Hela Rahas

Hela Rahas Official Web Portal

පත්තිනි අම්මා සිහිකරමින් කිරි අම්මා දානය දෙන හැටි

පත්තිනි දෙවියන්ටම ආවෙිනිකවු දානයක් තමයි කිරි අම්මා දානය.කිරි අම්මා දානය දීමෙිදි ඒ සදහා අනුගමනය කරන ක්‍රම විවිධ පළාත්වල සුළු සුළු වෙනස්කම් දකින්න ලැබෙනවා.ඒකේ ලොකු වෙනසක් නැහැ.

නවගමුවේ පත්තිනි දේවාලෙත් කිරි අම්මාවරුන් දහස් ගණන්වලට කිරි අම්මා දානය දෙන අවස්ථා තිබෙනවා.ඒ බාරහාර වෙච්ච අය ඉෂ්‍ඨ කරන ආකාරයටයි.

කොහොම වුණත් අද මේ කියන්නේ නිවැරදිව කිරි අම්මා දානයක් දෙන්නේ කොහොමද කියලයි. කිරි අම්මාවරුන්ගේ දානය ශ්‍රීලංකාව තුල ආවේණික මුළුමනින් ම මිහිරි කවි ගායනයෙන් පූජාවක් . මෙම කවි මුඛ පරම්පරාවෙන් පැමිණෙනවා.

විශේෂයෙන් පුංචි දරුවන්ට,ගර්භණී මාතාවන්ට,දරුවන් බලාපොරොත්තු වෙන කාන්තාවන්ට පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව ලැබෙන බවට තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ වගේම පත්තිනි දේවිය වෙනුවෙන් පුදනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය බොහෝ හාස්‌කම් හා අනුහස් වලින් යුක්තයි.

කිරි අම්මාවරුන්ගේ දානයක් බාර හාර වෙන විශේෂ අවස්ථා ලෙඩ රෝග වලදීදරු උපත් වලදීදරුවන්ට ආරක්ෂාව පතාදරු ඵල පතාගොවිතැන් කටයුතු වලදීපවුලේ දියුණුව සදහා වාර්ෂිකව කිරි අම්මා දානය දෙන අවස්ථා තියෙනවා.

කිරි අම්මා වරු තෝරා ගැනීම ඉතාම පරිස්සමෙන් කල යුතු කාර්යයක්, පත්තිනි මැණියන් නියෝජනය සිදුවෙන කාන්තාවන් ඉතාම ප්‍රතිපත්ති ගරුක, ආගමානුකූල අය වීම අත්‍යවශ්‍යයි.ඒ වගේම දේව කාර්යයන්හී දී කිලි වලින් තොර වීම අනිවාර්යය වෙනවා.

වැදුම් කිල්ල, මරණ කිල්ල හා කොටහළු කිල්ල ඉන් ප්‍රධාන වන අතර කාන්තාවන්ගේ මාසිකව හටගන්නා කිල්ලද මෙහිදී සැලකෙනවා. කිරි අම්මාවරුන්ට එම දානයට පෙරදිනයේ ආරාධනා කරනු ලබන්නේද මේ සියලුම කිලි වලින් තොර බවට වගබලා ගැනීම සදහායි.

පත්තිනි මැණියන් නියෝජනය වන අම්මාවරුන් සත් දෙනා වන්නේ සිද්ධ පත්තිනි,සලඹ පත්තිනි,අඹ පත්තිනි,මල් පත්තිනි,ගිනි පත්තිනි,දේව පත්තිනි,හා සත් පත්තිනිය.
හැබැයි කිරි අම්මා වරු නියෝජනය කරමින් ඕනෑම කාන්තාවන්ට ඒ සදහා සහභාගී වෙන්න බැහැ.ඒ සදහා සාමාන්‍යයෙන් ආරාධනා කරන්නේ පති භක්තියෙන් යුත් කිරිදෙන තරුණ ආගමානුකූලව ජිවත්වෙන කාන්තාවන්ටයි.

ඉතා මහළු කාන්තාවන්, සුව කළ නොහැකි රෝගවලින් පෙලෙන කාන්තාවන්, අන්ධ හෝ බිහිරි කාන්තාවන්, අංග විකල හෝ අපස්‌මාර රෝගී කාන්තාවන්, කලින් දරුවන් ලැබී ඔවුන් මිය ගිය කාන්තාවන්, වැන්දඹු කාන්තාවන්, වඳ කාන්තාවන්, මස්‌ මාළු විකුණ හෝ මත්පැන් පානය කරන කාන්තාවන්ගණිකාවන්,දුරාචාරයේ යෙදෙන්නියන්ට සාමාන්‍යයෙන් කිරි අම්මා දානයට ආරාධනා කරන්නේ නැහැ.

ඒ වගේම ගර්භණී මව්වරුන්, දරුවන් බිහි නොකල හා අවිවාහක කාන්තාවන් මේ සදහාත් දානයට කිරි අම්මෙක් ලෙස ආරාධනා කරන්නේ නැහැ.

පළමුව කිරි අම්මාවරුන්ගේ දානය සදහා සුභ සහ කිළි රහිත දිනයක් තෝරා ගන්නවා. අතීතයේදී විශේෂයෙන් සෙනසුරාදා හෝ බදදා දිනයක් මේ සඳහා තෝරා ගත්තද දැන් නම් සතියේ පහසු දිනවලත් කිරි අම්මා දානය දෙනවා.

ගෙවල් සෝදා පිරිසිදු කර, මස් මාළු පිලී ආහාර වලින් වැළකී පේ විය යුතුයි.( මෙය ඇතැම් අය දින 21, 7,3 ලෙස සිදු කරයි). මුළුතැන්ගේ හොදින් පිරිසිදු කර කැවිලි පෙවිලි සැකසීමට සූදානම් කරගත් යුතුයි.

කිරි අම්මාවරුන්ගේ දානයට තෝරා ගත් දිනයට පෙර දින හවස ගෙහිමි කාන්තාව විසින් ඒ සදහා තෝරා ගත් කාන්තාවන්ගේ නිවාස වලට ගොස් බුලත් කොළයක් පිරි නමා ආරාධනා කරනවා.

කැකුළු හාල් කිලෝ 7 ක කිරිබතක් ( කිරිබත් කැට 56)කිලෝ 2 ක කිරියා (කැබලි 56)කැකුළු හාල් කිලෝ 2 ක හැදි කැවුම්(කැබලි 56)කෙසෙල් ගෙඩි 56

මීට අමතරව පහත දේවල්ද සුදානම් කරගත යුතුය.

කිතුල් හකුරු කෑලි 8,පඬූරු 8 (කාසි)බුලත් විට 8,කෙසෙල් කොළ 7ලොකු බෑග් 7,මැටිපහන් 08,කෝපි කෝප්ප 08,කපුරු පෙත්තක්‌,පහන්තිර 15 යි

බොහෝ දුරට මෙම අම්මාවරුන් හට පිරිකරක්ද පුජා කරනවා.වර්තමානයේ නම් මුදල් හා තවත් දේ පිරිකර වශයෙන් දෙනවා. .

කිරි අම්මා වරුන්ගේ දානය උදේ පහට කලින් අරඹනවා.. කිරි අම්මාවරු ගේ තුළට වඩින විට මූහූණ සෝදා ගැනීම සඳහා ගෙයි දොරකඩ දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර කෝප්පයක් තබනවා..

පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ

දානෙට සත්දෙන එන බව දන්නේ

පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ

කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

කඩුල්ල ලග සිට ප්‍රධාන කිරිඅම්මා සමඟ කිරි අම්මා වරු ගායනා කරනවා. ඉන් අනතුරුව කිරි අම්මාවරු හත් දෙනා නිවෙස ඉදිරිපිට තබා ඇති දිය පිරි බඳුන තුළට දෙහි කැබැලෙන් පිරිසිදු වී නිවසට ඇතුල් වෙනවා.

එම අවස්ථාවේදී කට සෝදා ගැනීමට වතුර වීදුරුව බැඟින්ද ලැබෙනවා. ප්‍රධාන කිරි අම්මා නිවසට ඇතුල් වෙන්නේ පත්තිනි සළඹ හා පත්තිනි මැණියන්ගේ පිංතූරයක්/ පිළිමයක් රැගෙනයි.

එම පත්තිනි සළඹ හා පිංතුරය පත්තිනි මැණියන් වෙනුවෙන් වෙන්කල ස්ථානයේ තැන්පත් කරනු ලබනවා. ඉන්පසු ගෘහ මුලිකයා බුද්ධ පුජාව,ගිලන්පස බුදුරාජාණන් වහන්සේට පූජා කරනවා.

ඉන්පසු පත්තිනි මැණියෝ පූජා වට්ටිය පූජා කරනවා.කිරි අම්මාවරු හඬ නගා පන්සිල් ගැනීම කරනවා. ඉන්පසු පත්තිනි මැණියන්ට ආරධනා කරනු ලබනවා.වැඩිමල් පිළිවෙලකට එළා ඇති පිරුවට මත කිරි අම්මාවරු ඉදගන්නවා.

ඉන්පසු පත්තිනි හෑල්ලේ කවි හඬ නගා කියනවා.

පිදවිලි තැබීමේදී උස්‌ අසුනක්‌ මත සුදු පිරුවටයක්‌ එළා ඒ මත කෙසෙල් කොළයක්‌ තබා බුදුන් වහන්සේට, දෙවියන් වෙනුවෙන් පළමුව දානය තැබිය යුතුයි.

කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි 07 බැගින් තබා පහනක්‌ දල්වා බුලත්විටක්‌ද ආසනයේ තබනවා.අම්මාවරු ඉඳගත් පසු ඉදිරියෙන් පත්තර කොළයක් හා ඒ මතින් කෙසෙල් කොළයක් එළනවා.. ඒ මතට කිරි ස්වල්පයක් ඉසිනු ලබනවා.කිරිබත් කැබලි හතක් ,කැවූම් 7 පිළිවෙළින් කිරියා කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1, බූලත් විටි 1 හා පඬූරු බෙදා ගෙන යනවා..දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.

දෙවියන්ට පිං අනුමෝදන් කරනවා. දානය ගෙන අවසන් වන විට කෝපි හෝ තේ කෝප්පයක් පිරිනමනවා.කිරි අම්මාවරුන්ට පිරිකරත් ඒ සමගම තබනවා.
එසේම කිරි ආහාර ගෙනයාම සදහා කිරි අම්මාවරුන්ට බේසමක් ද පුජාකරනවා.

ඒ වගේම කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා අසුරා ගැනීමට කිරි අම්මලාට උදව් නොකිරීම කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතක්.කවුරුවත් ඒ සදහා උදව් කරන්නේ නැහැ.

නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උස පොල් තෙල් පහනක් පත්තුකර තැබිය යූතුයි. එහි පහන් තිර හතක්ද තිර නිවා දෑමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය. දානය පිළි ගැනීමෙන් අනතුරුව කිරි අම්මාවරු නැගිටලා ආතුරයා ඇතුලු සැමට ඇතැම් අවස්ථාවල සළඹද සොළවා සෙත් සාන්ති කිරීම කරනවා.

පත්තිනි පහනෙන් කිරි අම්මාවරුන් සත්දෙනා ලොකු පාන්තිර 7 පත්තු කරනවා. එම පාන්තිර නිවැසියන්ගේ හිස වටා කරකවමින් කිරි අම්මාවරුන් සත් දෙනාම ඔවුන්ගේ වස් දොස් යවනවා. ඉන්පසු බාරය නිදහස් කරනවා.

පත්තිනි මැණියන්ගේ ආශිර්වාදයත් කවි කියමින් ලබා දෙනවා.කිරි අම්මාවරුන් පිටවෙනවා කියලා කියන්නේ නැහැ . ප්‍රධාන කිරි අම්මා පත්තිනි දෙවියන්ගේ පිංතුරය හා සළඹද දානයේ ඉතිරි කොටසද අරගෙන නිවසින් පිටවෙනවා.

ඒ අනුව ඉතිරි කිරි අම්මාවරුන් සය දෙනාද පිලිවෙලට පිටවෙනවා. මෙහි තවත් සිරිතක් වන්නේ දානය රැගත් කිරි අම්මලා පසු නොබලාම නොනැවතී නෙපෙනෙනෙ දුරක් යාමයි.

පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.

  • කිරි අම්මාවරු වඩිනා වේලේ
  • මල් වරුසාවක්‌ වැස්‌සයි දෑලේ
  • ඒ මල් අවුලා අමුණන මාලේ
  • කිරි අම්මාකල ලෙඩ නැත ආලේ

දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.

සමහර ප්‍රදේශ වල දානය අවසානයේදී නිවැසියන් පත්තිනි දේවාලයට ගොස් පළතුරු වට්ටියක් පූජා කර භාරය සම්පුර්ණ කරනු ලබනවා.

නවගමුව හෝ අවට අයනම් නිවසේ කිරි අම්මා දානයෙන් පසු දේවාලයට පැමිණ පුජාවට්ටියක් පත්තිනි මෑණියන්ට ඔප්පු කරනවා.සමහර අය කිරි අම්මා දානය පිරිනමන නිවසේදිම පත්තිනි මෑණියන්ට පුජා වට්ටියක් ඔප්පු කරනවා.

(ඔය කිව්වේ නවගමුවේ හා ඒ අවට කිරි අම්මා දානය දෙන ක්‍රමයයි.එය සමහර පළාත්වල සුළු සුළු වෙනස්කම් දක්නට ලැබෙන බව නවගමුවේ කෞෂල්‍යය සිරිවීර පත්තිනි කපු මහතා පවසයි)

(නවගමුවේ පුරාවත පිටුවෙන් උපුටා ගැනීමකි.ඉතින් ඔබට දරුඵල ලැබීමටත්, දරුවා ලද පසුවත් ආශිර්වාද පතා කිරි අම්මා දානය මේ විදියට නිවැරදිව නිවසේදීම සිදු කළ හැකියි. මේ ලිපිය ඔබට වැදගත් වේ කියලා අපි හිතනවා.