Hela Rahas

Hela Rahas Official Web Portal

දත් මැදීමෙන් ඔබට ලැබෙන වෙනත් ප්‍රයෝජන 7ක්

වර්තමානයේ අධික ලෙස සීනි අඩංගු වන ආහාර රටාවත් එක්ක අපි හැමෝම දන්නවා දත් හොඳින් රැක බලා ගැනීම කොයිතරම් වැදගත් දෙයක්ද කියලා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණය තමයි දත් මැදීම මගින් විවිධ බැක්ටීරියාවන් අපගේ රුධිර ප්‍රවාහයට එකතු වී, හානි කරමින් සිරුර පුරා සංසරණය වීමත් වළකින බව. මේ නිසා ඇත්තෙන්ම අප සිතනවාට වඩා ලොකු බලපෑමක් දත් මැදීම මගින් සිදුවෙනවා. ඒ නිසා දත් මැදීම අවශ්‍ය වන්නේ ඇයි සහ දත් නොමැදීම නිසා සිදුවන දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අපි මේ ලිපිය අද ලියන්නේ.

01.එය හදවතට හිතකර වීම.

  • දිනකට දෙවරක් දත් මැදීම මගින් හදවතේ ප්‍රදාහ තත්ත්වයන් සහ විවිධ සංකූලතාවයන් ඇතිවීම වළක්වාගත හැකියි. හදවත හරහා හානිකර බැක්ටීරියා ගමන් කරන විට පටක ඉදිමීම (endocarditis) සිදුවෙනවා. මෙය දැනටමත් හදවත් රෝග ඇති පුද්ගලයන්ට, විශේෂයෙන්ම ඔවුන්ගේ හදවතේ කපාට සම්බන්ධ ගැටලු වලදී, අවදානම් සහගත විය හැකියි.

02.පෙනහළු සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට හැකිවීම.

  • වැඩිහිටි පුද්ගලයන් යොදාගෙන සිදුකරන ලද අධ්‍යනයකින් ඔප්පු වූ කාරණයක් තමයි මුඛ සෞඛ්‍යය, පෙනහලු වල සෞඛ්‍යය සමග ඉතාමත් ළඟින් සම්බන්ධ වන බව. දත් මැදීම මගින් අප හුස්ම ගන්නා විට මුඛයේ සිට පෙනහලු දක්වා ආසාදනයක් ඇති වීමේ අවදානම අවම කරගන්නවා. ඔබ‍ට දැනටමත් නිදන්ගත පෙනහළු රෝග තත්ත්වයක් තිබෙනවා නම් මෙය ඉතාමත් වැදගත් කාරණයක්.

03.ඇල්සයිමර් රෝගයෙන් ආරක්ෂා කිරීම.

  • අධ්‍යයන වලට අනුව විදුරුමස් රෝග සහ ඩිමෙන්ෂියා; නිශ්චිතවම කියනවා නම් ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease), සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙනවා. රෝගීන් 6000ක් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණයකින්, විදුරුමස් ආසාදන වල පවතින බැක්ටීරියාවන් මොළය දක්වාම ගමන් කළ හැකි බව සොයා ගැනුණා. මෙය සිදුවන්නේ අප දත් මැදීම මග හරින විට එම ආසාදන සිරුර හරහා ගමන් කිරීම තුළිනුයි.

04.විදුරුමස් රෝග සහ වෙනත් ආසාදන වලින් ආරක්ෂා කිරීම.

  • මෙය බොහෝ දෙනෙක් දන්නා කාරණයක් වුණත් විදුරුමස් රෝග වලින් අපේ සිරුරට ඇති කළ හැකි බලපෑම ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. අප නිරන්තරයෙන් දත් මැදීමේදී මැලියම් වැනි දුඟද හමන හානිකර බැක්ටීරියා එකතු වීම වළක්වා ගන්නවා. දත් මැදීම නොසලකා හැරීම මගින් පෙරිකොරොන්ටිස් (pericoronitis) හරහා කම්මුල් ඉදිමීම, මුඛයෙන් දුගඳ හැමීම සහ පටකවලට හානි වීම නිසා වණ හටගැනීම ආදිය සිදුවිය හැකියි.

05.මුඛය නැවුම්ව පවත්වා ගැනීම.

  • අවම වශයෙන් මිනිත්තු 2 බැගින් දිනකට දෙවරක් දත් මැදීමත්, දිනකට අවම වශයෙන් එක් වරක් හෝ දිව මැදීමත් කළ යුතු බවට විශේෂඥයන් නිර්දේශ කරනවා. මෙමගින් දුර්ගන්ධයට හේතු වන සල්ෆර් නිපදවන බැක්ටීරියාවන් මුඛයේ සහ උගුරේ එකතු වීම වළක්වා ගත හැකියි.

06.දරු ප්‍රසූතියේදී ඇතිවන අපහසුතා අවම කිරීම.

  • දරුවාට බලපෑම් ඇති කළ හැකි විදුරුමස් ආසාදන වළක්වා ගත හැකි නිසා, ගර්භණී අවධියේදී යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. එවැනි ආසාදන මගින් වැදෑමහ/කළල බන්ධයේ ප්‍රදාහ තත්වයන් ඇති කෙරෙන නිසා අඩු බර උපත් ඇති විය හැකියි. කලලබන්ධය ඉදිමීම නිසා ගර්භාෂය තුළදී දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති කෙරෙනවා.

07.රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වීම.

  • දත් පිරිසිදු කිරීමට කාලය ගත කිරීම රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා. මේ වන විට අයහපත් මුඛ සෞඛ්‍යය සහ අධික රුධිර පීඩනය අතර සම්බන්ධතාවයක්ද සොයාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර නාල, හෘදය සහ වෙනත් වැදගත් ඉන්ද්‍රියන් කෙරෙහි අමතරව පීඩනයක් ඇතිවන නිසා යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන, රුධිර පීඩනය පාලනය කර ගැනීම ඉතාම වැදගත්.