Hela Rahas

Hela Rahas Official Web Portal

දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති ථූපාරාමය

ස්තූප සහ ඒ ආශි‍්‍රත වූ ආරාම සංකීර්ණය හැඳින්වීම සඳහා ථූපාරාමය යන නාමය පුරාණ කාලයේ සිටම ව්‍යවහාරයට පත්වූයේ ය. මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟම අනුරාධපුරය ථෙරවාදී බෞද්ධ ශිෂ්ටාචාරයේ මධ්‍යස්ථානය බවට පත් වූයේ ය. අනුරාධපුරයේ මහාවිහාරය ථෙරවාදී බුදුසමයේ මධ්‍යස්ථානය වූයේ ය. මහමෙවුනා උයන දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී. “

බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේ (ධරමාන කාලයේ ) දී ලංකාවේ දාගැබ් දෙකක් නිර්මාණය කළ බැව් අපේ පුරාණ වංසකතාවල සඳහන් වෙයි. ඉන් එකක් මහියංගන දාගැබ ය. අනෙක නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වූ ගිරිහඬු සෑයයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ හැකි ප්‍රථම දාගැබ වන්නේ ථූපාරාමයයි.

අභය වැවේ මැටිවලින් මෙම ප්‍රථම දාගැබ නිර්මාණය කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාගේ (ව්‍යවහාර වර්ෂ පූර්ව 250 – 210) අනුග්‍රහයෙනි. මෙම ප්‍රදේශයේ ඉතා උසම ස්ථානයෙහි මෙම දාගැබ නිර්මාණය කර තිබේ. මෙහි වටදාගෙය සාදවන ලද්දේ පසු කාලයෙහි රජ වූ වසභ (ව්‍යවහාර වර්ෂ 65 – 109) රජුගේ අනුග්‍රහයෙනි. ලජ්ජතිස්ස, ගෝඨාභය, ධාතුසේන, දෙවන අග්බෝ හා දෙවන කාශ්‍යප ආදි රජවරු මෙම දාගැබ කලින් කල ප්‍රතිසංස්කරණය කර ඇත. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය – සිරිසමන් විජේතුංග පි. 66 – 67 සමුද්‍ර ප්‍රකාශකයෝ – 2012)

ථූපාරාම විහාර සංකීර්ණයද දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් ඉදි කළ බව මහාවංසයෙහි මෙසේ සඳහන් වේ. ‘නරේන්ද්‍ර තෙමේ ථූපය පෙරටුකොට එහි විහාරයක් කර වූයේ ය. මේ විහාරයේ නම එයින් ථූපාරාමය යැයි ප්‍රකට විය. දැනුදු පුරාණ නටබුන් සහිත වූ මේ පුදබිම අක්කර තුන හමාරක භූමි ප්‍රදේශ පුරා දක්නට ලැබේ. ආරාම පිහිටි ප්‍රදේශය මෙහි දක්නට ලැබේ. සීමා පවුර අද දක්නට ඇති ආකාරයෙන් අඩි හතර හමාරක් ඝනකමින් යුක්ත ය.

ථූපාරාමය-වර්තමාන ස්තූපය විෂ්කම්භය අඩි 164 1/2 වූ කවාකාර වේදිකාවක් මත පොළව මට්ටමෙන් අඩි 11 පමණ උසින් පිහිටියේ ය. දාගැබ වටා කැටයමින් යුක්ත ශීර්ෂ සහිත සම කේන්ද්‍රීය ශිලා ස්තම්භ හමුවේ. ඇතුළු කවයේ සිට පිටතට වත්ම එම ශිලා ස්ථම්භවල උස කෙමෙන් අඩු වෙමින් යයි. එක් කලෙක මේ ටැම් (සථම්භ) මුදුන් ශිඛරයකින් යුක්ත වූ අර්ධ ගෝලාකාර පියස්සක් උසුලනු ලැබිණි.

මෙම දාගැබේ පැරැණිම ස්වරූපය වූ ධාන්‍යාකාර හැඩයෙන් ඝණ්ඨාකාර හැඩය දක්වා පරිවර්තනය සිදු වූයේ 1862 වර්ෂයේ දී කරන ලද ප්‍රතිසංස්කරණවලදීයි. මේ දාගැබෙහි වර්තමාන උස අඩි 63 කි. විෂ්කම්භය අඩි 59 කි. ශ්‍රී ලංකාවේ පුරාණතම දාගැබ වූ, මෙහි මුල් ස්වරූපය ඉහතින් සඳහන් කළ අලුත්වැඩියාවෙන් වෙනස් වී ඇත. (පුරාණ අනුරාධපුරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න – පි. 116 – 118 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1995 )

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද (Stopa in Ceylon ) ( ස්තූප ඉන් සිලෝන්) නම් ග්‍රන්ථයෙහි ථූපාරාමය ගැන මෙසේ සඳහන් කරයි. ථූපාරාමය පිළිබඳ ඉතාම වැදගත් ලක්ෂණය වනුයේ ස්තූපය වටේ ඒකකේන්ද්‍රියව පිහිටුවන ලද අලංකාර ගල් කුලුණු පේළි සතරයි. තනිගලින් නිමකළ එම කුලුණුවල කඳ මුල සිට උසින් තුනෙන් කොටසක් පමණ චතුරශ්‍රාකාර වූ අතර, එතැන් සිට අෂ්ටාශ්‍රාකාර වේ. වෙන් වශයෙන් නෙළන ලද කුලුණු හිස් කූඩුම්බි තව් හා කූඩිම්බි මාර්ගයෙන් කුලුණු කඳට සම්බන්ධ කර තිබේ. පළමුවන හෙවත් ඇතුළුම කුලුණු වටය දාගැබ වටේ තනා තිබූ උස් බිම් තීරය මත අඩිතාලමේ ගර්භයේ සිට අඩි 3 අඟල් 1 දුරින් පිහිටියේ ය.

මේවටය අඩි 22 අඟල් 10 උස ඇති කුලුණු 52 කින් යුක්ත ය. දෙවට කුලුණු පේළි වටය සිට අඩි 10 අඟල් 3 ක් දුරින් පිහිටි අතර ආරම්භයේ අඩි 21 උස වූ කුලුණු 36 න් සමන්විත විය. තුන්වන වටය දෙවන වටයෙන් ඈත් වී තිබෙන්නේ අඩි 9 අඟල් 7 ක පරතරයකි. එහි කුලුණු 40 වු අතර උස අඩි 19 පමණ විය. පිටතින්ම ඇති කුලුණුවටය තුන් වන වටයේ සිට අඩි 14 දුරින් පිහිටා තිබේ. මෙහි අඩි 14 ක් උස් වූ කලුණු 48 ක් විය. පිටතින්ම පිහිටි කුලුණු වටය සහ ඉහත සඳහන් බිම් තීරයේ ගැටිය අතර මළු පෙදෙස ගල් පුවරු අතුරා ඇත. සලපතළ මළු පෙදෙසෙහි වටයේ සිට (පරිධියේ) අඩි 5 ක් පමණ ඇතුළතින් සහ තෙවන හා සිව්වන කුලුණු වටයන් අතර ස්තූපය වටේ ඉදිකරනු ලැබූ ගඩොල් බිත්තියක සලකුණු සොයාගෙන තිබේ. (ලංකාවේ ස්තූපය – ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 66 – 67 – 1963 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

ථූපාරාමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කර දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලදී. මේ පිළිබඳ මහා වංසයේ ඉතා දීර්ඝ ලෙසින් විස්තර කර ඇත. රජතුමා ස්තූපය සඳහා ආරාමයක් ද කරවී ය. විවිධ රජවරු මෙම ථූපාරාමය පිළිසකර කරන ලද බව මහාවංස විස්තරවල ද, ථූපවංසය ආදී ග්‍රන්ථවල ද සඳහන් වේ. මෙහි ඉහතින් සඳහන් කළ කුලුණු හිස් ඉතා අලංකාර ලෙසින් කැටයම් නෙළා තිබීම විශේෂත්වයකි. වටදා ගෙවල් සඳහා වූ මෙවැනි කැටයම් කළ කුලුණු හිස් ලංකාරාමය, මැදිරිගිරිය ආදියෙහි ද දැකිය හැකි ය.