Sat. Sep 19th, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

දානයක් උයනකොට ලුණු ඇඹුල් බැලුවොත් පව් ද?

අද අපේ සාකච්ඡාවට යොමුවන්නේ ශ්‍රද්ධාව. ‘ශ්‍රද්ධාව’ කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීමයි. මෙහි කොටස් දෙකක් තිබෙනවා. එකක් අමූලිකා ශ්‍රද්ධාව, අනික ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ, මෝඩ ශ්‍රද්ධාව. එනම් කරුණු කාරණා හරි හැටි නොදැන හැමදේටම පැහැදීමයි. සමහර අය ඕනෙම දේකට රැවටෙනවා.

පසුගිය දවස්වල සමහර අය තමන් රහත්වුණා කියලා කිව්වා. කරුණු හරිහැටි අවබෝධයක් නැතිව තමයි එහෙම කියන්නේ. නමුත් රහත් වෙන්න පුළුවන්. හැබැයි ‘මම රහත්වුණා’ කියලා රහත් වෙච්ච අය කියන්නේ නෑ. මේ කරුණු කාරණා හරි හැටියට නොදැන හැමදේටම පැහැදීම තමයි අමූලිකා ශ්‍රද්ධා කියන්නේ.

අමූලිකා ශ්‍රද්ධාව කියන දේ බුදු දහම ප්‍රතික්ෂේප කරනවා. මේ ශ්‍රද්ධාව තියන අය බොහෝමයක් කරන්නේ මෝඩ වැඩ. අපි උදාහරණයක් විධියට ගත්තොත්, සමහර අය ඉන්නවා පන්සලේදී මල්, බුද්ධ පූජාව ආදිය පූජා කරනකොට ඒක බුදු පිළිමයේ අත උඩින්ම තියනවා. ඒකෙන් වෙන්නේ පිළිමයට හානියක් වෙන එක විතරයි. අන්න ඒක තමයි අමූලිකා ශ්‍රද්ධාව.

එතකොට ප්‍රඥාවෙන් හැම දෙයක්ම අවබෝධ කරගෙන කරුණු කාරණා දැනගෙන තෙරුවන් කෙරෙහි පැහැදීම, ආකාරවතී ශ්‍රද්ධාව වේ. මේ අයට බුදු දහමේ ද යම් යම් ගැටලු තැන් තිබුණත්, එයාලා මේ ගැන හොඳට හොයලා බලලා කරුණු කාරණා අවබෝධ කරගන්නවා. හාමුදුරු කෙනෙක් ගත්තත්, හැම හාමුදුරු කෙනෙක්ම එකම මට්ටමේ නැහැ.

එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කරුණු හරි හැටි අවබෝධ කරගෙන ඉන්න කෙනා, ඒ හාමුදුරුවරු කරන කියන දේවල් දිහා බලලා කලකිරෙන්නේ නෑ. මොකද එයා හැම දෙයක් පිළිබඳම අවබෝධයෙන් ඉන්න නිසා. ප්‍රඥාවෙන් යුක්තව ඇතිවන ශ්‍රද්ධාව “ආකාරවතී ශ්‍රද්ධාව“ වෙනවා.

දැන් අපි ප්‍රඥාව ගැන දැනගනිමු. පින්කමක් කරද්දී අනිවාර්යයෙන්ම තිබිය යුතුම තවත් ලක්ෂණයක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. අපි කරන පින්කම හරි ආකාරව කිරීමට හැකියාවක් පවතින්නේද, මේ ප්‍රඥාව හා ශ්‍රද්ධාව නිසයි. ශ්‍රද්ධාව නැතිව දැනුම පමණක් තිබීම නිසා මිනිසුන් කපටි කෛරාටික වෙලා කරන පින්කම් සුළුවෙන් කිරීමට පෙලඹෙනවා. ඒ නිසා තමන් කරන පින්කම උඩින් පල්ලෙන් කිරීමට උත්සාහ ගන්නවා.

දැන් සමහරු කියනවා එක මලක් පූජා කළත්, මල් 100 ක් පූජා කළත් ලැබෙන්නේ එකම පින කියලා තර්ක විතර්ක කරනවා. එතන තියෙන්නේ ප්‍රඥාව විතරයි. ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව වැඩියෙන් තිබිලා ප්‍රඥාව අඩු වුණාම තමයි මිනිසුන් මෝඩ විදියට පින්කම් කිරීමට පෙලඹෙන්නේ. පින්කමකදී කළයුතු දේවල් මෙන්ම නොකළ යුතු දේවල් ද මිනිසුන් කිරීමට පෙලඹෙන්නේ මේ නිසයි. ඒ නිසා ඕනෑම පින්කමකදී ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන දෙකම තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් තිබ්බාම පින්කමක් සාර්ථකව සිදුකර ගන්න පුළුවන්.

තමන් හරි හම්බ කරපු මිල මුදල් විය පැහැදම් කරලා බොහොම ශ්‍රද්ධාවෙන් කරන පින්කමේ ආනිශංසත් එයා දැන ගන්න ඕනේ. මට මෙන්න මේ පින්කම කළාම මේ ආනිශංසය ලැබෙනවා. මේ පින්කම කළොත් මේ ආනිශංසය ලැබෙනවා කියලා දැනගන්න ඕනේ. ධර්ම දේශනා පින්කමකදී ලැබෙන ආනිශංස නෙවෙයි, දානමය පින්කමකදී ලැබෙන්නේ. දානමය පින්කමකදී ලැබෙන ආනිශංස නෙවෙයි, කඨින පින්කමකදී ලැබෙන්නේ.

කඨින පිංකමකදී ලැබෙන ආනිශංසය නෙවෙයි පිරිත් පින්කමකදී ලැබෙන්නේ. අන්න ඒ දේවල් ගැනත් හොඳ අවබෝධයකින් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව. මේ සියලු කරුණු කාරණා දැනගෙන පින්කමක් සිදු කළොත් තමයි, ඒ පින්කමේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ.

දැන් දානමය පින්කමකදී අපි ගොඩක් අයගේ දකිනවා ශ්‍රද්ධාව තියනවා. නමුත් ප්‍රඥාව නෑ. දානය උයනකොට ලුණු ඇඹුල්වත් බලන්නේ නෑ. දානය ඉඳුල් කරන්න හොඳ නෑ කියන මතය තමයි මෙතැන තියෙන්නේ. ඒකෙන් කියන්නේ ශ්‍රද්ධාව වැඩිකම. සූපවේදයේ එක් අවස්ථාවක් තමයි ලුණු ඇඹුල් බලන එක. දැන් හිතන්න තමන් උයන කෑම එක දෙන කෙනාට කන්න බැරි නම්, ඒක අහක දාන්න වෙනවා නම්, විසි කරන්න වෙනවා නම්, ඒකෙන් වැඩක් නෑ. හැබැයි තමන් දෙන කෑම එක කාලා ඒ කෙනා හොඳට කුස පුරවා ගන්නවා නම්, ඒක දෙන කෙනාටත් පින් සිද්ධවෙනවා. එය ලබා ගන්නා කෙනාටත් සතුටුයි.

ස්වාමීන් වහන්සේලාට පමණක් නෙවෙයි, අපි හිතමු දුප්පත් අහිංසක මනුස්සයෙක් කන්න එනවා කියලා. ඒ මනුස්සයා එන්නේ බඩගින්නට කන්න කෑම එකක් ඉල්ලාගෙන. දැන් අපි ඒ මනුස්සයාට කෑම එකක් දුන්නාම, ඒ කෑම එකේ ලුණුත් නෑ, මිරිසුත් නෑ. ඒ මනුස්සයා ඒ කෑම එක කන්නේ නෑ, අනේ අයින් කරනවා. දැන් අපිට සතුටු වෙන්න පුළුවන්ද? හිතට කලකිරීමක් තමයි ඇතිවෙන්නේ. ඒකෙන් දෙන කෙනාට වැඩකුත් නෑ ලබා ගන්නා කෙනාට වැඩකුත් නෑ. හැබැයි ඒ කෑම එක රසවත් නම්, ඒ මනුස්සයා ඒක බඩකට පිරෙන්න කාලා, පිනුත් දීලායි යන්නේ. අපිටත් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.

ඒ නිසා දානය උයනකොට ලුණු ඇඹුල් බලනවා කියන එක ඉඳුල් කිරීමක් නෙවෙයි. ඒක නිසා ස්වාමීන් වහන්සේලාට දානය පිළියෙල කරනකොට ලුණු ඇඹුල් බලලා ඉතාමත් රසවත්ව ප්‍රණීතව තමයි දානය පිළිගන්වන්න ඕනේ.

සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීලා තිබෙන විදිය තමයි, දායකයන් පිළිගන්වන ඕනෑම දෙයක් වළඳන්න කියලා. ඒකේ ලුණු ඇඹුල්වත් රස ගුණවත් බලන්න එපා කියලා. හැබැයි කාට නමුත් කෑම එකක් දෙද්දී ඒ දෙන දේ ප්‍රණීතව දෙනවා නම්, ඒකත් බුදුන් වහන්සේ අගය කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ කාලයේ ඉතාමත් රසවත්ව ප්‍රණීතව දන් දෙන්නියන් අතර අග තනතර “සුප්පාවාසා දේවියට” හිමි වුණේත් මේ නිසයි.

අන්න ඒ නිසා සූදානම් කරන දානය ඉතාමත් රසවත්ව ප්‍රණීතව පිළිගැන්විය යුතුයි. ප්‍රඥාව කියන්නේ ඒකටයි. ශ්‍රද්ධාව නිසා ඒක නොකර ඉන්නවා නම් ඒක මෝඩ කමක්. ඒක නිසා ප්‍රඥාවෙන් කල්පනා කරලා ‘අනේ අපි මේක පිළිගන්වන්නේ හාමුදුරුවන්ට, හාමුදුරුවන් කියන්නේත් අපි වගේ පිරිසක්. ලුණු ඇඹුල් රස හොඳට දැනෙන පිරිසක්. ඒක නිසා අපි මේක ලුණු ඇඹුල් බලලා රසවත්ව පිළිගන්වන්න ඕනේ.” අන්න එහෙම හිතන එක තමයි ප්‍රඥාව.

ලුණු ඇඹුල් හරි ආකාරව නොමැතිව දානය වළඳද්දී ස්වාමීන් වහන්සේලා ඉතාමත් අපහසුතාවයන්ට පත් වෙනවා. මොකද හාමුදුරුවන්ට කියන්න බෑනේ, මේකට ලුණු නෑ. මේකට මිරිස් නෑ කියලා. හාමුදුරුවරු කියන්තේත් ලුණු ඇඹුල් රස දැනෙන පිරිසක්. දැන් එහෙම වෙලා හාමුදුරුවරු දානය වැළඳුවේ නැත්නම් දායකයන්ගේ හිතත් නරක් වෙනවා.

ඉතින් මෙහෙම වෙන්නේ ඕනෑවට වඩා ශ්‍රද්ධාව ඇතිකර ගත්ත නිසා. හොඳට ප්‍රණීතව දානය සූදානම් කළාම, ඒකෙන් හාමුදුරුවන්ගේ කුසත් පිරෙනවා. එයට වෙහෙස මහන්සිවෙලා කැපවුණු දායක පින්වතුන්ගේ හිතත් බොහෝම සතුටට පත්වෙලා බලගතු කුසල් සම්භාරයක් සිද්ධ වෙනවා. ඒ නිසා සාංඝික දානයකදී පිළිගන්වන ඕනෑම දේක, රසගුණ බැලීමේ කිසිදු වැරැද්දක් නැහැ.

ලුණු ඇඹුල් බලලා ඉඳුල් කරන්න එපා කියන්නේ දානය සූදානම් කරලා කන්න එපා කියලායි. කන එකයි ලුණු ඇඹුල් බලන එකයි දෙකක්. හාමුදුරුවන්ට පිළිගන්වන්න කලින් ඉඳුල් කරන්න එපා කියන්නේ අන්න ඒකටයි.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.