Hela Rahas

Hela Rahas Official Web Portal

රාජසිංහ රජුට ජම්පරය ඇන්දුව හැටි

දුෂ්ඨ ගාමිණී රජතුමා එළාර රජු මරාදමා පරාජය කළ පසු එළාර දේහ ශේෂයන් තැන්පත් කළ තැනට පවා ගරු කළ බවත් පසු සෙස්සන්ද එසේ කළ යුතු යයි නියමයන් පැන වූ වගත් අපි දනිමු. ඒ අවුරුදු දහස් ගණනකට පෙර අතීත ලංකාවේය. එහෙත් අවුරුදු දෙසීයක් තරම් හරියටම කියනවා නම් අවුරුදු 204කට පෙර මෑත අතීතයේදී තමන්ගේ රජු පාවාදීමෙන්- පරාජය කළ පසු ඉතාමත් තිරශ්චීන ලෙසින් ක්‍රියා කළ බවද එසේම දනිමු. මේ වෘෂභ ප්‍රතිපත්තිය සිංහලයේ අන්තිම රජුටත් බලපෑ නිසාදෝ අනාගතයේ රජවන්නට සිතන්නෝද අනිකා පරාජය කළ පසු උහුට ජම්පර් අන්දන්නෙමු යයි යටට ජම්පරයක් වත් නොහැඳ ඇඳිවන කරටගෙන කරත්ත ඇංජින් ශබ්ද නගති. පරාජය වූ එකාට අශ්ලීලයෙන් හෙලෙත්තාඩු කිරීම උඩරට අංකෙළියේත් දක්නට ලැබෙන නිසා මේ කෙරුවාවනම් අපේ ජාතිගතියක් යයි කිව්වත් නරකම නැත. හෙට අනිද්දා සිද්ධ කරන්නට අරඅඳිනා රජසටනට ඉදිරිපත් වෙන්න වුන්ගේ වරෙත්තුවන්ගේ මිගබස් කරච්චල මහ ඉහළටම නැගයන මේ වකවානුවේ අරකී සිංහලයේ අන්තිම රජුගේ පලහිලව්වේ දුටු සාක්කියක් ඉදිරිපත් කරන්නේ ලංකාදීප ජනයාගේ පහන් සංවේගය පිණිසය. 1815 මුල් මාසය තෙක් සිංහලයේ රජකළ වඩුග කන්න සාමි ශ්‍රී වික්‍රම රාජසිංහයයි නමක් ගත්තත් සිංහල හොඳට ඉගෙන ගත්තත් රජවාසල වැඩිබර තිබුණේ දෙමළ බසට බව පෙනෙන්නේ භාෂා පරිවර්තක ‘කුප්පකාර’ නිලයක් තිබූ නිසාය. රජුට සිංහල පුළුවන් වූවාට ගෙඩිපිටින්ම මෙරටට ආනයනය කළ බිසෝවරුන්ට හා කන්දේ නුවර මලබාර් වීදියේ රජ ඥාතීන් හට සිංහල බැරි නිසා තුප්පහි නිලයක සේවාව අත්‍යවශ්‍ය වී ඇත. ඉංග්‍රීසින්ටද රජ ගනුදෙනුවලදී තුප්පකාරි සේවාව අනිවාර්යය. මේ නිසාම ඉංග්‍රීසි යුද හමුදාවේ තුප්පහි නිලයට පත්වූවෝ දෙමළ+සිංහල+ඉංග්‍රීසි භාෂාත්‍රයම හසල දැනුමැත්තෝ වූහ. 1815 උඩරට රජු යටත් කර ගැනීමේ යුද පෙරමුණට ගිය ඉංග්‍රීසි හමුදාවේ එකල මෙකී තුප්පහි නිලය දැරුවේ ඩී.වී.ඒ. දියෙස් නම් මහත්මයෙකිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට සහසම්බන්ධ වූ කොටින්ම තියනවානම් මේ සිද්ධිය ඇස් පනාපිට දුටු ඔහු විසින් ලියන ලද මේ ලිපිය වරකාපොළ රතනසාර හිමිපාණන් විසින් 1955 වසරේදී ශ්‍රී ලංකා සඟරුව මගින් හෙළිදරව් කර ඇත. එකී ලිපිය මෙසේය. ‘‘1815 වේ මැදමහනුවර අන්තිම සිංහල රජු සැඟවුන තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම එක්නැළිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්ට පිටත් වුණාය. ඔහු සමග සපරගමුවේ පන්සීයක් පමණ සෙනගද ඉඹුන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානමද සමඟ යන විට වයස දහයක දොළහක කොළුගැටයෙක් දුවනවා දැක එළවාගෙන ආවාම මහත් භයෙන් වැඳගෙන ‘‘දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන් මම පෙන්වා දෙංඤ්ඤ‌ාය’’ කීවාය. එතකොට එක්නැළිගොඩ මොහොට්ටාල මේ කොලුවාගේ තුනටියේ වැල් පොටක් බන්දවා අල්ලාගෙන ඉස්සර කරගෙන අපි සැම දෙනම ගියාය. ටික දුරක් ගිය පසු ‘‘ඔන්න දෙවි හාමුදුරුවෝ මාළිගාවට ඉහළින් තිබෙන ගහ’’යි නුග ගහක් පෙන්නුවාය. එතනට අපි ළංවුණු විට පියා තිබුණ ගෙයි දොරළඟ ආරච්චිගෙයි ගෑනු දෙන්නෙක් සිටියා. මිදුලේ සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් ලංසයක් ගෙන සක්මන් කරමින් සිට ‘‘හා එක්නැළිගොඩ රාල, කොයි යනවාද? ඇසුවාම ‘‘අපිත් මෙහාට ආවා තමයි කී විට සැතපෙනගෙයි අප්පුහාමි අතේ තිබුණ ලංසයෙන් එක්නැළිගොඩට ඉතාම සැරෙන් ඇන්නාය. ඒ අනුව ඔහුගේ වාසනාවෙන් නොවැදී ලංසේ බිම ඇනී කැබලිවලට කැඩී ගියාය. එවිට සපරගමුවේ මිනිස්සු ඔහු අතින් අතට ඉහළට ගත්තා දුටුවා මිස ඔහුගේ ශරීරයට මක් වුණාද නොදනිමි. එවිට එක්නැළිගොඩ ගෙයි දොර ළඟට ගොස් රජ්ජුරුවන්ට දොර අරින්ඩ කීවාය. රජ්ජුරුවෝ දොර නෑර ‘‘එක්නැළිගොඩ අපේ නෑයාද’’ ඇසුවාය. ඒ මම තමා ​දොර අරින්ඩ යම් යුද්ධ ආයුධ ඇත්නම් එළියට දමන්ඩ’’ කිවුවාය.

එතකොට සොරොව්වකින් රිදී වැඩ කළ වඩන තුවක්කු තුනක්ද ක්‍රීස් දෙකක්ද එළියට දැම්මාය. එහෙත් රන්කඩුව එළියට දමන්ඩ කිව් නමුත් නොදැම්මාය. එතකොට එක්නැළිගොඩගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි ගෙන දොරට ගැසුවාම දොර පැලී ගියාය. ඉන්පසු හබරගමුවේ මිනිස්සු ගෙට වැද කෝලහලකොට දේවීන් වහන්සේලාගේ ඇඳුම් පැලඳුම් කඩාගෙන රෙදි හතර රියන පිටින් දොරට දැම්මාය. එවිට දේවීන්නාන්සේලා දෙනම ඒ මේ අත බෙලිකපාපු කුකුළෝ වගේ පෙරළෙමින් සිටින අතර ගෙට නොවැදී කිසිවක් නොකර මගේ මිනිස්සු දෙන්නත් සමඟ සිටි මම ‘‘අම්මයියාර් නීංග පයප්පාංඩ වාංඩම් ඉංගාලේ වාංගෝ’’ කීමි. එවිට ඔවුන් දෙදෙනා ‘‘නාංග කාපාත්ති කෝංගෝ’’ වචනයෙන් මගේ දෙවුරේ එල්ලී ගත්තාය. විනාඩි කීපයකදී මගේ රෙදි ලේ පෙවී තිබී බලනකොට බිසවුන් වහන්සේලාගේ කුණ්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරාදමා තිබුණාය. ඒ ලේ වලින් මගේ රෙදි තෙමුණාය. ඒවායින් වූ තුවාල වලට ඉඹුලන්වල රාල ලවා බෙහෙත් කොළ කොටවා ලේ හිටෙව්වෙමි. රජ්ජුරුවන් වහන්සේ බලාත්කාරයෙන් එළියට දමා ‘‘වර තොගේ අප්පාට බාර දෙන්ට යන්ට’යි පරුෂ වචන එක්නැළිගොඩ කීවාය. මා මරන්ඩ ඕනෑ නම් මරාපල්ලා කැමති දෙයක් කරාපල්ලා මට පයින් යන්ඩ බැරිය.’’ රජු කීවාය. එවිට එක්නැළිගොඩ මොහොට්ටාල ‘‘මූ ඌරෙක් වගේ බැඳ කුදලාගෙන යන්ඩ කිරිඳිවැල් ගෙනෙව්’’ කියා බඳින්ඩ ජෝඩු කරන විට මම මොහොට්ටාලට කතා කොට ‘නිලමේ, සිංහලේ ඇත්තෝ වන නමුත්නාන්සේලා අද මේ පැය වනතුරු දෙවි හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ, දෙමාපියෝය කියූ රජ්ජුරුවන් වහන්සේ බැඳ අපහාස වශයෙන් නෙරෙක්තු කිරීම යුතු නැත’’යි කීමි. එතකොට එක්නැළිගොඩ බොහොම තද බලයෙන් ‘ඔතන කීම ගන්ඩ අපි මෙහෙ ආවා නොවෙ’යි කියා රජ්ජුරුවන් කිරිඳිවැල්වලින් බඳින්ඩ ජෝඩු උනාය. මෙසේ රජුට කරන අපහාස වෙහෙස මහත් වික්ෂෝපයෙන් බලා කණගාටුව දරාගන්ඩ බැරුව මගේ කරේ සාළුව ගලවා මේකෙන් බඳින්ඩ කියා ඒ දුනිමි. රජතුමා ඇල්ලූ බව ඩොයිලි උන්නාන්සේට ලියා අරින පිණිස කඩදාසි සහ පොත්ලොත්කූර ගන්ඩ උත්සාහ කළමුත් දේවීන් වහන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී සිටි නිසා නුපුළුවන්ව යටිපහුවේ කංකානමට කියා මගේ සාක්කුවෙන් අරගෙන ඔහුගේ පිටේ තබා මෙසේ ලිවීමි. ඒ නම් ඩොයිල් උන්නාන්සේ බලාගන්නා පිණිසයි. සිංහලේ රජ්ජුරුවෝ අපට අසුවුණාය. එක්නැළිගොඩ රජ්ජුරුවන්ඩ බොහෝ නෙරෙක්කු කර අපහාස වශයෙන් බැඳ ගෙන එනවාය. දෝළා ගණනකුත් ගෙන තමුන්නාන්සේ කඩිනමින් මෙහි එන්ඩ ඕනෑය. රජ්ජුරුවෝ සහ බිසවුන් වහන්සේලා නිර්වස්ත්‍රව වාගේ සිටින නිසා රෙදිත් ගෙනෙන්ට ඕනෑය’ යනුයි. මේ ලියුම බොහොම ඉක්මණින් යටිපහුවේ කංකානම අත යැව්වාය. සිංහල පැයක් යන්ට පෙර කර්නල් හාර්ඩ්- හුක් ඇතුළු භට පිරිසක් පැමිණ බිම එළ ඵළා තල්ලුකරගෙන රජු ඇදගෙන ගිය සබරගමුවේ මිනිසුන්ට කස පහරවල් ගසා එළවා දමා අස්සයන් පිටින් බැස තොප්පි ගලවා රජුට දණ නමස්කාර කොට සැප පහසු විභාග කළාය. (ආචාර්ය ජිනදාස වීරකෝන්)