Sat. Aug 8th, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

නිවෙස් ඇතුලත සුවඳවත් කර ගැනීමට පහසු ක්‍රම 15ක්‌

1 min read

වරින් වර අතුගෑම, මොප් කිරීම, දූවිලි පිස දැමීම ආදිය මගින් නිවස තරමක් දුරට පිරිසුදු වුණත් එයින් නිවසෙහි ඇතිවන දුර්ගන්ධය අඩු වන්නේ නැහැ. තෙතමනය, පුස්, නරක් වූ ආහාර ද්‍රව්‍ය, වැසිකිලි වල මල ද්‍රව්‍ය, කිලිටි ඇඳුම් ආදිය මගින් කාමර, මෙට්ට, බිත්ති ආදී නිවසක් තුල ඇති ඕනෑම ස්ථානයකින් දුර්ගන්ධයක් වහනය වීමේ ඉඩක් පවතිනවා. ඉතින් ඔබත් මේ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කෙනෙක් නම් පහතින් අප කියා දෙන ක්‍රම මගින් පහසුවෙන්න එම ප්‍රශ්නය මගහරවා ගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වන්නේ එදිනෙදා ඕනෑම නිවසක හමුවන අමුද්‍රව්‍ය නිසා එය ඔබට වඩාත් පහසුවක් වේවි.

දොඩම් ලෙලි.

නිවසක මුළුතැන්ගෙය තුළ ඇතිවන දුර්ගන්ධයන් සඳහා ඔබට දොඩම් ලෙලි වල ඇති සුවඳ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දොඩම් ලෙලි වල ඇති සිට්‍රස් මගින් ආතති තත්ත්වයන් මගහරවන බලපෑමක් සහිත ප්‍රසන්න සුවඳක් නිකුත් කරන නිසා කෘතීම රසායනික ද්‍රව්‍ය යෙදූ නැවුම්කාරක (Air freshners) වලට වඩා හිතකර වෙනවා. රාත්‍රී කාලය පුරා වියලීමට ඉඩහැරි දොඩම් ලෙලි කිහිපයක් පසුදින මුළුතැන්ගෙය තුළදී දහනය කරන්න. එයින් වාතය නැවුම් කරන ප්‍රසන්න සුවඳක් විහිදුවනවා.

බේකින් සෝඩා.

විවිධ ආහාර ද්‍රව්‍ය, එළවළු, මස් මාළු මගින් ඔබගේ ශීතකරණයෙන් දුර්ගන්ධයක් නිකුත් වීමට පුළුවන්. ශීතකරණ තුළට දමන කෘතීම නැවුම්කාරක මගින් දුර්ගන්ධයන් ඉවත් කෙරෙන්නේ නැති අතර ඉන් සිදුකෙරෙන්නේ එහි සුවඳ මඟින් සුළු වේලාවකට දුර්ගන්ධය අපට නොදැනෙන සේ වැසීමක් පමණයි. නමුත් බේකින් සෝඩා ඒ අතින් බලන කල වඩාත් ප්‍රතිඵලදායක වන්නේ එමගින් දුර්ගන්ධයන් අවශෝෂණය කර ඒවා නිෂ්ක්‍රිය කරන නිසයි. ඔබ කළ යුතු වන්නේ විවෘත කළ බේකින්සෝඩා පැකට්ටුවක් ශීතකරණය තුලින් තැබීම පමණයි. වසරකට වරක් පරණ බේකින්සෝඩා පැකට්ටුව ඉවත් කර නව පැකට්ටුවක් ශීතකරණය තුළින් තබන්න.

දෙහි.

මයික්‍රොවේව් උඳුනකින් දුර්ගන්ධය ඉවත් කර ගැනීම සඳහා දෙහි හෝ ලෙමන් යොදාගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ එවන් උඳුනකට දැමිය හැකි භාජනයක්‌ ගෙන එයට වතුර කෝප්ප භාගයක් සහ දෙහි ගෙඩි භාගයක යුෂ එකතු කිරීම පමණයි. අවශ්‍ය නම් තවත් කැපූ දෙහි පෙති කිහිපයක්ද ඔබට එයටම එකතු කරගත හැකි අතර එය උඳුන තුලින් තබා මිනිත්තු පහකට එය ක්‍රියාත්මක කරන්න. මිනිත්තු පහ අවසානයේ භාජනය පිටතට ගැනීමට පෙර එය එසේම තවත් මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න. ඉන්පසුව භාජනය එළියට ගෙන උඳුන ඇතුලත පිසදා හරින්න.

සිට්‍රස් පලතුරු.

ඔබ බඳුන් හෝදන සින්ක් එක, බ්ලෙන්ඩරය හෝ වෙනත් ඇඹරුම් යන්ත්‍ර පිරිසුදු කර ගැනීම සඳහා ඔබට දෙහි, දොඩම්, ලෙමන් හෝ පීච් වැනි සිට්‍රස් / පැඟිරි ගනයේ පලතුරු යොදාගන්න පුලුවන්. සින්ක් එක සඳහා දෙහි යුෂ ටිකක් මිරිකා බුරුසුවකින් මැදීම හෝ දෙහි කැබැල්ලකින්ම ඇතිල්ලීම සිදුකළ හැකි අතර විවිධ කෑම වල දුර්ගන්ධයන් එකතු වුණු ඇඹරුම් යන්ත්‍ර පිරිසිදු කර ගැනීම සඳහා ඇට සහිත දෙහි බෑ කිහිපයක් යොදා ඇඹරුම් යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. ඇට සහිතව යොදා ගැනීමෙන් ඇතුළත සිර වුනු කෑම කැබලි තිබෙනවා නම් ඒවාද ඉවත් කර යන්ත්‍රය පිරිසිදු කරගත හැකියි.

විනාකිරි.

තෙතමනය නිසා හෝ සුරතල් සතුන්ගේ මල මුත්‍රා නිසා දුර්ගන්ධය හමන පාපිසි, කාපට් ආදිය සඳහා විනාකිරි ආශ්‍රයන් ඔබට ප්‍රතිඵලදායක විසඳුමක් නිර්මාණය කරගත හැකියි. ඒ සඳහා ස්ප්‍රේ බෝතලයකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිලි ලීටර් 150ක් (අවුන්ස 5ක්‌), විනාකිරි මේස හැදි 1ක් සහ බේකින් සෝඩා මේස හැදි 1ක් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය දුඟද හමන කාපට් මතට ස්ප්‍රේ කර වියලීමට හරින්න. වියළුණු පසු ඔබට දකින්නට ලැබේවි එම දියරය ඉසින ලද ස්ථාන වල සුදු පැහැති කුඩු වැනි ද්‍රව්‍යයක් මතුවී තිබෙනවා. ඉන්පසු වැකියුම් ක්ලීනරයක් ආධාරයෙන් ඒවා ඉවත් කරන්න.

මෙට්ට සදහා බේකින් සෝඩා.

කාලයක් ගත වීමේදී මෙට්ට වල ඇතිවන පුස් ගඳ ඉවත් කර ගැනීම සඳහා ඔබට බේකින් සෝඩා යොදාගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ බේකින් සෝඩා ප්‍රමාණවත් තරම් මෙට්ටය මතට ඉස මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර, ඉන්පසු ඒවා පිසදා හැරීම හෝ වැකියුම් කර ඉවත් කිරීම පමණයි. දුගඳ ඉවත් කිරීමට අමතරව සුවඳක්ද එකතු කිරීමට අවශ්‍ය නම් බේකින් සෝඩා ඉසීමට පෙර එයට ඔබ කැමති සුවඳක සගන්ධ තෙල් වර්ගයක් එකතු කරන්න.
මෙම ක්‍රමයම ඔබේ ලෙදර් නොවන සෝපා වලින් දුර්ගන්ධය ඉවත් කර ගැනීම සඳහාද යොදා ගන්න පුළුවන්. ඒවායින් අධික දුගඳක් නිකුත් වෙනවා නම් බේකින් සෝඩා ඉසීමෙන් පසු මිනිත්තු තිහක් වෙනුවට මුළු රාත්‍රිය පුරාම එසේ තිබෙන්නට හැර පසුව ඒවා වැකියුම් කරන්න.

දියර සබන්.

වැසිකිලි වලින් හමන දුර්ගන්ධයට හේතුව වන්නේ වැසිකිලිය පමණක්ම නොවේ. ඔබට එතරම් නොතේරුණාට වැසිකිළිය පිරිසිදු කරන බුරුසුවෙන් පවා දුඟඳක් හැමීමට ඉඩ තිබෙනවා. නමුත් වැසිකිලි බුරුසුව(toilet brush) නිතර පිරිසිදු කිරීමට ඔබට නොහැකි නිසා එයට ස්වයංව පිරිසුදු වීමට ඔබට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ වැසිකිළි බුරුසුව රඳවා තබන කෝප්පය වැනි බහාලුම තුළට දියර සබන් (Liquid soap) දැමීමයි. වැසිකිලිය/කොමෝඩය පිරිසිදු කිරීමෙන් පසු බුරුසුව ඒ තුළට දැමීමෙන් එය ස්වයං පිරිසිදු වෙනවා පමණක් නොවේ දුගඳ හැමීමත් වළකිනවා.

සුවඳ හමන ටිෂු.

අල්මාරි වල ඇඳුම් අතර පවතින පරණ පුස් ගඳ ඉවත් කර ගැනීම සඳහා ඔබ‍ට සුවඳ හමන ටිෂූ වර්ග යොදා ගැනීමට පුළුවන්. මෙහිදී තෙතමනය සහිත ටිෂූ යොදා නොගැනීමට වග බලා ගන්න. වියළි සුවඳ හමන කිහිපයක් ඔබගේ ඇඳුම් කීපයක් අතර හෝ ඇඳුම් වල සාක්කු තුළ දමා තිබෙන්නට හරින්න. එවිට අඳුම් සහ අල්මාරිය යන දෙකෙන්ම ප්‍රසන්න සුවඳක් හමාවී. එම ටිෂූ වල සුවඳ ඉවත් වූ පසු අලුතෙන් ටිෂූ යෙදීමටත් ඔබට හැකියි.

ස්වභාවික සුවඳවත් ද්‍රව්‍ය.

අප කලින් කියූ පරිදි අල්මාරි සඳහා සුවඳ ටිෂූ වෙනුවට වඩාත් ස්වභාවික දෙයක් යොදා ගැනීමට ඔබ කැමති නම්, සාමාන්‍ය ටිෂූ කඩදාසි මතට රෝස, සමන්පිච්ච, සේපාලිකා, සැවැන්දරා ද්‍රව්‍ය යොදා අල්මාරිය තුළින් තැබීමෙන් සුවඳ, නැවුම් බව සහ කෘමි සතුන්ගෙන් ආරක්ෂාවත් ඇඳුම් වලට සහ අල්මරියට ලබා ගන්නට පුළුවන්.

සගන්ධ තෙල්.

ඔබගේ වැසිකිලි සුවඳවත් කිරීමට ඇති තවත් ක්‍රමයක් වන්නේ ඔබ වැසිකිලි සඳහා යොදා ගන්නා ටොයිලට් පේපර් වල රෝල තුළට සගන්ධ තෙල් (Essential oil) බින්දු කිහිපයක් එකතු කිරීමයි.

අඟුරු.

නිවෙස් තුළම ඇති දැඩි වන බළලුන් වැනි සුරතල් සතුන් සඳහා මලපහ කිරීමට සකසා ඇති අපද්‍රව්‍ය පෙට්ටියක් (litter box) ඔබගේ නිවසේ තිබෙනවා නම් එයින් නිකුත්වන දුර්ගන්ධය මගහරවා ගැනීම සඳහා ඔබට අඟුරු යොදා ගන්න පුළුවන්. මේ සඳහා ලිපේ ඇති සාමාන්‍ය අඟුරු වෙනුවට වෙළඳපොලේ ඇති අඟුරු පෙති (Activated charcoal) යොදාගන්න. එවන් පෙති කිහිපයක් තුවාල වෙළීමට යොදාගන්නා ගෝස් වැනි තුනී රෙදි කැබැල්ලකින් ඔතා එම පෙට්ටිය අසල තැබීම මගින් අප්‍රසන්න දුර්ගන්ධයක් සියල්ලම අඟුරු විසින් අවශෝෂණය කෙරෙනවා.

විනාකිරි වාෂ්පය.

ඇතැම් මාළු වර්ග තෙලේ බැදීමෙන් පසු ඉතාමත් තද දුර්ගන්ධයක් මුළුතැන්ගෙයි ඉතිරිව පවතිනවා. ජනෙල් විවෘත කර බොහෝ වේලාවක් තැබූවත් එම දුර්ගන්ධය ඉවත් වී යන්නේ නැහැ. ඉතින් මේ ආකාරයේ දුර්ගන්ධයක් ඉවත් කර ගැනීම සඳහා මාළු බැදීමෙන් අනතුරුව එම ලිප මතම වතුර කෝප්ප එකක් සමඟ මිශ්‍ර කළ විනාකිරි කෝප්ප එකක් නටන තුරු රත් කිරීම ඔබට සිදු කළ හැකියි. එයින් නිකුත්වන විනාකිරි වාෂ්පය මගින් මාළු බැදීමෙන් පසු මුළුතැන්ගෙයෙහි ඉතිරි වූ දුර්ගන්ධයන් සියල්ල අක්‍රිය කරනවා.

බ්ලීචින්.

රෙදි සෝදන යන්ත්‍ර වල දොරෙහි ඇති රබර් සීල් එකෙහි නිරන්තරයෙන් පුස් සහ දිලීර වර්ග බැඳීම නිසා දුර්ගන්ධයක් හමනවා. මේ සඳහා ඔබ කලයුතු වන්නේ බ්ලීචිං කෝප්ප එකක් සමග උණු වතුර කෝප්ප හතරක් මිශ්‍ර කළ දියරයෙහි ස්පොන්ජ් එකක් හෝ තුවායක් පොඟවා එයින් එම රබර් ගෑස්කට් එක පිස දැමීමයි. ඉන්පසු ඔබ උණුවතුර සහිතව සේදීමේ වටයක් ක්‍රියාත්මක කරන්න. එම සේදීම සඳහා ඔබට තිබෙනවා නම් පමණක් පුස් වලට එරෙහිව ක්‍රියාත්මක කරන රසායනික ද්‍රව්‍යක්‌ යොදා ගන්න. එසේ නැත්නම් උණු වතුර පමණක් ප්‍රමාණවත් වෙනවා. එම සේදීමෙන් පසුව යන්ත්‍රයේ දොර විවෘත කර වියලෙන තුරු තිබෙන්නට හරින්න. සුවැඳති ඉටිපන්දම්. ඔබගේ නිවස සුවඳවත් කිරීම සඳහා ඔබ‍ට සුවඳ සහිත ඉටිපන්දම් (Scented candles) යොදාගන්නට පුළුවන්. නමුත් එවන් ඉටිපන්දම් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා වෙනුවට ඔබටම නිර්මාණය කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඉටිපන්දම සඳහා කුප්පියක්, ඉටිපන්දම් සඳහා යොදා ගන්නා දැවෙන නූලක්, ඉටි පතුරු(Wax flakes) සහ සගන්ධ තෙල් පමණයි. ඉහත ද්‍රව්‍ය ඔබට වෙළෙඳ පොළෙන් අඩු මිලට මිලදී ගැනීමට තිබෙනවා. මුලින්ම රෙදි වැල් සඳහා යොදා ගන්නා කටුවක් ආධාරයෙන් නූල කුප්පිය තුලට වැටෙන සේ සිරස්ව රඳවන්න. ඉන්පසු මයික්‍රොවේව් උදුනේ දමා ඉටි පතුරු දියකර එයට ඔබ කැමති සුවඳක සගන්ධ තෙල් බින්දු කිහිපයක් එකතු කර එම දිය වූ ඉටි නූල සහිත කුප්පියට වත්කරන්න. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ඝන වීමට පෙර වියළුණු මල් කීපයක්ද යොදා ගන්න පුළුවන්. ඉටි ඝන වූ පසු ඔබ විසින්ම නිර්මාණය කරගත් සුවඳැති ඉටිපන්දමක් ඔබ සතුව තිබෙනවා.

පැළ වර්ග.

නිවෙස් තුල ඇති වාතය පිරිසිදු කරන අතරම අලංකාරයක් ද එක් කළ හැකි විසඳුමක් තමයි ගෘහස්ථව වගා කළ හැකි විසිතුරු පැල වර්ග. මේ සඳහා ඔබට ස්නේක් ප්ලාන්ට් (Snake plant), ඩ්‍රසීනා (Dracaena), ලේඩි පාම්ස් (Lady palms), චයිනීස් එවර්ග්‍රීන් (Chinese evergreen) සහ වීපින් ෆිග් (Weeping fig) වැනි විසිතුරු පැළ වර්ග යොදා ගන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.