණය වන්නේ ඩුබායි චතුරස්‍රයයි. එය පාපන්දු පිටි 100ක්‌ තරම් විශාලත්වයෙන් යුතු බවයි කියැවෙන්නේ. සුප්‍රසිද්ධ සාප්පු සවාරි ගමනාන්ත වන ලන්ඩන් හි ඔක්ස්ෆර්ඩ් වීදිය සහ ලොස් ඇන්ජලීස්හි බෙවෙර්ලි හිල්ස් වැනි ඒවා ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට යන මෙය හුදෙක්ම සුපිරි වෙළඳ සංකීර්ණයක් පමණක් නොව බොහෝ විනෝදාත්මක කටයුතු සහ ආර්ථික කටයුතු සිදු කෙරෙන විශාල ප්‍රදේශයක් වීමට නියමිතයි.

මිලියන 3.1 ක ජනගහනයක් සිටින ඩුබායි කියන්නේ රටක් නොව නගරයක් බව දැනගත යුතුයි. මෙහි නිල භාෂාව අරාබි වන අතර නිල ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. මෙම නගරයේ දී මත්පැන් සහ ඌරු මස් මිලදී ගැනීමත්, භාවිතා කිරීමත් කළ හැක්කේ මුස්ලිම් නොවන මිනිසුන්ට පමණයි. ප්‍රසිද්ධියේ සිප ගැනීම හෝ අත් අල්ලාගෙන සිටීම තහනම් වන අතර එසේ කිරීම දඩයක් හෝ පිටුවහල් කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම ඩුබායිහි සති අන්තය වන්නේ සිකුරාදා හා සෙනසුරාදා යන දින දෙකයි.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.