Hela Rahas

Hela Rahas Official Web Portal

බුදුන් සරණ ගිය කාලී දෙවඟන

බුදුන්වහන්සේගෙන් වරමක්‌ ලබාගත්තේ යෑයි පැවැසෙන මහා භද්‍රකාලී දේව මෑණියන් ඉන්දීය සම්භවයක්‌ ඇති දෙවඟනකි. ඉන්දියානුවන් මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව අතරද කාලී මෑණියන් පිදීම බහුලව පවතින බව පෙනේ. විශේෂයෙන් හින්දු ජනතාව ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ මෙහෙසියක ලෙසද හඳුන්වනු ලබන කාලී මෑණියන් දුර්ගා, ජාමුණ්‌ඩ, ගිරිඋමා යන නම්වලින්ද හඳුන්වනු ලබති.

පුලුටුකාලී, භද්‍රකාලී, සොහොන් කාලී, වදුරුකාලී, සිරිකාලී, ගිණිකාලී ආදී වශයෙන් කාලී මෑණිවරු දහ අටක්‌ බවද පැවසේ. කාලී දෙවඟන ලක්‌දිව අදහන දුර්ගා දෙවඟනගේ අවතාරයක්‌ ලෙසද ඇතැම් හු විශ්වාස කරති.

නුවරකලාවියේ ඇතැම් ජනපදවාසී බැතිමත්හු කාලී මෑණියන් සැහැසි කාන්තාවක්‌ බවත් ඇය බහිරවයාගේ බිරිය බවත් විශ්වාස කරති. කාලි මෑණිවරු දහඅට දෙනාගෙන් සොහොන් කාලී සොහොන්වලට අරක්‌ගෙන සිටින බව පැවැසේ.

ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා

බැඳලා මිණිමාල කරට සොහොන්කාලි අම්මා

තුං මංසල මංමංවල රීරිඋරා බොම්මා

අපට පිහිට වෙන්ඩ වැඩිය සොහොන් කාලී අම්මා

සොහොන් කාලියගේ සැඩ පරුෂ බව ඉහත පද්‍යයෙන් පැහැදිලි වේ. සොහොන්කාලිය මෙසේ සොහොන්වලට අරක්‌ගෙන සිටින අතර පුලුටු කාලිය මස්‌ මාළු තෙල් මිශ්‍ර කෑමවලට කැමැත්තක්‌ දක්‌වන බවද වඳුරුකාලිය විවිධ වසංගත රෝග පතුරුවන බවද පැවැසේ. මෙම කාලී මෑණියන් දහඅට දෙනා පත්නිනි දේව මැණියගේ අර්ධ දේව බලය ඇති යකින්නන් ලෙසද සැලකේ.

භද්‍රකාලී දේව මෑණියගේ එක්‌ උපන් කතාවකට අනුව ඇය ඈත අතීතයේ ඉන්දියාවේ එක්‌ ප්‍රාන්තයක සිය පුතුන් සමග හුදෙකලාව නිවසක ජීවත් වුවාය. ඇය මෙසේ ජීවත් වෙද්දී තම පුතුට කල වයස සම්පූර්ණ වෙත්ම විවාහයක්‌ කර දීමට සිතුවාය. මෙසේ විවාහ වූ පුතු තම බිරිඳත් සමග කලක්‌ සතුටින් කල් ගෙවුවාය. එහෙත් ඒ සතුට වැඩි කලක්‌ නොපැවතිනි. එසේ වීමට හේතු වුයේ ඔවුන්ට දරු සම්පතක්‌ නොලබීමය.

මේ හේතුව නිසා පුතු තම මවගේද කැමැත්ත ඇතිව පළමු බිරිඳ සිය නිවසේ සිටියදීම දෙවැනි විවාහයක්‌ කරගැනීමට සිතුවේය. මොහු තම දෙවැනි විවාහය කරගැනීමෙන් පසු ටික කලක්‌ ගත වෙත්ම දෙවැනි විවාහක බිරිඳ ගැබ්ගනී. මේ හේතුවෙන් පළමු විවාහක බිරිඳ දෙවැනි විවාහක බිරිඳ සමග ඇති කර ගනුයේ භද්‍ර වෛරයකි.මෙම වෛරය නිසාම දෙවැනි බිරිඳගේ දරුගැබ විනාශ කර දැමීමට පළමු බිරිඳ පෙළඹෙයි.

මෙසේ පළමු දරුගැබ විනාශ කර දමන ඇය දෙවැනි දරුගැබ විනාශ කර දැමීමටද සැහැසි වෙයි. මෙම සිදුවීම හේතුවෙන් මහත් කම්පාවටත් ශෝකයටත් පත් පුතු සහ ඔහුගේ දෙවැනි බිරිඳ මෙයට හේතුව කුමක්‌ දැයි දැන ගැනීමට ශාස්‌ත්‍රකරුවෙක්‌ සොයා යයි. ශාස්‌ත්‍රකරු ලවා සිය බිලිඳියන් මියයැමට හේතුව පළමු බිරිඳ බව දැනගත් ඔහු වහා තම නිවසට පැමිණ පළමු බිරිඳ මරා දමයි.

සිය සැමියාගෙන් මෝල්ගස්‌ පහර කැ බිරිඳ මරණාසන්නව සිටි මොහොතේ ඔහුට සාප කරමින් මං යක්‍ෂණියක්‌ වෙලා උඹේ දරුවන් මරාගෙන කනවා යෑයි ක්‍රෝධ සිතින් පැවැසුවාය. මෙසේ වෛරයෙන් මරණයට පත්වෙන ඇය දෙවැනි වරට යක්‍ෂණියක ලෙස උපත ලබයි. මේ වන විට මෙම නිවසේ ජීවත් වුණ පුතුගේ මව මියගොස්‌ සිටි අතර දෙවැනි බිරිඳ තමාට ලැබුන තුන්වන දරුවා සමග සතුටින් කල් ගෙවමින් සිටියාය. ඇය ඒ වන විට සිටියේ තම දරුවාට දෙනතේ කිරි පොවමිනි.

බිරිඳත් මවත් මෙසේ හුදෙකලාව වෙසෙත්දී යක්‍ෂණිය ඇගේ නිවස වෙත පැමිණෙයි. යක්‍ෂණිය එම අවස්‌ථාවේ පැමිණෙන්නේ මහලු වේශයක්‌ මවාගනිමිනි. මෙසේ මහලු වෙස්‌ගෙන පැමිණෙන යක්‍ෂණිය දෙවැනි බිරිඳගේ බිලිදිය උදුරාගෙන දිවයද්දී දෙවැනි බිරිඳ දරුසෙනහසින් විලාප නගමින් මහලු වෙස්‌ගත් යක්‍ෂණිය පසුපසින් ලුහු බඳියි. මෙම අවස්‌ථාවේ බුදුන්වහන්සේ යක්‍ෂණිය නවත්වා යක්‍ෂණියට ධර්මය දේශනා කරනු ලබති.

ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනු ලබන යක්‍ෂණිය සෝවාන් ඵලයට පත්වෙයි. භද්‍රකාලී දේවමාතාවගේ දේව සම්භවය ජනශ්‍රැතිවල මෙසේ සඳහන් වෙයි. ධර්මසේන යතිවරයාණන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ කාලී මාතාව පිදීම බුදුන්වහන්සේගේ අනුදැනුමෙන් සිදු වන්නක්‌ බව පැහැදිලි කරයි. බුදුන් සරණ යැමෙන් පසුව මෙම යක්‍ෂණියට ඇති වන දරු සෙනෙහස නිසා ඇයගේ දෙතනේ කිරි එරුණ බවද පැවසේ.

මහා භද්‍රකාලී මෑණියන් ලෙස දේවත්වයට පත්වෙන මැයට ජනතාවට සෙත සැලසීමටත් ඔවුන්ගේ පුද පූජාවක්‌ ලබාගැනීමටත් බුදුන්වහන්සේ වරම්දුන් බව ජනවහරේ පවතී. කාලී මෑණියන්ගේ කෙම්මුර දින වශයෙන් බදාදා සහ සෙනසුරාදා දෙදින ගැනේ. නුවරකලාවියේ ජනපද වාසීන් සශ්‍රීකත්වය අපේක්‍ෂාවෙන් කාලී මෑණියන්ට බාරහාර වෙති. වදුරු වසංගත රෝග හා බෝවන රෝග වැළඳීමේදී කාලී මෑණියන්ට බාරහාර වීමෙන් එම රෝග සුවපත් කර ගැනීමට හැකි බවට ජන විශ්වාසයේ පවතී.

නුවර කලාවියේ රඹෑව, හොරොව්පතාන තලාව, පල්ලන්කුලම, ප්‍රදේශවල ජනතාව සොහොන් කාලී ඇදහීමට මූලිකත්වය දෙති. තවත් කෙනෙකුට විපතක්‌ පැමිණවීම පිණිස සොහොන් කාලියට පුද පූජා පවත්වන බවත් පත්තිනි මෑණියන් විසින් භද්‍රකාලී මෑණියන්ට ලංකාව බාරකොට තිබෙන බව සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත ග්‍රන්ථයක්‌ වන නුවර කලාවියේ දෙවිදේවතාවෝ කෘතියෙහි සඳහන් වේ.

භද්‍රකාලී මෑණියන් දරු සම්පත් නොමැති අයට දරු සම්පත් ලබා දෙන බවත් භද්‍රකාලී මාතාව මෙරට අනිත් කාලී මාතාවන්ට වඩා ප්‍රසිද්ධව සිටින බවද පැවැසේ. මැයගේ වාහනය කොටියා වේ.

ආදි වාසීන්ගෙන් අඛණ්‌ඩව පැවැතීගෙන එන පිරිසක්‌ සිටින ප්‍රදේශයක්‌ ලෙස නෙලුන් ගොල්ලෑව කුකුළේකොටුව ගම සඳහන් වේ. මෙහි වෙසෙන ගැමි ජනතාව දඩයමෙහි යැමේදීත් මී කැඩීම පිණිස කැලෑවට යැමේදීත්. කාලි මෑණියන්ට බාරහාර වෙති. ඔවුහු කාලී මෑණියගේ කෙම්මුර දිනය ලෙස බදාදා සහ සෙනසුරාදා දින සලකනු ලබන අතර ඔවුන් දඩයම් පිණිස ගිය පසු ලැබෙන දඩයමෙන් අඩක්‌ කාලි මෑණියන් වෙනුවෙන් වෙන් කරන බව පැවැසේ. භද්‍රකාලී මෑණියන් හෙවත් මඩු මෑණියගේ උපත පිළිබඳව ගැයෙන කෝල්මුර කවි කීපයක්‌ මෙසේ වෙයි.

ගරුතරසොද විෂ්ණු උමා සරස්‌වතී දෙවි උතුමන්

ගරුතර සොඳ මයුරන් පිට කන්ද කදිර දෙවිඳු බලෙන්

පුවතරසොඳ සැම මුරුගන සැම දෙවඟන දෙවිඳු බලෙන්

අවසර මට භද්‍රකාලී අම්මේ නුඹ උපත කියන්

මුදුන් භද්‍ර කඩින් උපන් නිසා භද්‍රකාලී වෙති

වටින් ඉසුනු උරිරු වලින් අටදෙන කාලිය මෑවෙති

අවට ඉසුනු උරිරුවලින් බහිරව අට දෙනෙක්‌ වෙති

සොඳින් මෙපිරිවර සමගින් කාබිරියපුරට යති

පත්‍රකාලී මෑණිය කාලි දෙවඟනගේ අවතාරයක්‌ ලෙසද මහමෙර වසා සිටි මහකෙළ නම් නාරජුගේ කැඩීගිය පෙණයෙන් උපන්නියක ලෙසද සැලකේ. මහා සුළඟකට අසුව මහකෙළ නා රජුගේ කැඩුන පෙණ ගොබයෙන් ගලාගිය රුධිරයෙන් කාලී මෑණිවරු අට දෙනකු බිහි වූ බවද කිය වේ. (සිංහල දේව පුරාණය)

ලංකාවේ කාලී මෑණි ඇදහීම ආරම්භ වන්නට ඇත්තේ ගම්පළ සහ කෝට්‌ටේ යුගවලදී බව මූලාශ්‍රවලින් පැහැදිලි වේ. ලංකාවේ ප්‍රථම කාලී දේවාලය මුන්නේශ්වරමේ පිහිටා ඇති අතර මෝදරද මාතලේ දිස්‌ත්‍රික්‌කයේ කළුදෑවල ද ජනප්‍රිය කාලී දේවාල පවතී.

මුල්කාලයේ කාලි දෙවඟන ප්‍රජාව පැවතුනේ වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර වුවද වර්තමානයේ කාලි දෙවඟන ප්‍රජාව සිංහලයන් අතරද ජනප්‍රියව පවතී.