Hela Rahas

Hela Rahas Official Web Portal

බුද්ධිමත් බවේ ලක්ෂණ 12ක්

එක් එක් පුද්ගලයන් සතු ඇතැම් චරිත ලක්ෂණ අපිට පිටින් බැලූ විට එතරම් වැදගත් නැතැයි හැඟුනත්, ඒවා ඇත්තෙන්ම මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනවා. එවැනි චරිත ලක්ෂණ මොනවාද සහ ඒවායින් කෙනෙකුගේ බුද්ධිමත් මැනෙන්නෙ කොහොමද කියන එකයි අපි අද මේ ලිපියෙන් කියන්නේ.

වමත් භාවය / අත් දෙකම භාවිතා කිරීමේ හැකියාව 1995දී “ද නිව් යෝර්කර්” සඟරාවේ මාධ්‍යවේදිනියක වූ මාරියා කොනිකෝවා විසින් වමත් හා දකුණත් පුද්ගලයන් අතර කරන ලද සමීක්ෂණයක් පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. ඒ අනුව වමත් පුද්ගලයා ඉතාම ඉහළ චින්තන ශක්තියකින් යුතු බවත්, සාමාන්‍ය එදිනෙදා ද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන නව නිර්මාණයක් කිරීමේ වැඩි හැකියාවකින් යුක්ත බවත් අනාවරණය වුණා. විද්‍යාඥයන් වමත්භාවය අපසාරී චින්තනය හා සම්බන්ධ කරන්නේ ඒ නිසයි. ඒ කියන්නේ නව අදහස් ජනනය වන ආකාරයේ නිර්මාණශීලී චින්තනය. මේ හැකියාව වමත් පුද්ගලයන්ට පමණක් නොවෙයි වමත හා දකුණත දෙකම එක ලෙස හුරු අයටත් පොදුයි. (Ambidextrous) ඉතින් ඔබ දකුණත හුරු කෙනෙක්‌ නම් සුළු සුළු ක්‍රියාවන් හෝ වමතින් කිරීමට හුරු වෙන්න. එමගින් ඔබගේ මොලයේ නිතර භාවිතා නොවන ප්‍රදේශ ක්‍රියා කිරීම ඇරඹෙනවා.

සුළු දේවල් පිළිබඳ පවා වද වීම. වරක් විද්‍යාඥයන් පිරිසක් බාලාංශ සිසුන් 126 දෙනෙකුට ප්‍රශ්නවලියක් ලබා දුන්නේ ඔවුන් කෙතරම් ඉක්මනින් සුළු දේවල් පිළිබඳ වද වෙනවාද, අන් අයගේ මත හා ඕපාදූප නිසා කලබල වෙනවාද සහ තමාව ඉක්මනින් අවුලට පත් කරන දේවල් කෙරෙහි අවධානය යොමු කරනවාද යන්න සොයා බැලීමටයි. ඒ අනූව නිතර සුළු දේවල් පිළිබඳව පවා වදවෙන සිසුන්, වාචික නොවන බුද්ධි පරීක්ෂණ වලින් ඉහළ ලකුණු ලබාගත් සිසුන්ම වුනා. ඒ අනුව සුළු දේවල් පිළිබඳව පවා ඉක්මනින් වද වෙන, කලබල වෙන පුද්ගලයන් තමන්ගේ කටයුතු වඩා හොඳින් ඉටු කරන බුද්ධිමත් පිරිසක් බව විශේෂඥයන් නිගමනය කරනවා.

හාස්‍යය අගය කිරීම. වරක් නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ ඉතාම සිත් ඇදගන්නාසුලු සමීක්ෂණයක් සිදු කෙරුනා. එහිදී සිසුන් 400 දෙනෙකු යොදාගෙන යම් නිශ්චිත මාතෘකාවක් යටතේ කරුණු සාකච්ඡා කිරීමට ඔවුන් තුළ ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණයක් සිදු කලා. පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන්ට යම් කාටුන් පින්තුර කිහිපයක් ලබා දී ඒවාට මාතෘකා ලබා දෙන ලෙස පැවසුවා. එම පරීක්ෂණය අවසානයේ ඔප්පු ආකාරයට පළමු පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ගෙනුත් 86%ක්ම දෙවනියට ලබාදුන් කාටුන් පින්තූර සඳහා ලබාදී තිබුණේ හාස්‍ය මුසු මාතෘකාවන්. පසුව එවැනිම වූ පරීක්ෂණයක් විකට නළුවන් යොදාගෙන සිදුකරන ලද අතර එහිදී ඔවුනුත් වාචික බුද්ධි පර්යේෂණ වලින් සාමාන්‍ය අගයට වඩා ඉහළ ප්‍රතිඵල ලබාගත් බව පෙනුණා. මේ අනුව විද්‍යාඥයන් පවසන්නේ හාස්‍ය අපගේ මොළය හා ස්නායු පද්ධතිය ක්‍රියාකාරීව පවත්වා ගැනීමට උපකාරී වන නිසා හාස්‍යට කැමැති සහ හාස්‍ය තමන්ගේ එදිනෙදා කතාබහේදී නිතර යොදා ගන්නා පුද්ගලයන් ඉහළ බුද්ධියකින් යුතු අය බවයි.

කුතුහලය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් පවසන්නේ කුතුහලය සහිත දරුවන්, උගන්වන යමක් එලෙසින්ම ඉගෙන ගන්නා දරුවන්ට වඩා ඉතා ඉහළ බුද්ධියකින් යුතු බවත්, අනාගතයේදී ඔවුන් නව චින්තනයක් සහිත නිර්මාපකයන් වන බවත්ය.
“හාවඩ් බිස්නස් රිවීව්” හි මහාචාර්ය ටොමාස් චමරෝ ප්‍රේමූසික් විසින් කුතුහලය අපව වඩාත් දක්ෂයන් බවට පත් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරනවා. ඔහුට අනූව “කුතුහලය නිසා දරුවකු විද්‍යාව හා කලාව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නේ සංජානනය හා ස්වයං ප්‍රකාශනය සඳහා මාධ්‍යයක් ලෙසිනී”. බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද තවත් පරීක්ෂණයකදී පසුගිය වසර 50 තුළ ඉපදුනු මිනිස්සු 6000ක්‌ යොදාගෙන ඔවුන්ගේ බුද්ධි මට්ටම් පරික්ෂා කරන ලද අතර ඉහළම IQ අගයක් ලබාගත් 11 හැවිරිදි දරුවන් ඉතාම කුතුහලයෙන් යුත් පිරිසක් බවත් පෙනී ගියා.

රාත්‍රී කාලයේ බොහෝ වේලාවක් අවධිව සිටීමේ හැකියාව. රාත්‍රී කාලයේ දී වැඩි අපහසුවකින් තොරව බොහෝ වේලා අවධිව සිටීමේ හැකියාවකින් යුක්ත අය බුද්ධිමත් අය ලෙස සැලකෙන්නේ, ඔවුන්ගේ ඉහළ බුද්ධි මට්ටම විසින් ඔවුන්ගේ ඡෛව රිද්මයට අභියෝගයක් එල්ල කෙරෙන බැවිනි. වරක් පෞරුෂත්වය සහ ඒක පුද්ගල විෂමතා පිලිබඳ සඟරාවකින් දරුවන් දහස් ගණනක් යොදාගෙන ඔවුන්ගේ නිදා ගැනීමේ පුරුදු සහ බුද්ධි මට්ටම අතර සම්බන්ධය සොයා බැලීමේදී, බොහෝ බුද්ධිමත් දරුවන් සතියේ දිනවල වගේම සති අන්තයේදීත් රාත්‍රී කාලයේ අවදිව සිටීමට කැමැත්තක් දක්වන බව පෙනී ගියා. මීට සමාන පරීක්ෂණයක් අමෙරිකානු ගුවන්හමුදාවේ ආධුනිකයන් 400 දෙනෙක් යොදාගෙන සිදුකරන ලද අතර එහි ප්‍රතිඵලත් මීට සමාන වුණා.

ඉක්මනින් මනස එහා මෙහා යාම. කතාබහ කරමින් සිටින අතරතුරදී හෝ වෙනත් වැඩක් කරමින් සිටින අතරතුරදී ඔබගේ මනස ඉක්මනින් වෙනතක දුවනවා නම්, එය බුද්ධිමත් බවයේ ලක්ෂණයක් බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඔබට මනස එකඟ කර ගැනීමේ අපහසුතාවය වැඩිවන තරමට ඔබගේ බුද්ධි මට්ටමත් වැඩිය. විද්‍යාඥයන්ට අනුව එයට හේතුව වන්නේ ඉහළ බුද්ධි මට්ටමක් පාලනය කර ගැනීමට ඇති අපහසුතාවයයි.

වැඩි වශයෙන් ඇවිදීම. නිතර නිතර ඇවිදින පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම ඉහළ බවයි පෙනී යන්නේ. වරක් සිදුකරන ලද අධ්‍යනයකට අනුව නිතර පයින් ඇවිදීමට සිදුවන ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්, අත ළඟම ප්‍රවාහන පහසුකම් සහිත ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයන්ට වඩා වැඩි බුද්ධියකින් යුක්තයි.

තමන් තවමත් බොහෝ දේ නොදන්නා බව දැන ගැනීම. ” ඩනින්ග් – කෘගර් බලපෑම” යනු ජස්ටින් කෘගර් සහ ඩේවිඩ් ඩනින්ග් විශේෂ සිදුකරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගැනුණු, මේ වන විට සාමාජීය මනෝවිද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ලෙස පවතින්නකි. එයට අනුව මිනිසෙකු බුද්ධිමත් බවින් වැඩි වන තරමට ඔහු තමාගේ බුද්ධිමත් භාවය පිළිබඳ සැක පහළ කරනවා. මේ නිසා බුද්ධිමත් පුද්ගලයන් තමා නොදන්නා දෙයක් නොදන්නා බව කීමට බිය වන්නේ නැහැ. තමන් නොදන්නා දෙයක් දන්න බව හඟවමින් ඔහේ සිටිනවාට වඩා, නොදන්නා බව පවසා දන්නා කෙනෙකුගෙන් අසා දැන ගැනීම බුද්ධිමත් බවේ ලක්ෂණයක් බවයි ඒ අනුව ප්‍රකාශ වන්නේ.

හැගීම් පාලනය කර ගැනීමේ හැකියාව. හැඟීම් පාලනය කර ගැනීම හෝ සඟවාගෙන සිටීමේ හැකියාවත්, යමක් කිරීමට පෙර එයින් ඇතිවන ප්‍රතිඵල ගැන කලින් සිතා බැලීමේ හැකියාවත් බුද්ධිමත් පුද්ගලයන් සතු ලක්ෂණයක්. එක් සුප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකදී එයට සහභාගී වූ අයට තෝරාගැනීම් දෙකක් ලබා දුන්නා. ඒ, සුළු මුදල් ප්‍රමාණයක් වහාම ලබා ගැනීමද, එහෙමත් නැත්නම් විශාල මුදල් ප්‍රමාණයක් වසරක් පුරාවට ලබා ගැනීමද යන දෙකයි. ලොකු මුදල් ප්‍රමාණයක් පසුවට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එම පිළිතුර තෝරාගත් පුද්ගලයන්, එහෙමත් නැත්නම් හොඳ ස්වයං පාලනයක් තිබූ පුද්ගලයන් එම පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත් අයයි. ඒ ඔවුන්ගේ ස්වයං පාලනය ඉහළ බුද්ධි මට්ටමක ලක්ෂණයක් වීම නිසයි.

වැඩ කල් දැමීම. කුමන හෝ හේතුවක් කියමින් වැඩ කල් දැමීමේ පුරුද්ද, නරක පුරුද්දක් ලෙස සැලකුනත් එය සැබැවින්ම ඉහළ බුද්ධි මට්ටමක ලක්ෂණයක් බවයි විද්‍යාඥයන් සොයාගෙන තිබෙන්නේ. සුප්‍රසිද්ධ විද්‍යාඥයන් බොහෝ දෙනෙක්ද මෙම වැඩ කල් දැමීමේ පුරුද්ද තිබු අයයි. හේතු කියමින් වැඩ අතපසු කිරීමේ පුරුද්ද නව නිර්මාණ කිරීමේ මූලික ගුණාංගය බවත් පැවසෙනවා.

නිතර යමක් සැපීම. චුවින්ගම් සැපීමේ මොළේ ක්‍රියාකාරිත්වය සහ අවධානය එක තැනක රඳවා ගැනීමේ හැකියාව වැඩි කරන බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් අවාසනාවට ඒ මිනිත්තු 20ක් වැනි කාලයකට පමණයි. කොහොම නමුත් විද්‍යාඥයන්ට අනූව බුද්ධිමත් පුද්ගලයන් වැඩක් කරන අතරතුර මොනවා හෝ හපමින් සිටීමට කැමැත්තක් දක්වනවා.

දවස අතරතුර වරින් වර නිදා ගැනීම. ඔබ දන්නවාද ලියනාඩෝ ඩාවින්චි දවස ඇතුළත වරින්වර නිදාගත් බව? ඒකට කියන්නේ “polyphasic sleep” කියලයි. ඒ අනුව ඔහු සෑම පැය 4 කට වරක් ම මිනිත්තු විස්සක් තිහක් පමණ කාලයක් නිදා ගැනීම සඳහා යොදාගෙන තිබුණා එයට හේතුව ලෙස විද්‍යාඥයන් පවසන්නේ බුද්ධිමත් අයගේ මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා, එය ඉතා ඉක්මනින් වෙහෙසට පත්වන බවත්, විවේකයක් ගෙන ප්‍රශ්නය දෙස නැවුම් මුහුණුවරකින් බැලීමට හැකියාව ලබා ගැනීමටත් මෙසේ වරින් වර නිදා ගැනීම සිදු කරන බවයි. ඒ අනුව ඔබත් දහවල් කාලයේ මිනිත්තු 20ක් පමණ නිදාගැනීම (Power nap) ඔබගේ සෞඛ්‍යයට වගේම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමටත් ඉතා හිතකරයි.