Hela Rahas

Hela Rahas Official Web Portal

නිහඬ රෑ රුවන්වැලි මහා සෑයෙන් ඇසෙන ශබ්ද පූජාව

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි.මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

නිහඬ රෑට රුවන්වැලි මහා සෑයෙන් ඇසෙන විශ්මිත ශබ්ද පූජාව-ප්‍රාතිහාර්ය යන්න බෞද්ධ ජනයාට නුපුරුදු නැත. ඈත ඉතිහාසය ගත්තත්, මෑත යුගය ගත්තත් නොයෙක් දෙනා දුටු ප‍්‍රාතිහාර්යයන්, විශ්මිත දේ, අද්භූත සිදුවීම් ගැන අසන්නට ලැබේ. ඇතැම් අය මෙවැනි දේ දැක මහත් සතුටට පත්වෙති. සමහරු බයට පත් වෙති. තවත් අය පුදුම ඵළවති. කෙසේ හෝ වේවා ඉඳහිට ඇසට හසුවන මෙවැනි දේ ලෝකයේ නැතැයි කිව නොහැක.බුදුරජාණන් වහන්සේ අවස්ථා කිීපයක් යමාමහ පෙළහර පෑහ. ඒ දුටු පෘථග්ජනයෝ විශ්මය එළැවූහ.ශරීරයෙන් මහත් වූ ගිනි ජාලා පිටකරමින්, මහා දිය කඳන් පිටකරමින් ප‍්‍රාතිහාර්ය දක්වන මේ මනුෂ්‍යයා කවුද?ඇතැම්හු සිතූහ. බුදුරජාණන් වහන්සේ මහියංගනයේදී පෙළහර පෑ අවස්ථාවේදී යක්ෂයන් ඒ දැක හිස් ලූ ලූ අත දිවූ බව කියැවේ. මේ තුළින් අපට දැනෙන විශේෂම දෙය නම් ඒ වනවිට කිසිවෙක් මෙවැනි අපූරුවූත් බිය ඉපදෙන ප‍්‍රාතිහාර්යයක් දැක නොතිබීමය.යක්ෂ ගෝත‍්‍රිකයන් පෙළහර දැකීමෙන්ම දමනය වූ බව මහියංගනය පූරාණය බැලීමේදී අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ එවැනි මහත් වූ ප‍්‍රාතිහාර්යන් පෑමේ හැකියාව තිබුණත් උන්වහන්සේ ඒ ප‍්‍රාතිහාර්යය පෑම කළේ අවස්ථා කිීපයකදී පමණක් බව බෞද්ධ ඉතිහාසය හදාරද්දී පෙනේ. එවැනි ප‍්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය බුදුරජාණන් වහන්සේට ලැබුණේ උන්වහන්සේ විසින් දියුණු කර ගත් ඤාණ සමුදායේ ප‍්‍රතිඵලයක් වශයෙනි.ධ්‍යාන ආදී විවිධ ඥාන අංග දියුණු කර ගත් ඇතැම් රහතන් වහන්සේලා ද තමන්ට හැකි පමණින් ප‍්‍රාතිහාර්ය ශක්තීන් දියුණු කර ගත්හ. නමුත් ප‍්‍රාතිහාර්යය පෑම අත්‍යාවශ්‍යම මොහොතක හැර නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක සංඝයාට අනුදැන වදාළහ. එයට හේතුව මේ ප‍්‍රාතිහාර්යන් දකින පෘථග්ජනයා එය මිම්මක් කොට ගෙන විවිධ වූ ස්ථාවරයන්හි පැළපදියම් වන නිසාවෙනි. ඇතැම් පෘථග්ජනයන්ට ධර්මාවබෝධය නොලබා ප‍්‍රාතිහාර්යය පමණක් ලැබීමේ වුවමනාව ඇතිවේ.සමහරුන්ට එයින්ම වෙනත් ලාභ ප‍්‍රයෝජන ලබාගත හැක. දේවදත්ත ස්ථවිරයන් රහත් නොවී පංච අභිඥා ලැබූ නිසා උන්වහන්සේ පෘථග්ජනයන්ගේ ලාභ ප‍්‍රසාද ලැබූ ආකාරය ධර්මයේ විස්තර වේ.මෙවැනි වූ හේතුන් නිසා ප‍්‍රාතිහාර්යය පෑම බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධාවවාදයක් ලෙස ර්‍ණඅත්‍යවශ්‍ය මොහොතක” හැර ප‍්‍රාතිහාර්ය නොපාන ලෙස දේශනා කොට වදාරා ඇත. ඒ අනුව බුදුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් පිරිණිවන් පා වදාළත් උන්වහන්සේගේ ධාතූන් ඒකරාශී වූ තැනෙක යම් යම් ප‍්‍රාතිහාර්යයන් ඉඳහිට නමුත් සිදු නොවෙතැයි කිව නොහැක.

මේ සම්බුදු සසුන පන්දහසක් කල් පවතින බව බුද්ධ දේශනාවයි. ඒ පන්දහසින් තවමත් ගෙවී ඇත්තේ හරි අඩෙකි. මේ අවුරුදු පන්දහස මුළුල්ලේම බුද්ධ දේශනාව, බුද්ධ අණ ලොව පවතී. එයින් ද ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටන බවත් සිංහල දේශය රැුකගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී සක‍්‍ර දෙවියන්ට අනුදැන වදාළහ. සක‍්‍ර දෙවියෝ ලංකාදීපය රැුක ගැනීමේ වගකීම තම දේව සභාවේ සිටි විෂ්ණු දේවරාජයන්ට පැවරූ බව කියැවේ. බුදුන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ වසද්දීත්, වෙනත් වෙහෙර විහාරවල වැඩ වසද්දීත් උන්වහන්සේ වැඩ වසනා තැනට මහත් වූ ආලෝක ධාරා විහිදුවාගෙන මැදියම් රැුයේ දෙවියන් වැඩම කළ බව විස්තර වේ. විශේෂයෙන් දෙවියන් පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාල ආකාරයත්, දෙවියන් පැහැදීමට පත්වූ ආකාරයත්, දෙවියන්ට කළ සූත‍්‍ර දේශනාවක් ධර්මයෙහි විස්තර වේ. ඒ අනුව දේව සභාව නිරතුරුව බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට වැඩම කළ ආකාරය ගැන බෞද්ධ සාහිත්‍යයේ සෑම තැන්හිම විස්තර වේ.බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ධාතුන් වහල්සේලා බුද්ධාවවාදය අනුව බෙදී ගියේය.එසේ බෙදී ගිය ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් වැඩිම කොටසක් දැන් වැඩ සිටින්නේ ලංකාද්වීපයේය. ඒ වැඩ සිටින ධාතූන් වහන්සේලාට නියම පුද සත්කාර කෙරෙන පූජනීයම දේශය ලංකාව බව පැහැදිලිව කිව හැකිය.එයට එක උදාහරණයක් මෙහි තබමු. පසුගියදා මගේ මිතුරෙක් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ කපිලවස්තු ධාතූන් බැලීමට ඉන්දියාවේ කෞතුකාගාරයක් වෙත ගොස් ඇත. එහි කොටසක කපිලවස්තු ධාතු තියෙන ආකාරය දැක මිතුරා පුදුම වී ඇත. එම කපිලවස්තු ධාතුව ලංකාවට වැඩම කළ අවස්ථාවේ දැක බලා ගැනීමට නොහැකි විශාල පෝලිමක් තිබුණු හැටි අපට මතකය.මේ නිසා ලෝකයේ සැබෑම ධර්මද්වීපය ලංකාව බවට ඊට වඩා සාධක උවමනා නැත.එබැවින් පන්දහසක් කල් ශ‍්‍රී සර්වඥධාතු රකින ලංකාද්වීපයේ ඒ ධාතුන් පිහිටි තැන්වල විශ්මිත දේ සිදුවීම අරුමයක් නැත. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ දී ලංකාද්වීපය රකින්නට දේව සභාවට භාරදීම තුළම දෙවියන් ශ‍්‍රී සර්වඥ ධාතුන් වැඩ සිටින තැනට වැඩම වීමද අරුමයක් නැත. ජීවමාන බුදු හිමියන් නැති කල දැන් අපට ජීවමාන බුද්ධ රත්නය වන්නේ ශ‍්‍රී සර්වඥ ධතුන් වහන්සේලාය. ඒ සර්වඥ ධාතුන් වසන තැන විවිධ වූ ප‍්‍රාතිහාර්යයන් පැවතීම, දෙවියන් මහත් වූ ආලෝක දහරා විහිදුවා ගෙන වැඩම වීම, ආදී දහස් ගණනක් ඇසට හසුවන හසු නොවන පුදුම සහගත දේ සිද්ධ විය හැක.බෞද්ධ ඉතිහාසය සමග ක‍්‍රමිකව ආපස්සට එද්දී එය අප විසින් ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක් වන්නේය.ශ‍්‍රී සර්වඥ ධාතු අහසට පැන නැග බුදුරුව මැවුණු අවස්ථා කීපයක් ඉතිහාස කතාවන්හි විස්තර වේ.

එයින් එක අවස්ථාවක් වන්නේ අනුරාධපුර ථූපාරාමයේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට සුමන සාමනේරයන් විසින් ගෙනැවිත් දේවානම්පියතිස්ස රජුට බාර දුන් අවස්ථාවේ දකුණු අකු ධාතුව අහසට පැන නැග බුද්ධ රූපය මැවී ප‍්‍රාතිහාර්යය පෑමයි. එයින්ම රජු සිත සැක දුරුවී ධාර්මික ප‍්‍රීතියෙන් පිනා ගිය බවත්, සියල්ලෝ බුදුන් සරණ ගිය බවත් විස්තර වේ. මේ දකුණු අකු ධාතුව එදා මහත් පූජෝපහාර මධ්‍යයේ ථූපාරාම චෛත්‍යයේ තැන්පත් කෙරිණ.දැනට මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප‍්‍රමාණයක් ඒකරාශී වී ඇති එකම තැන ස්වර්ණමාලී චෛත්‍යයි. රුවන්වැලි මහා සෑයයි. ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑ ගර්භයේ නිදන් කොට ඇති බව විස්තර වේ. එබැවින් බුද්ධ ශරීරයේ විශාල කොටසක් රැුඳී ඇති ඓතිහාසික පින්බිම රුවන්වැලි මහ සෑයයි. එතැන ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනවා වන් හැ`ගීමක් අදත් ලෝකවාසී සියළු බෞද්ධයන්ට පවතී.තථාගතයන් වහන්සේ ජීවමානව දඹදිව වැඩ සිටිද්දී උන්වහන්සේ වැඩිම කාලයක් දිවා රාත‍්‍රී විහරණය කෙළේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේය. නමුත් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ ලොවුතුරා බුදුන් වහන්සේ ජීවමාන වන්ව වැඩවසන අසහාය පින්බිම ලක්දිව ස්වර්ණමාලී මහා චෛත්‍යයයි. ඒ බව මතු ලොව දකින නුවණින් හැඳින බුදුහිමියෝ දේව සභාවට දැනුම් දුන්හ. එපමණක් නොව ගෞතම සම්බුදු ශාසනය පන්දහසක් ගෙවීමෙන් නිමාවන්නේ යම් දිනෙකද එදාට ස්වර්ණමාලී බිමට සියළු සර්වඥධාතු ඒකරාශීවී අහසේ බුදු රූපයක් මැවී ප‍්‍රාතිහාර්ය සිදුවන බව බුද්ධ අධිෂ්ඨානයක් හැටියට බෞද්ධ පොතපතේ විස්තර වේ. එවැනි අසිරිමත් පුණ්‍ය භූමියක් ලෙස බෞද්ධ පොතපත පුරාම මේ රුවන්වැලි මහ සෑ පින් බිම විස්තර වේ.එවැනි ඓතිහාසික පුණ්‍ය භූමියක ලෝකවාසී බෞද්ධයෝ වන්දනාමාන කරන තැනක, එදා දෙවුරම් වෙහෙර වන්ව අද බුදු හිමියන් වැඩ වසන රුවන්වැලි මහ සෑයේ කොතරම් විශ්මිත දේ ප‍්‍රාතිහාර්ය ශක්තීන් සිදුවේද? ඇසට පෙනෙන ඇසට නොපෙනෙන දේ බොහොමයකි.අපට හැෙ`ගන හැටියට, ද්‍රෝණයක් සර්වඥ ධාතු ඇති මේ පින්බිමේ යම් යම් බුද්ධ ප‍්‍රාතිහාර්යන් තියෙන්නට පුළුවන. රහත් ධාතු මේ ස්ථානයට වඩින්නට පුළුවන. එදා දෙවුරම් වෙහෙරට බුදුහිමියන් දකින්නට දඹදිව සතර දිග්භාගයෙන් භික්ෂු භික්ෂු” උපාසක උපාසිකාවෝ පැමිණියහ. රහත් භික්ෂු භික්ෂුණියන් වැඩම කළහ. උන්වහන්සේලා පිරිනිවන් පා ඇතත් ඒ ධාතුන් වහන්සේලා අද ස්වර්ණමාලී පුණ්‍ය භූමියට නොවටිනවා යැයි අපට කිව නොහැක.ථූපාරාමයේ දකුණු අකු ධාතු නිදන් කළ ද අකු ධාතුව අහසට පැන නැගී බුදු රුව මැවුනාක් මෙන්, ස්වර්ණමාලී භූමියට එදා සැරියුත් මුගලන් මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, රට්ඨපාල, අංගුලිමාල. සීවලී, චුල්ලපන්ථක ආදී මහරහත් ධාතුන් අහසින් වැඩම කිරීම එම මහරහත් රූප මැවී ජීවමාන බුදුහිමියන් මෙන් වැඩ සිටින ස්ථානය වන්දනා කිරීම වැනි කාරණා සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.ඊළ`ගට මනුෂ්‍ය ලෝකයට අවුරුදු දහස් ගණනක් යනු දිව්‍ය ලෝකයට ඇතැම්විට දවසකි. පැය කීපයකි. දිව්‍ය ලෝකයේ දවසක කාලය ඒ සා දීර්ඝය. ඒ අනුව එදා බුදුරාජණන් වහන්සේගෙන්ම බණ ඇසූ දෙවියන්ට අද දක්වාවූ කාලය එක දවසක් මෙනි. ඉතාම සුළු කලෙකි. ලක්දිව ආරක්ෂා කරන්නැයි සක‍්‍ර දෙවියන්ගෙන් බුදුහිමියන් කළ ඉල්ලීම ඔහුට ඉතාම සුළු කලෙකි. මේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියෝ උන්වහන්සේ වැඩ සිටින තැනට එදා මෙන් එළි විහිදුවාගෙන ඒමද ඉතාම සාමාන්‍ය කාරණයකි.මෙවැනි වූ ආශ්චර්යමත් බොහෝ දේ අනුරාධපුරයේ රුවන්වැලි, ථූපාරාමය, ජයශ‍්‍රීමහා බෝධිය අවට නිතර සිදුවිය හැකිය. එබැවින් පූජනීය අනුරාධපුර ආශ්චර්යමත් සිදුවීම් ගැන ලියන්නට අපි කල්පනා කළෙමු. ඒ බොහෝ තැන්වල ඉතිහාසය සමග වර්තමානය ගලපා තොරතුරු ලබා දෙන්නට අපි උත්සාහ කරමු.

අනුරාධපුරේ ජීවත් වන විශ‍්‍රාමික මහවැලි සංවර්ධන නිලධාරී මාමිණියාවේ ඉලංගසිංහ (71) මහතා අපට මේ සම්බන්ධව බොහෝ කතා කීවේය. ඔහු සම්බන්ධ කර ගැනීමට ඍජුව අපට උපකාර කළේ රුවන්වැලි මහා සෑය චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියෝය.මම පුංචි ඉතිහාස කතාවකින් පටන් ගන්නම්. අග්බෝ රජතුමා රුවන්වැලි මහා සෑයට විශාල පුද පූජාවක්. පින්කමක් කරල තියෙනවා. එතුමා පුද පෙරහරින් චෛත්‍ය වටා ගිහින් තියෙන්නෙ ශබ්ද පූජා නැතිවයි. එහෙම පෙරහරේ යන අයට හේවිසි හොරණෑ සහිතව විශාල ශබ්ද පූජාවක් චෛත්‍ය මළුවෙන් ඇහෙන්න පටන් අරන්. පෙරහැරට යන අතරෙ රජතුමා ඇවිත් මළුවේ ඇවිද ගිහින් තියෙනවා. රජතුමා ශබ්ද පූජාව ඇහෙන දෙසටම ගියා. එහාට යන්න යන්න හේවිසි, හොරණෑ ශබ්දය වැඩියි. මේ ශබ්දය ඇහෙන්නෙ රුවන්වැලි සෑය ඇතුළෙන්. රජතුමා එක තැනකට යද්දී චෛත්‍යයේ ඇතුළට යාහැකි පරිදි දොරටුවක් විවෘත වෙලා තිබිලා තියෙනවා. රජතුමා රාජකීයයන් කිහිප දෙනෙකු සමග චෛත්‍යය ඇතුළට ගිහින්. එහිදී දැකපු දෙයින් රජතුමා විශ්මයට පත්වෙලා.චෛත්‍යය ඇතුළ දිව්‍ය විමානයක් වගේ ලස්සනයි. ඒ වගේම හරි සුවඳයි. සුවඳ කුටියක් වගේ. රන්වන් පාට ආලෝක ධාරා එළියෙන් බැබළෙනවා. මොකක්ද මේ. ද්‍රෝණයක් පමණ වූ ශ‍්‍රී සර්වඥ ධාතුන්ට පූජාවක්. රජතුමා මේ ධාතුන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ වගේම රජතුමා හේවිසි හොරණෑ කණ්ඩායම වගේම රහත් හාමුදුරුවරු සාදුකාර දෙන වන්දනාමාන කරන මිනිස්සු දර්ශනය වෙලා තියෙනවා. ඇත්තටම මේ දේ අග්බෝ රජතුමාටත් පෙර ඉතිහාසයේ සිදු වෙන්න ඇති. ඒ දේ එතුමාට තමන් කරන ලද මහා පින්කම ආශිර්වාදයක් කොට ගෙන දර්ශනය වුණා. මේ කතාව ඉතිහාස පොත්වල තියෙනවා.ඒ වගේම අපේ අත්තප්පා මට පුංචි කාලෙදී මීට සමාන තව කතාවක් කිව්වා.රුවන්වැලි සෑය එක යුගයක හරියට කැලෑ වැවිලා ගරාවැටිලා තිබුණනෙ. පසුගිය කාලෙ චෛත්‍ය වර්තමාන තත්ත්වයට ප‍්‍රතිසංස්කරණයට මූලික වුණේ නාරංවිට හාමුදුරුවෝ. පොතපතේ තියෙන හැටියට ඉතාම ධෛර්ය සම්පන්න වනවාස භික්ෂුවක්. අත්තප්පා කිව්ව හැටියට මේ නාරංවිට හාමුදුරුවෝ වේල් දෙක තුන ආහාර නොවළඳා ඉතාම දුෂ්කර විදිහටයි රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණයට දායක වෙලා තියෙන්නේ. ඒ කාලේ චෛත්‍ය ගොඩනගන්න, අවට පිරිසිදු කරන්න කැති, උදළුමිටි ගෙනත් තියෙන්නෙ නුවර කලාවියෙ ගම්වලින්. ගඩොලූත් එහෙමයි. මිනිස්සු බොහෝම උදවු කළාය කියනවනෙ.මේ දේවල් අවුරුදු දහස් ගාණක් එක දිගට රුවන්වැලි සෑයෙ සිද්ධ වුණු දේවල්. මේ අලූත් ප‍්‍රතිසංස්කරණයෙන් පස්සෙ චෛත්‍යය ඇතුළට යන්න බැරි වුණාට එදා රුවන්වැලි සෑය තුළට මිනිස්සු ගියා කියනවනෙ. ඇතුළෙදි ද්‍රෝණයක් ධාතු දැක්කා කියනවනෙ. මේ ස්ථානවල කා වැදුණු දේවල් තවමත් දෝංකාර දෙනවා. දැන් ඔය වහල දාපු පාළු ගෙදරකට යන්න. ඒ ගෙදර මිනිස්සු කලින් හිටපු තැනක් නම් ඒ ගේ ඇතුළෙ කතාකරනවා ජනෙල් වහනවා, අතුගානවා මේ වගේ ශබ්ද ඇහෙනවා. ඒවා අපි සලකන්නේ දෝංකාර විදිහට. ඉස්කෝලවලත් ?ට නොයෙක් ශබ්ද තියෙනවනෙ.මේ විදිහට අවුරුදු දහස් ගාණක් චෛත්‍ය ඇතුළෙ ශබ්ද පූජා පවත්වපු, තේවා හ`ඩ අදටත් ඇහෙනවා.

රාත‍්‍රි කාලයේ මහ සෑ මළුවෙන් කිසිම ශබ්දයක් නැතිව වාඩිවෙලා ඉන්න කොට මේ ශබ්ද පූජාව සමහරුන්ට ඇහෙනවා. ඇහුණු අය ඉන්නවා. මිනිස්සු පුදුම වෙලා සාදුකාර දෙනවා.මහ පූජා පවත්වන්න දුර ඈත පළාත්වලින් මිනිස්සු එනවනෙ. ඒ අය නොයෙක් නොයෙක් පූජා සිද්ධ කරනවා. ඒ වෙලාවට මහ සෑයට මහ පූජාවක් බව දැනෙන කොට මේ ශබ්ද පූජා ඉබේම ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතාම පිරිසිදුව පවිත‍්‍රව සිදුවිය යුතුයි. කිසිම කෙනෙක් කිළිටිව ඉන්න බෑ. කිළිටි තැන්වලට දෙවි දේවතාවන් වඩින්නේ නෑ. රුවන්වැලි සෑයට පූජා පවත්වද්දී ශබ්ද පූජා හඬ ගර්බයෙන් ඇහෙන එකක්. මේවා තමයි විශ්මිත දේවල්. මේවා වෙන්නෙ කොහොමද? විය හැකිද කියලා සමහරු ප‍්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඒ ප‍්‍රශ්නවලින් ඔබ්බට ගිය අසිරිමත් අනුසස්.අනුරාධපුරයේ දී අපට හමුවූ ගුණපාල මහතා (කේ. අල්විස් මහතා) 1940 දශකයේ සිට පූජා භූමිය අවට ජීවත් වන්නෙකි. ඔහු සිය අත්දැකීම් විස්තර කරන අතරේ නාරංවිට හාමුදුරුවන් ගැන යමක් කීවේය.නාරංවිට හාමුදුරුවෝ රුවන්වැලි සෑය මුලින්ම දැක්කෙ ගරා වැටුණු පස් ගොඩක් විදිහට. නමුත් මේ මහා සෑය බව උන්වහන්සේ හඳුනාගෙන චෛත්‍ය නැවත ගොඩ නගන්න ප්ලෑන් එක හෙව්වා. ගෙයක් හැදුවත් මහත්තයෝ සැලැස්මක් තියෙනවනේ. එහෙම මළුව පුරාම උන්වහන්සේ රුවන්වැලි සෑයේ සැලසුම හොයා ගන්න මහන්සි වෙනකොට මළුවෙ ගලක කොටල චෛත්‍යයේ සැලැස්ම ලැබිලා තියෙනවා. මේ කතා අපි පුංචි සන්දියෙ අහපු ඒවා. ඒ සැලසුමට අනුව තමයි මහ සෑය ආපසු ගොඩ නැගුණේ. එහෙම නැතිව ආවාට ගියාට නොවෙයි. පස්සෙ මේ නාරංවිට හාමුදුරුවො රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිපති ධුරයටත් පත්වුණා කියල කියනවා. හැබැයි උන්වහන්සේ වනවාස භික්ෂුවක් ලෙසයි පිළිගැනෙන්නෙ.එදා අනුරාධපුරේ විසූ පැරණියන් කියන මේ කතා අද ඇතැම්විට ඉතිහාසය තුළින් මැකී ගිය ඒවාය. නමුත් ඒ මැකී ගිය තොරතුරු සමග විශ්මිත අසිරිමත් තොරතුරු රැසක් ඉදිරි ලිපිවලින් අනුරපුරේ පැරණියන් අතරින් එළියට එනු ඇත.