Hela Rahas

Hela Rahas Official Web Portal

මල් පහන් සුවඳ දුම් පුජාව ගැන නොදන්නා දේවල්

පසුගිය ලිපි කිහිපයකින් අපි ශ්‍රද්ධාව, තෙරුවන් සරණ, ප්‍රාණඝාත අකුසලය මෙන්ම නිවැරදි ලෙස නිවන් මග ගමන් කරන්නේ කෙසේද යන කරුණු පිළිබඳව සරල විමසීමක් කළා. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ මල් පුජාව, පහන් පුජාව සහ සුවඳ දුම් පුජාව සිදු කල යුත්තේ කෙසේද යන කාරණයයි.

මිට පෙර පළවූ නිවන් මග වැරදුනේ ඇයි පොස්ට් එකේ තිබුන පින්තුරය මතකද? මේ පහල තියෙන ඒ පින්තුරය බලන්න.

මේ පින්තුරය මම ගත්තේ කැළණි පන්සලේදී. ඔන්න බලන්න අපේ මිනිස්සු මල් පුජා කරණ ආකාරය. මේකේ සුවඳ කුරු පත්තු කල බවට ලකුණුත් පෙනෙන්නට තියෙනවා.

තව බොහෝ විට අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි අනිත් අය පෙරලගෙන බොහොම කලබලයෙන් පුජාසනය වෙත ඇවිත් මල් පුජාකරලා දුවන අය. මේ අය හිතගෙන ඉන්නවා ඇත්තේ ඒ මල් ටික පුජාකරන්න පරක්කු උනොත් බුදුරජාණන් වහන්සේ තරහා වෙයි කියලා ද දන්නේ නැහැ.

ඔය වගේ කාරණා දිහා බැලුවහම හිතෙන්නේ අද බොහෝ දෙනෙක් මෙම පුජාවන් කරන්නේ නිසි අවබෝධයකින් නොවන බවයි.

මෙම පුජාවෙහි අනිසංස සහ එය නිසි අයුරින් කරන්නේ කෙසේද යන්න විමසා බලමු. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කරණ ලද දේශනාවක් විමසා බැලීම වටිනවා. එය තමයි අංගුත්තර නිකායේ සඳහන් වේලාම සුත්‍රය. අපි එය කෙටියෙන් විමසා බලමු.

“ගෘහපති තුමනි, පෙර කල්හි වේලාම නමින් බ්‍රාහ්මණයෙක් සිටියේය. හෙතෙම මහා දානයක් දුන්නේය. එනම් රිදී පිරවූ රන් පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රන් පිරවූ රිදී පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, අමු රන් පිරවූ පස්ලෝ පාත්‍ර අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු ඇතුන් අසු හාරදහසක් දුන්නේය, රනින් සැරසු රථ අසු හාරදහසක් දුන්නේය, වටිනා අභරණයෙන් සැරසු කිරි දෙනුන් අසු හාරදහසක් දුන්නේය,……… ……………. ආහාර පාන, කැවිලි ආදිය ගැන කවර කතාද, එය ගඟක් ගලන්නාක් මෙනි.

ගෘහපති තුමනි, ඒ වේලාම නම් බ්‍රාහ්මණ තෙමේ අන් කිසිවෙක් නොව තථාගතයන් වහන්සේමය. මම ම එම මහා දානය දුන්නෙමි.

ගෘහපති තුමනි, එම දානය පිළිගැනීමට සුදුසු වූ දක්ශිනාර්හ කිසිවෙක් නොවිය. එම දානය පිරිසිඳු කිරීමට හැකි කිසිවෙක් එයට නොපැමිණි යේය. ගෘහපති තුමනි, වේලාම බ්‍රාහ්මණ තෙමේ එබඳු වූ මහා දානයක් දුන්නේද, එයට වඩා එක් සෝතාපන්න උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, සෝතාපන්න උතුමන් සියයකට දෙන දානයට වඩා එක සකදාගාමී උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, සකදාගාමී උතුමන් සියයකට දෙන දානයට වඩා එක අනාගාමි උතුමෙකුට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, සකදාගාමී උතුමන් සියයකට දෙන දානයට වඩා එක රහතන් වහන්සේ නමකට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, රහතන් වහන්සේ සියක් නමකට දෙන දානයට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, පසේ බුදුරජාණන් වහන්සේ සියක් නමකට දෙන දානයට වඩා එක සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමකට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයට වඩා සතර දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා පිලි ගැන්වීම මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, සතර දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා පිලි ගැන්වීමට වඩා යමෙක් පහන් සිතින් තෙරුවන් සරණ යන්නේ නම් එය මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, යමෙක් තෙරුවන් සරණ ගොස් පන්සිල් රකී නම් එය තෙරුවන් සරණ යාමටත් වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, යමෙක් මලක සුවඳ සිබින තරම් සුළු මොහොතක් මෙත් සිත වඩයි ද , එය තෙරුවන් සරණ ගොස් පන්සිල් රැකීමටත් වඩා මහත්පල මහානිසංස වන්නේය.

ගෘහපති තුමනි, යමෙක් අසුරක් ගසන තරම් සුළු මොහොතක් අනිත්‍ය සංඥාව වඩයි ද , එයම සියල්ලටම වඩා මහත්පල මහානිසංස වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේගේ ඉහත දේශනාව අනුව දානයට වඩා ශීලය ද , ශිලයට වඩා සමථ භාවනාව ද , ඒ සැමට වඩා විදර්ශනා භාවනාව ද ආනිසංස වන බව පෙනෙනවා නේද? ඔබ මිට පෙර කල්පනා කරලා තියෙනවද ,මේ මල් පුජාව, පහන් පුජාව, සුවඳ දුම් පුජාව යන පුජාවන් මහානිසංස අනර්ඝ පුජාවක් බවට පත්කරගන්නා ආකාරය ගැන.

ඔබ අවංකව මල් පුජාව සිදුකරනවා නම් ඒ වෙනුවෙන් එක මලක් උවත් ප්‍රමාණවත්. සන්සුන් සිතින් යුක්තව මල අතට ගෙන එහි ස්වභාවය දකින්න. ඉන්පසු එය පුජාකර ඒ මල පරවියන ආකාරය සිතින් දකින්න. එම මල මෙන්ම තමන්ගේ කයද වෙනස්වන ආකාරය නුවණින් දකින්න. කය පමණක් නොව තමන්ගේ සිතුවිලි ද ස්ථිර තාවයක් නොමැතිව වෙනස් වන ආකාර මෙනෙහි කරන්න. මේ අයුරින් මුළු මහත් විශ්වයෙහි ඇති සියලු දේම අනිත්‍ය බව මොහොතක් මෙනෙහි කරන්න. (මල් පුජාව වෙනුවෙන් කිසි විටකත් ප්ලාස්ටික් මල් භාවිතා කරන්න එපා) ඔබට වැඩි වෙලාවක් මල් ආසනය අසල මේ වෙනුවෙන් කාලය ගත කිරීමට හැකිනම්, ඔබ පුජා කල මල් පරවී යන ආකාරය ඔබටම දැකගත හැක. නිවසක ඇති බුදු මැදුරක මල් පුජා කරන්නේනම් එය වඩා පලදායක බව මගේ වැටහීමයි. මන්ද යත් කාලය ගතවීම සමග ඒ මල් පරවී යන ආකාරය ඔබට විටින් විට දකින්නට ලැබෙන නිසාත්, එලෙස දකින සැම විටකම ඔබට අනිත්‍ය මෙනෙහි කිරීමට හැකියාව ලැබෙන නිසාත්ය.

පහන් සහ සුවඳ දුම් පූජාවද මේ ආකාරයෙන්ම සිදු කරන්න. ඒ පහනේ තිරය දැවී ගොස් පහන නිවී යන ආකාර හෝ සුවඳ කුර දැවී නිවියන ආකාරය දකිමින් ඉහත සඳහන් කල ආකාරයටම අනිත්‍ය මෙනෙහි කරන්න. අවම වශයෙන් සුවඳ කුරක් දැල්වී අවසන් වන කාලය වැනි කාලයක් හෝ මේ වෙනුවෙන් ගත කරන්න.

මේ පුජාවන් මේ ආකාරයට කරන්නේ නම්, ඔබ විසින් කර ඇත්තේ ඉහලම කුසලය වන අනිත්‍ය සංඥාව වැඩීමය. මුළු මහත් නිර්වාණ මාර්ගයම තම සිත පිලිබඳ කලයුතු මහා ගවේෂණයක් බව මොහොතකට වත් අමතක නොකරන්න. මේ ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා විට මුළු මහත් ලෝකයම යනු සිතුවිලි සමුදායක් පමණක් බව ක්‍රමයෙන් වැටහී යනු ඇත.