Hela Rahas

Hela Rahas Official Web Portal

දරු සිහිනය සැබෑ කරන වත්පිළිවෙත්

අපේ රටේ තිබෙන ඉතා පුණ්‍යවන්ත, බලවත් පූජනීය ස්ථානයක් තමයි අනුරාධපුර අටමස්ථානය කියන්නේ. ඉතින් අද බේබි ඩස්ට් වෙතින් ඔබට කියන්නම් ඔබේ කිරි සිහිනය සැබෑ කර ගැනීමට නිවැරදිව අනුරාධපුරයේදි පින්කමක් සිදු කරන ආකාරය ගැන.
බුද්ධ ධර්මයේ පැහැදිලි කිරීම අනුව දරුවෙකු හටගැනීම සදහා කරුණු 3ක් සම්පූර්ණ විය යුතුයි.

  1. මවගේ සෘතු වීම ( සරු ඩිම්බයක් පිටවූ සරු දවස එළඹීම)
  2. මවගේ පියාගේ එක්වීම ( ශුක්‍රාණු මුදා හැරීම /ලිංගික සංසර්ගය)
  3. ගන්ධබ්බයෙකුගේ පැමිණීම.

වෛද්‍ය විද්‍යාත්මකව තවමත් පහදා නොමැති මේ 3වන අවස්ථාව ඉතාම වැදගත් වේ. ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වන විට එකී කළලයට සිතක් පැමිණෙන්නේ මෙය සම්පූර්ණ වන විටයි. එබැවින් දරුවෙක් බලාපොරොත්තු වෙන, දරුවන් ප්‍රමාද ඕනම කෙනෙක් නිරතුරුවම දරුවෙකුට ආරාධනා කිරීම මගින් මේ 3වන අවස්ථාව සම්පූර්ණ වේ. අනුරාධපුර වැනි පුණ්‍ය භුමියකදී මේ කටයුත්ත සිදු කරන ආකාරය දැන් අපි බලමු.

පළමුව පින්කමට සහභාගි වන ඔබ දෙදෙනා ඇතුළු ගමනට සහභාගී වන පිරිස දින 3ක් වත් පිලී වලින් ඈත්වී, පේ විය යුතුයි. නා පිරිසිදු වී ගමන ආරම්භ කල යුතුයි.

කාන්තාවගේ සරු කාලය මේ සඳහා තෝරා ගන්නේ නම් ඉතාමත් හොදයි. (ඔබේ Ovulation strip හා HCG strip මේ පූජාවට රැගෙන යන්න.)

පාන්දර නැගිට ඉතාමත් භක්තියෙන් සැමියා හා බිරිඳ දෙදෙනාම එක්වී උඩු වියනක් බැද අලුත් සහලින්, අලුත් බදුන් වල සකසන ලද කිරි ආහාර කුඩා මැටි පාත්‍ර වල දමා පිරිසිදුව උඩ මළුව හා රුවන් වැලි මහා සෑයට පූජා කල යුතුයි. (බුද්ධ පූජාවෙන් පසුව ගාථා හා පිරිත් කියන්න)

උදෑසන නා පිරිසිදු වී සුදු ඇදුමින් සැරසී යා යුතුය.

ගිලන්පස ඇතුළු බුද්ධ පූජාව හා රැගෙන යන අනෙක් පිරිකර ද නෙළුම් මල්, පහන්, සුවඳ දුම් ආදිය ඉතාම සැදැහැවත් සිතින් පූජා කල යුතුයි.

ඉන්පසුව මළුවේ වාඩිවී මේ ස්ට්‍රිප් ළග තබාගනිමින් නමස්කාරය කියා, තෙරුවන් නැමද, පන්සිල් සමාදන් වී, බෝධි පූජා කවි, තුන් සූත්‍රය ශබ්ද නගා ගායනා කල යුතුයි.

ඊට අමතරව අංගුලිමාල පිරිත, ජය පිරිත හා බොජ්ඣංග පිරිත ගායනා කල යුතුයි.

දෙදෙනාම එක්ව දෙවියන් ට මියගිය ඥාතීන් හට පින් අනුමෝදන් කරන්න.

කාන්තාවගේ කුසට අත් තබා අද මේ කරගත්තා වූ අපමණ පින් බලයෙන් මහමෙව්නා උයනේ මවු කුසක් සොයමින් වෙසෙන පින්වත් ගන්ධබ්බ ආත්මයක් කුසට වඩිත්වා කියා දරුවෙක්ට කුසට ආරාධනා කල යුතුයි.

ඒ දරුවා මෙලොව එළිය දුටු පසු මාස 3ක් සපිරෙන්නට පෙර සිට හා ඉන්පසු හැකි සෑම විටම කිරිආහාර, පිරිකර, රතු නෙළුම් හා සුදු නෙළුම් මල් මිටි සමග පැමිණ අනුරාධපුර අටමස්ථානයම වන්දවා, කුසල් රැස් කරගැනීමට මවුපියන් ලෙස මගපාදන බව පොරොන්දු වන්න. ශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන් වැලි මහා සෑයට ජීවිත පූජාවෙන් ඇප කැප වී සේවය කරන බවට, සම්බුද්ධ ශාසනය රැක ගැනීමට වෙහෙසෙන බවට, බුද්ධ දර්ශනය අනුව ජීවත් වන බවට පොරොන්දු වන්න.

බුද්ධ පූජාවට පසු ඉතිරි වූ කිරි ආහාර පූජා මළුවේ සිටින අයට හැකි තරම් පිරිසිදු ලෙස බෙදා දෙන්න.

අටමස්ථානය වැද, වෙනත් පින්කම්ද සිදු කරන්න. ආලෝක පූජාව සදහා පඩුරු ලබාදෙන්න.

දුගී දුප්පත් ජනයා හට, කුඩා දරුවන්ට, ගර්භණී මවුවරුන්ට, කුසගින්නේ සිටින කෙනෙකුට, සතෙකුට හැකි සෑම විටම ආහාර පාන දානය කරන්න. කුසගිනි නිවී කුස පිරෙනවා සේ හිතේ දුක්ගිනි නිවී පින්වත් දරුවෙකුගෙන් ඔබේ කුස පිරෙන්න යැයි ප්‍රාර්ථනා කරන්න. කළ පින්කම් මතක් කරමින් සතුටු වී තවත් පින්කම් සිදු කරන්න.

අනුරාධපුර පූජාව පවත්වන දිනම දරුවෙකු සදහා අනුරාධපුරදීම උත්සාහ කරන්න හැකි නම් හොඳයි.

ඉන්පසුව දින 3ක්වත් යනතුරු හැකි ලෙස පේ වන්නේ නම් හොඳයි.

මෙසේ අනුරාධපුර අටමස්ථානය වන්දනා කර ඇප කැප වී කටයුතු කරන විට ඔබේ කුසේ පින්වත් දරුවෙක් ඉක්මනින් පිළිසිඳ ගැනීම සිදු වේ.
ඉතින් ඔබ වෙනුවෙන් ම බේබි ඩස්ට් වෙතින් මේ කරුණු සොයාගෙන ඉදිරිපත් කලේ අපෙත් එකම පැතුම එය නිසයි. මේ ලිපිය ඔබට වැදගත් වේ කියලා අපි හිතනවා. ❤️

ඔබ සියළු දෙනාටම උතුම් තෙරුවන් සරණයි සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි. 😇