Hela Rahas

Hela Rahas Official Web Portal

දරුඵල අහිමි කරවන ග්‍රහ හතුරෝ

විශේෂයෙන් විවාහපත් වූ ඕනෑම ස්ත්‍රියකගේ ඊළඟ පැතුම වන්නේ දරු සම්පතකි. මෙය ස්ත්‍රියකගේ පමණක් ප්‍රාර්ථනයක් නොවන අතර විවාහක දෙපළගේම බලාපොරොත්තුවක් බව කිව යුතුය. ඒ වගේම නිසි කාල සීමාවන් සපුරා ඇත්නම් මාපියන්, නැන්දම්මා / මාමාවරු පවා හීන දකින්නේ තමන්ගේ මුනුබුරකුගේ හෝ මිනිබිරියකගේ මුහුණ දැකීමයි.

නමුත් අවාසනාවකට මෙන් මෙවන් කිරි සිහින දකින්නට, විවාහපත් වූ නව යුවළ අපොහොසත් නම් එය පවුල් ජීවිතය පවා දෙදරා යෑමට අවස්ථාව වනු නිසැකය. එසේම පුරුෂ පාර්ශ්වයට වඩා ස්ත්‍රී පාර්ශ්වයට මෙවන් අවස්ථාවකදී එහි වැඩි අවදානම එල්ල වන බවද තරයේ සිහි තබා ගත යුතුය. එනිසා එවන් තත්ත්වයක් උපතින්ම හෝ අවාසනාව මත ස්ත්‍රී ඔබට උරුම දැයි නිවැරදි ජන්ම කේන්ද්‍රය තුළින් හඳුනා ගැනීමට හැකියාව පවතින්නේය. බෞද්ධ ග්‍රන්ථකරණයේද ජාතක රත්නයේ දරුවන් නොලබන ස්ත්‍රීන් වර්ග අට දෙනෙකු පිළිබඳ අවධාරණය කොට ඇත.

  • වඳ ස්ත්‍රීන්
  • වයස්ගත ස්ත්‍රීන්
  • ව්‍යාධි ස්ත්‍රීන්
  • ළමා ස්ත්‍රීන්
  • මළ ස්ත්‍රීන්
  • මාස් ශුද්ධියෙන් තොර ස්ත්‍රීන්
  • රළු ගතියෙන් යුතු ස්ත්‍රීන්
  • තරබාරු ස්ත්‍රීන්

වශයෙනි. නමුත් මෙය යම් ස්ත්‍රියකගේ තත්ත්වයන්ට සීමාවන හේතූන් නිසාවෙන් මෙහි සඳහන් තරබාරු ස්ත්‍රීන්, රළු ගති ස්ත්‍රීන් ආදීන් දරුවන් ලබන අවස්ථා ද නැත්තා නොවේ. එනිසා මෙම ස්ත්‍රි වර්ගීකරණයටත් එහා ගිය නිසි ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවන් තුළින් ස්ත්‍රියකගේ දාරක ශක්තිය කෙබඳුද යන කාරණාව නිසි ලෙස දැන ගැනීමට හැකියාව පවතින්නේය. ගුරුද, පස්වැන්න අධිපතිද , ලග්නාධිපතිද, සත්වැන්නාධිපතිද දුබල නම් එම තැනැත්තාට දරුවන් නොමැත්තේය.

ඔවුහු දරුවන් වෙනුවෙන් කිරි සිහින ළං කර ගන්නට මනසින් පවා පීඩා විඳිති. එසේම කේන්ද්‍රයේ ගුරුගෙන්ද, සඳුගෙන්නද, ලග්නයෙන්ද පස්වැන්නේ ශුභ ග්‍රහයෝ නොවේ නම් හෝ අශුභ ග්‍රහයෝ වෙත් නම් එවැන්නෝද දරුවන් ලබන්නට පිං කර නැත. පස් වැන්නට රාහුගේ සම්බන්ධකම් වේද, පස්වැන්නාධිපතිත් රාහුගේ නැකතක වේද, හෙතෙම සර්පයන්ට කළ තාඩන පීඩන නිසාවෙන් දරුවන් නොලබයි.

තවත් ලෙසකින් බලවත් අශුභතාවක් වන්නේ කේන්ද්‍රයේ පස්වැන්න අශුභ ග්‍රහයකුට අයත් වේද, තවත් අශුභ ග්‍රහයෝ එහි වෙත්ද, ශුභ දැක්මක් නොවේද ඔහුට කිසිදු දරුවකු ලබන්නට වාසනාවක් නොමැති වීමයි. හත් වැන්නාධිපති පහේ සිටි විටත් බිරිඳට දරුවන් නොමැති තත්ත්වයකි. එසේම 5-6-8-12 යන තැනක පාපීන් සිටි විටද දරුඵල නොමැත. රාහු 05 සිටියදී පස්වැන්න අධිපතියා 6-8-12 යන දුෂ්ට ස්ථානයක වේ නම් ද දරුවන් නොලබන්නට බලවත් වන්නකි.

ලග්නාධිපතිත් පස්වැන්න අධිපතිත් පරිවර්තනය වී සිටී නම් දරුවන් ලබන්නට වාසනාව අහිමිය. තවත් කාරණාවක් නම්, පස්වැන්න අධිපතියා රාහු සමඟ යෝගව සිටියදී පහ අධිපතියාගේ භුක්තියේදී දරුවකු ලද විට එවන් දරුවන් දිවි ගෙවන්නේ ඉතා කෙටි කාලසීමාවක් බවද දත යුතුය. මෙවන් අශුභතා සහිත නම් කල් තියාම පවත්නා අශුභතාවලින් මිදීමට අවශ්‍ය පරිසරය යම් තාක් දුරට හෝ සකස් කර ගැනීම අවශ්‍ය වන්නේය.

බොහෝ මෙවන් ග්‍රහ තත්වයන්ගෙන් යුක්ත දෙදෙනා නිසි ප්‍රතිපත්ති සම්පූර්ණ කොට ගනිමින් තමාගේ කාරණා කටයුතු මූලික කොට ගත්තා වූ අවස්ථාද මා දැක ඇත. දරුවන් නොමැති මවුවරුන් පත්තිනි මවුන් උදෙසා පවත්වනු ලබන විශේෂිත පුද සත්කාර කිහිපයක් ඉදිරි ලිපියකින් වෙනම ඔබ වෙත ඉදිරිපත් කරන අදහසින් සමු ගනිමි.