Hela Rahas

Hela Rahas Official Web Portal

පොලොක් සොහොයුරියන්ගේ පුනරුප්පත්ති කතාව

ඔබ පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක්ද? ඇතැම්විට ඔබේ උත්තරය ඔව් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ උත්තරය නෑ වෙන්න පුළුවන්. කෙසේ නමුත් පුනරුත්පත්තිය කියන්නේ ශතවර්ෂ ගණනාවක සිට මිනිසුන් ගැටළුවට පත්කළ මාතෘකාවක්. පුනරුත්පත්ති විද්‍යාව හරහා හෝ ආගම් හරහා පැහැදිලි කළ අවස්ථාද අපට දක්නට ලැබෙනවා.

මරණින් පසු එකම ආත්මය තවත් සිරුරක් සොයා ගමන් කිරීම යන සංකල්පය පිළි නොගන්නා බොහෝ දෙනෙක්ව මේ වන විට ගැටලුවට පත්කිරීමට සමත් වී තිබෙන්නේ තමන්ගේ පෙර ආත්ම භවය ගැන විස්තර කීමට හැකි මිනිසුන් කරළියට පැමිණීමත් සමගයි. එවන් එක් සුප්‍රසිද්ධ කතාන්දරයක් තමයි පොලොක් සොහොයුරියන්ගේ කතාව.

ජෝන් සහ ෆ්ලොරන්ස් පොලොක් නම් යුවල එංගලන්තයේ හෙක්ස්හැම්හිදී තමන්ගේ කුඩා දියණියන් වූ ජැක්ලින් (6) සහ ජොඈන්(11)සමග සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගත කළා. නමුත් සියල්ලම වෙනස් වී ගියේ 1957 මැයි 5 වන ඉරිදා දින එම දරුවන් දෙදෙනා රිය අනතුරකින් මිය යාමත් සමඟයි. ඔවුන් එම මෝටර් රථ අනතුරට මුහුණ පාන විට පවුලේ හිතවතෙකු සමඟ පල්ලිය වෙත ගමන් කරමිනුයි සිටියේ.

දරුවන් දෙදෙනා එතැනම මිය ගිය අතර ෆ්ලොරන්ස් සහ ජෝන් යන දෙදෙනාම තමන්ගේ කුඩා දරුවන්ගේ අකල් මරණයන්ගෙන් ඉතාමත් කම්පාවට පත්වුණා. කෙසේ නමුත් කවදා හෝ දිනක තමාට තවත් දරුවෙකු ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුන් ජීවිතය ඉස්සරහට ගෙන යාමට තීරණය කළා. ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සිතුවාටත් වඩා ඉක්මනින් ඉෂ්ඨ වුනා.

ඔවුන්ට ෆ්ලොරන්ස් නැවතත් ගර්භනී බව දැන ගන්නට ලැබුනා. වෛද්‍යවරයා ඔවුන්ට ලැබීමට නියමිත එක් දරුවෙක් පමණක් බව කියා තිබුණත් ඒ නිවුන් දරුවන් විය හැකි බව ජෝන්ට නිකමට මෙන් සිතුනා. ජෝන්ගේ හැඟීම සත්‍ය බවට පසක් කරමින් නියමිත කාලයේදී ෆ්ලෝරන්ස්ට නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණා. කලින් වතාවේ වගේම මේ වතාවෙත් ලැබුණු දරුවන් ගැහැණු දරුවන් වූ අතර ගිලියන් සහ ජෙනිෆර් නම් එම දරුවන් 1958 නොවැම්බර් 4 වන දින උපත ලැබුවා.

මේ වතාවෙත් ගැහැනු දරුවන් දෙදෙනෙකු බව දැකීමෙන් ජෝන් සහ ෆ්ලෝරන්ස්ගේ සතුට පුදුමයකට හැරුනා. එම පුදුමය දෙගුණ තෙගුණ කිරීමට සමත් උනේ අතිශයින් සමාන මේ නිවුන් දරුවන් (identical twins) දෙදෙනාගෙන් අයෙක් වූ ජෙනිෆර්ගේ නළල මත, ඇගේ මියගිය සහෝදරිය වූ ජැක්‌ලින්ගේ නළලේ උපන් ලපයක් තිබූ තැනම, උපන් ලපයක් තිබීම නිසයි.

ඒ වගේම ජෙනිෆර් හා ජැක්ලින් දෙදෙනාගේම ඉනෙහි එකම ස්ථානයේ උපන් ලපය බැගින් තිබුණි. කෙසේ නමුත් දරුවන් දෙදෙනාට මාස 3 පිරුණු පසු ජීවිතය නැවත අලුතින් ආරම්භ කිරීමට සිතූ ජෝන් සහ ෆ්ලෝරන්ස් ඔවුන්ගේ පදිංචිය අත්හැර දමා උතුරු මුහුදට මුහුණ ලා පිහිටි වයිට්ලි බේ ප්‍රදේශයේ පදිංචියට ගියා.

නිවුන් දරුවන් දෙදෙනා කතා කිරීමට පටන් ගත් විට තමන් සිතුවාටත් වඩා එම දරුවන් සුවිශේෂී බව ජෝන් සහ ෆ්ලෝරන්ස්ට වැටහුණා. එයට හේතුව ඔවුන්ගේ මියගිය සොහොයුරියන්ගේ ඇතැම් විස්තර, දෙමව්පියන් විසින් පැවසීමටත් පෙර ඔවුන් දැනගෙන සිටීම නිසයි.

ඔවුන් වරක් හෙක්ස්හැම් හි ඔවුන්ගේ පැරණි ගම්මානය වෙත ගිය විට එම දරුවන් දෙදෙනා කිසි දිනක නොගොස් තිබූ ස්ථානයන් සහ හමු වී නොතිබූ මිනිසුන් වෙත අත දිගු කරමින් ඔවුන් හඳුනන අයුරු කියා සිටියා. තම මියගිය සොහොයුරියන්ගේ පාසල පසුකර යන විට එයට අත දිගු කළ ඔවුන්, තමන්ගේ පැරණි නිවස සහ එහි අසල්වැසියන්ද කලින් හඳුනාගෙන සිටි අය මෙන් හඳුනා ගත්තා.

කතා කරන ආකාරයේ සිට ඔවුන් අනුගමනය කළ බොහෝ පුරුදු ඔවුන්ගේ මියගිය සොහොයුරියන්ගේම පුරුදු වූ අතර වඩාත් පුදුම සහගත කාරණය වුණේ මේ නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බාල අයෙක් ලෙසත් අනිකා වැඩිමලා ලෙසත් නිතර කටයුතු කිරීමයි. ඔවුන් විසින් පැරණි බෝනික්කන්ද හඳුනාගත් අතර ජැක්ලින් සහ ජෝඇන් විසින් එම බෝනික්කන්ට අතීතයේදී ලබාදී තිබු නම් වලින්ම මොවුන් එම බෝනික්කන්ට කතා කළා.

ගිලියන්ට අවුරුදු 11දී මියගිය තම සොහොයුරිය වූ ජොඈන් ගැන විවිධ මතකයන් තිබුණු අතර, ජෙනිෆර්ට අවුරුදු 6දී මියගිය ජැක්ලින්ගේ මතකයන් තිබුනි. ඔවුන්ගේ දෙමව්පියන් වරක් මෙම දරුවන් දෙදෙනා රිය අනතුරට මුහුණපාන විට තමන්ට දැනුණු හැඟීම් ගැන කතාබස් කරමින් සිටින අයුරුත් දැක තිබුණා. ඒ වගේම මෙම නිවුන් දරුවන් දෙදෙනාත් මෝටර් රථ වලට අධික බියක් දැක්වූවා.

කෙසේ නමුත් ඔවුන්ට අවුරුදු 5 ක් පිරෙන විට දිනක් හදිසියෙන්ම තමන්ගේ මියගිය සොහොයුරියන් ගැන මතකය ඔවුන්ට නැති වී ගියා. හිටිහැටියේම සිදුවුණු එය එක අතකින් පුදුමයක්ද නොවුණේ විද්‍යාඥයන් විසින් පුනරුත්පත්ති මතකයන් තිබීම සඳහා වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 5 වන බැවිනි.

මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් පුනරුත්පත්ති සිදුවීම් දහස් ගණනක් අධ්‍යනය කර තිබුනත් ඒ අතරින් මෙම පොලොක් සොහොයුරියන්ගේ කතන්දරය ඉතාම සුවිශේෂී කොට සලකනවා. ඒ එම දරුවන්ගේ විස්තර වල තිබුණු අතිශයින් නිවැරදිතාවය නිසාමයි. ඔබත් මේ නිවුන් දරුවන්ගේ කතාව ගැන සිතන්නේ කුමක්ද? පුනරුප්පත්තිය යනු හුදු සංකල්පයක් පමණක්ම නොවන බවට පිළිගැනීමට එය ප්‍රමාණවත්ද?