Hela Rahas

Hela Rahas Official Web Portal

මේ සිහිනවලින් එකක් හරි දැකලා තියෙනවා ද?

ඔබ ලගදිම දැකපු හීනේ මොකක්ද? ඒ හීනෙ තේරුම ඔබ දන්නවාද? සමහරුනම් කියන්නෙ හීන කියන්නේ එදිනෙදා ජීවිතයේ සිදුවීම් වල සිතුවිලි නිසා නින්දෙන් මැවෙන විකාර බහුබූත කියලා. තවත් සමහරු ඊට වඩා තරමක් බැරෑරුම් විදියට හීන ගැන හිතනවා. කොහොම වුණත් හීනවල තේරුම් හොයන්න මිනිස්සු උනන්දු වුණේ අද ඊයෙක ඉදලා නෙවෙයි. හොඳම සාක්ෂිය තමයි කොසොල් රජතුමා විසින් දුටු හීන දාසයට බුදුරජාණන් වහන්සේ දුන් අර්ථකථන. ඉතිං අපි දකින හීනවල තේරුමක් නෑ කියන්න බෑ නේද?

දියේ ගිලෙනවා දැක්කොත් -දියේ ගිලීම නම් ඒ තරම් හොඳ හීනයක් විදියට පිළිගන්නේ නැහැ. එය අසුබ පල ගෙන දෙන රෝග පීඩා දුක් කරදර මරණය ගැන අනතුරු අඟවන හීනයක් බවටයි සැලකෙන්නේ. මනෝ විශ්ලේෂකයන් අදහස් කරන්නේ දියේ ගිලීම මගින් සංකේතවත් කරන්නේ තමන්ට දරාගන්න නොහැකි තරම් හැඟීම් ගොඩකට හසුවීමයි. දරාගන්න බැරි තරම් ප්‍රශ්න තියෙන අපහසු කාල සීමාවක් ගෙවනකොට මේ වගේ හීන පෙනෙනවාලු.

බල්ලන් සපා කෑම -මේ හීන පලාපල ගැන විවිධ මත පැවතුනත් එක් මතයක් වෙන්නේ දේව දෝෂයට ලක් වූ කාලවල් වල බල්ලන් හීනෙන් පේනවා කියනවා. සමහර අයනම් කියන්නේ බල්ලන් සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් නැත්නම් ළඟම හිතවතෙක් ඔබත් එක්ක තරහ වෙනවා කියන එක. ඒ අනුව හීන විශ්ලේෂකයන් පවසන්නේ මිත්‍රයකුගේ ද්‍රෝහී වීමක් මේ සිහින වලින් සංකේතවත් කරනවා කියලා.

හීනෙන් දකින සත්තු -කැස්බෑවුන් මකුළුවන් ගිරවුන් පරවියන් හා කොක්කු වගේ සත්තු දැකීමෙන් පෙන්නුම් කරන්නේ සුන්දර ආකර්ෂණීය සහකරුවකු හෝ සහකාරියක් හිමිවීමයි. විශේෂයෙන්ම මොනරුන් කුකුළන් දැකීමෙන් වාසනාවන්ත විවාහ දිවියකට අවකාශය ලැබෙන බව කියවෙනවා.

සර්පයන් දෂ්ඨ කිරීම -සම්ප්‍රදායේ පැවතෙන්නේ නම් නමි ස්ත්‍රීන්ගේ ගැබ් ගැනීම් නයි සිහින තුළ දැකීමෙන් පෙන්නුම් කරන බව. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් වුනත් සුදු නයෙක් දැකීම ධන ලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් විදියට සැලකෙනවා. නයෙක් දශ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මිදීම නිරූපණය කෙරෙනවා. එහිදී සිදුවිය හැකි අනතුරක් ප්‍රශ්නයක් ඔබ නොසලකා හරිමින් සිටිනවා නම් එහෙමත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින වෙලාවක මේ වගේ හීන පේන බව මනෝ විශ්ලේෂකයන් කියනවා.

උඩින් බිමට වැටීම-යම් උස ස්ථානයක ඉදලා වැටෙන එක නම් හොඳ හීනයක්. සම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා කියන්නේ වාසනාවන්ත කාලෙක පෙර නිමිත්තක්. නමුත් මනෝවිශ්ලේෂකයන් කියන්නේ වැටීම් වලින් පෙන්නුම් කරන්නේ ජීවිතේ කිසියම් දෙයක් පිළිබඳ තියෙන පාලනය අඩුවීමක්. හීන මගින් තමන් ඇද වැටෙන ස්ථානයක තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු කරන්න පුළුවන්.

දත් වැටීම-මේ හීනය නම් ගොඩක් දෙනෙක් දැකලා ඇති. අපිව බය කරන හීනයක් කිව්වොත් හරිම නිවැරදියි. දත් වැටෙන එක ගැන ජෝතිෂය සලකන්නේ මේ ඉතාම අසුබ හීනය කියලා. දත් වැටීමෙන් තමන්ගේ නැත්නම් හිතවතකුගේ මරණයක් වුණත් වුනත් සංකේතවත් වෙන්න පුළුවන්. ඊට අමතරව දරුණු විපත් භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවන බව මේ හීනෙන් අනතුරු අඟවනවාලු.

සිහිනෙන් දකින කාන්තාවන් -හීන වලින් විවිධ කාන්තාවන් දකින්න පුළුවන්. ඒ පිළිබඳව විවිධ අනාවැකි පළ වෙනවා. නිරුවත් කාන්තාවක් හීනෙන් දැකීම සුභ සිහින හැටියටයි සලකන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ලගදීම සතුටුදායක ආරංචියක් දැනගන්න හැකිවන බව. සේවිකාවක් දැකීම නම් එතරම් සුබ වෙන්නේ නැහැ. ඉන් ධනහානි නින්දා අපහාස වගේ දේවල් ගැන අනාවැකි පළ වෙනවා. සිහිනෙන් දකින කාන්තාව සුදු ඇඳගත් කාන්තාවක් නම් එය යහපත් හීනයක් හැටියටයි හඳුන්වන්නේ.

අමුතු හීන – සමහර හීන පිළිකුලක් අප්‍රසාදයක් බියක් ගෙනදෙන්න සමත් වුණත් ඉන් පසුව හොද ප්‍රතිඵල ලැබෙන බව බොහෝ දෙනා පවසනවා. තමන්ගේ සිරුර පුරා ලේ ගලා යනවා දකින එක බියකරු හීනයක් වුණත් ඉන් ධනලාභ සතුට වාසනාවන්ත කාලයක් ගැන අනාවැකි පළ කෙරෙනවා. අවමඟුල් හීනෙන් දැක්කම සුබ ප්‍රතිඵල අත්වෙන බව පැවසෙනවා. එල්ලුම් ගහ හීනෙන් දැකීම වාසනාවන්ත කාලෙක පෙර නිමිත්තක් වෙනවා.