Hela Rahas

Hela Rahas Official Web Portal

මේ සතුන් ගෙට අවොත් ඔබට සිදුවෙන දේවල්

මිනිසාත් සතුනුත් දෙවර්ගයක ජීවීන් වුවද මේ දෙපිරිස අතර එකිනෙකාට සමීපව බැඳුණු කරුණු කාරණා පවතින්නේය. සත්ව කොට්ඨාස කිහිපයක් එහිදී විශේෂ කොට දැක්විය හැක. ඒ අතර බල්ලා, පූසා, ගවයා ආදීන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. බල්ලා යනු සත වර්ෂ ගණනාවක සිට මිනිසාට ඉතා සමීපව කටයුතු කළ සතෙකි. අතීතයේ විසූ මිනිසාට දඩයම් කරදීමටත් ආරක්ෂාව සැපයීමට බල්ලා අසීමිත සේවාවක් ඉටුකොට ඇති අතර අදද බහුතරයක් නිවාස සඳහා ආරක්ෂාව සැපයීමේ ප්‍රධාන වගකීම්කරුවා වී ඇත්තේ බල්ලාය.

වර්තමානය වෙද්දී ගවයින් වැනි සතුන්ගෙන් මිනිසා ලබාගන්නා ප්‍රයෝජන යම් තරමකට අඩුව ඇතත් අතීතයේ ගවයා යනු මිනිසාගේ ජීවන බර 75%කින් අඩු කරන්නට හැකි ප්‍රබල දායකත්වයක් දුන් සතෙකි. එදා ගොවිතැන් කටයුතුවලින් 50% කළේ ගවයාය. බර ඇද්දේ ගවයාය. ඊට අමතරව පිරිපුන් ජවයෙන් පිරි මිනිස් පරපුරක් උදෙසා සිය සිරුරේ රුධිරය කිරිකර දුන්නේ ගවයාය. එනිසා සතුන් සහ මිනිසා අතර ඇති සබැඳියාව කිසිවකු දෙවැනිකොට නොසලකා හැරිය හැක්කක් නොවේ.

තත්ත්වය එසේ වෙද්දී ඇතැම් සතුන් විවිධ අනාවැකි හරහා මිනිසාට සමීප විය. එවැනි අනාවැකි පවසන සතුන් අතර හූනා, කපුටා, බල්ලා ප්‍රධාන වෙයි. එම සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් අනුව පැරැන්නන් ඇතැම් අනතුරුදායක ගමන් කලින්ම හඳුනාගෙන ඒවා මඟහැර සිටියේය. එමඟින් සිය ජීවිත ආරක්ෂා කරගත්තේය. මේ අයුරින් සතුන් ගැන කතා කරද්දී විවිධ සතුන් නිවාස තුළට පැමිණීම ගැනත්, පුරාණ පොත පතෙහි මනාව සඳහන් වේ. ඒ අනුව ඒ ඒ සතා ගැන කියැවෙන අනාවැකි පහත පරිදි හඳුනාගත හැකිය.

තලගොයෙක් නිවෙසට පැමිණීම-යම් නිවෙසකට තලගොයකු පැමිණීම සුබ සලකුණක් සේ සලකයි. තලගොයා පැමිණි දිනයේ සිට නිවෙසේ සතුට සැනසුම වර්ධනයට හේතු යෙදේ. නිවැසියන්ගේ බලාපොරොත්තු ඉටුවීමට හේතු යෙදෙන අතර ධන ධාන්‍ය ලැබීමද මෙමඟින් පෙන්නුම් කරයි.

කබරගොයෙක් පැමිණීම-අසුබ පල ගෙනදෙන කාරණාවක් ලෙසින් සලකන කබරගොයකුගේ පැමිණීමෙන් පසු එම නිවෙස තුළ පාළු මූසල තත්ත්වයක් ඇතිවන බවත්, පවුලේ සාමාජිකයන් අතර සමගියට බාධා යෙදෙන බවත් පැවසෙයි. නිවැසියන්ට නිවෙසෙහි රැඳීමට සිත් නොදේ. ඔවුන් නිවෙසින් පිටව සිටීමට පෙලඹෙයි.

නාගයකු පැමිණීම-අසුබ කරදර රැසකට පෙරනිමිති ඇති බව අඟවන්නට නයකුගේ පැමිණීමට හැකියාව ඇත. නීතියෙන් ප්‍රශ්න රජයෙන් බාධා මෙන්ම නඩුහබ ආදියට නිවැසියන් පැටලෙන බවට පෙර දැනුම්දීමක් ලෙස නාගයකුගේ පැමිණීම හඳුන්වාදිය හැක.


මීමැස්සන් පැමිණ වද බැඳීම-නිවසේ කොහේ හෝ තැනක මී මැස්සන් වද බැඳ ඇත්නම් වාසනාවේ සංකේතයකි. නිවැසියන්ට සෞභාග්‍යය උදාවෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම්, මුතු මැණික් ආදිය ලැබීමට හේතු යෙදේ.

දෙබරුන්ගේ පැමිණීම-දෙබරාද නිවෙසට එන්නේ අසුබ පණිවුඩ රැගෙනය. එතැන් පටන් නිවැසියන් අතර අඬදබර කලකෝලාහල ඇතිවීමට හේතු යෙදේ.

ගේ කුරුල්ලාගේ පැමිණීම-ගේ කුරුල්ලකු නිවෙසට පැමිණීමෙන් එහි ජීවත් වෙන අඹු සැමියන්ගේ ප්‍රීතියට කරුණු යෙදේ. දෙදෙනා අතර බැඳීම් වර්ධනය වේ. දරු සම්පත් ලැබීම පවුලට අලුත් සාමාජිකයන් සම්බන්ධ වීම වැනි කාරණා ගැන ඉඟි පළකරයි.

පරවියන් පැමිණීම-නිවෙසට පරවියකු පැමිණීමෙන් පසු එම නිවෙසේ ජීවත් වන අයට තිබූ සතුරු කරදර දුරුවෙයි. සතුරන් මිතුරන් වෙයි. හිතේ සහනය සතුට වර්ධනය වෙයි. අසල්වැසියන්ගෙන් සහයෝගය ලැබෙයි.

ගැරඬියකුගේ පැමිණීම- මෙය සුබ දෙයක් නොවේ. නිවැසියන්ට නින්දා අපහාස විඳින්ට සිදුවේ. පහත් අයගෙන් කරදර සිදුවේ. කලක සිට කරගෙන ආ කටයුත්තක් කඩාකප්පල් විය හැක.

උකුස්සකු නිවෙස තුළට පැමිණීම-යම් නිවෙසකට උකුස්සකු පැමිණියහොත් එම නිවෙසේ ජීවත් වන අයට රජයෙන් ගෞරව හෝ නිලතල නම්බුනාම ආදිය ලැබිය හැකිය. විශේෂ වරප්‍රසාදවලට හිමිකම් ලැබේ. අන් අය අතර ප්‍රසිද්ධියට හේතු යෙදේ. වාසනාවේ සංකේතයක් ලෙසද හඳුන්වාදිය හැකිය.

බස්සකු පැමිණීම-නිවෙස තුළ ජීවත් වන අයකුගේ මරණයක් සිදුවිය හැකි බවට ඉඟියක් රැගෙන බස්සකු නිවෙස තුළට පැමිණෙන බව පැවසේ. එසේම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමටද නිවැසියන්ට සිදුවනු ඇත