Hela Rahas

Hela Rahas Official Web Portal

ලංකාවේ ඉන්න එකම කුරු අලියා

සජීවීව දැකගත හැකි දැනට ලෝකයේ වෙසෙන එකම කුරු අලියා ලෙස සැලකෙන්නේ වලවේ කොටාය. 2013 වසරේ උඩවලව වනෝද්‍යානයෙන් මුල් වරට දැකගන්නට ලැබුණු මෙම සත්ත්වයාගේ උස අඩි හතරකි.

වලවේ කොටා ජාන විකෘතියක් නිසා කුරු වූ අලියෙකි. එම කුරු තත්ත්වය disproportionate dwarfism ලෙස හඳුන්වන අතර එහිදී ශරීරාංගවල අසමාන බවක් තිබේ. ශරීරයේ අනෙකුත් කොටස්වලට වඩා අත් පා කෙටිය.

සිරිපාදය,​ හෝර්ටන්තැන්න ආදී ප්‍ර‍දේශවල කුරු අලි සිටි බවට වාර්තා වුවත්, ඔවුන්ගේ අස්ථිමය සාධක නිරීක්ෂණය කළ ද එමගින් කුරු ලක්ෂණ හමු නොවූ බවද පැවසේ.

කුරු ලක්ෂණ සහිත කෙණෙරක් ගැනද පසුගියදා උඩවලව ​වනෝද්‍යානය ආශ්‍රිත කැමරාවල සටහන්ව ඇත. එම කෙණෙර තවමත් පියවි ඇසින් දැක නැති අතර, මේ එම අපූර්ව කුරු අලි යුවළ ගැන ​තොරතුරු විමසා බැලීමකි.

සද්දන්ත කුලයේ වුවත් මේ කියන සද්දන්තයා සද්දන්ත සිරුරකට උරුමකම් කියන්නකු නොවේ. කඳ බඩ මහතට ඇතත් කොට කකුල් නිසා ඒ පෙනුමේද විශේෂත්වයක් ඇත. අපි කියන්නට යන්නේ කවුරුන් ගැනද යන්න දැනටමත් ඔබ අනුමාන කළා විය හැකිය. වළවේ කොටා, එසේත් නැත්නම්, උඩවලව වනෝද්‍යානය හැඩ කරන ආසියාවේ එකම සජීවී කුරු අලියා යැයි සැලකෙන්නේ මෙම අලියායි.

මුල්වරට වලවේ කොටා දර්ශනය වී තිබුණේ 2013 වසරේදී උඩවලව උද්‍යානයේ දං ගහ වැවට ආසන්නයේදීය. ඒ උඩවලව අලි පර්‌යේෂණ ව්‍යාපෘතියේ නිලධාරියකු ඇටවූ කැමරාවක කුරු අලියා සටහන් වීමත් සමගයි. එම සුවිශේෂි ඡායාරූප දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ඇස ගැටුණේ ලංකාවේ සොබා සෞන්දර්යයේ අපූර්ව ලක්ෂණ තවදුරටත් ලෝකය වෙත ගෙන යමිනි.

වළවේ කොටාගේ පළමු සේයාරුවේ හිමිකරුවා වන උඩවලව අලි පර්‌යේෂණ ව්‍යාපෘතියේ යූ. සමීර වීරතුංග කීවේ මෙවැන්නකි.

‘‘2013 ජූලි මාසේ තමයි කුරු අලියාගේ පළමු ඡායාරූපය ගත්තේ. පස්සේ ඒක ප්‍රසිද්ධ කළා. දෙස් විදෙස් බොහෝ දෙනෙක් මේ කුරු අලියව බලන්න උඩවලවට එන්න ගත්තා. අපි මෙයාව වළවේ කොටා කියලයි නම් කළේ. M459 විදිහටත් එයාව හඳුන්වනවා. 2013 ඉඳන් 2018 වෙනකම් හැම අවුරුද්දකම මැයි ජුනි ජූලි මාසවල අපි මේ සත්ත්වයා නිරීක්ෂණය කළා. ඒත් 2019 අවුරුද්දේ අපි මෙයාව දැක්කේ නෑ.’’

හිටි හැටියේම වළවේ කොටා කොහි සැඟවුණිදැයි ඔවුහු සොයා බලන්නට වූහ. වළවේ කොටා පැමිණෙතැයි අනුමාන කළ සියලු පාරවල් නිරීක්ෂණය කළ ද ඌ හමුවූයේ නැත. එහෙත් මේ හෙවිල්ල නතර කරන්නට නොහැකිය. මත්තල, අන්දරවැව, මීගහජදුර, කුමරගම, මීගස්වැව, දෙමොදර වගේම ගල්කටුකන්ද දක්වාත් ඒ සොයාබැලීම් විහිදුණි. එහිදී කැමරා උගුල් (Camera traps) මගින් දිවා රාත්‍රී දෙකෙහිම එම නිරීක්ෂණ සිදු වුණි. ඊට කැලෑව අභ්‍යන්තරයේ වගා කටයුතුවල නියැළෙන ගොවි මහත්වරුන්ගේ සහායද ලබා ගත්තේය.

‘‘මේ කියන විදිහේ අලියෙක් මේ වටපිටාවේ තියෙන නීත්‍යානුකූලව ගැසට් නොකරපු ගොවිබිම් ආසන්නයේ ඉන්නා බවට හෝඩුවාවක් ලැබුණා. ඔවුන් කියපු මග ඔස්සේ යමින් අපි හැම ගමකම කැමරා උගුල් එල්ලුවා. සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්. වළවේ කොටා වෙනුවට අපට හම්බවුණේ ඒ වගේම කෙණෙරක්. එයත් කුරුයි. මුලදි ඒ ගැන අපට හිතා ගන්න බැරි වුණත් එයා, කිහිප වතාවක් අපේ කැමරා උගුලේ සටහන් වුණා. තවම එයාව පියවි ඇසින් දැක්කෙ නැහැ. ඒත් මේ සොයා ගැනීම ගැන අපිට දැනුණේ ​ලොකු සතුටක්.’’

මෙතුවක් කල් සිතා සිටියේ කුරු අලියෙක් පමණක් අපට ඇතැයි කියා නමුත් දැන් කුරු කෙණෙරකද ඇති බව ඔවුහු පවසති.

අනතුරුව කුරු කෙණෙර ගිය පාරේම ඔවුන් තවත් ටික දිනකට පසු දකින්නේ ඔවුන් සොයමින් සිටි වළවේ කොටායි. එම අපූරු දර්ශනයත් සමග මෙතෙක් ඔවුන් සිත පෙළුෑ වළවේ කොටා ගැන සැක සංකා දුරුව යන්නේ සැනෙකිනි. කුරු කෙණෙර ගිය මගම, ඒ කැමරාවේම දැන් කුරු අලියාද සටහන්ව ඇත.

‘‘කාලය විතරක් වෙනස් වුණත් දෙන්නම එකම පාරේ එකම තැනින් යනවා. හරිම පුදුමයි. එකෙක් යන මග හොයන්න ගිහින් එකම විදියේ දෙන්නෙක් එක මගක හමු වෙනවා. හැමෝම වළවේ කොටා බලන්න එනවා. ෆොටෝ ගහනවා. ලෝකෙට පෙන්නනවා.

ඒ වගේම කැලේට වඩා මේ දෙන්නාම පිට පරිවාර වනාන්තරවල වගේම කොරිඩෝව ආසන්නයේ වැව්වලට නිතර යනවා එනවා. මේ ඉන්නෙ අපිට තියෙන මිල කළ නොහැකි සම්පත් දෙකක්. එයාලට නීතිමය කැලෑව මොකක්ද නීතිමය නොවන කැලෑව මොකක්ද කියල වැඩක් නෑ. මොවුන් යන මග ආරක්ෂා වන නිවැරැදි වැඩපිළිවෙළක් අදටත් මෙහි නෑ. කනගාටුවට කරුණ නම් කළු කොටියා මැරුණා. දුක් වුණා. පෝස්ට් ලිව්ව එච්චරයි. ඒත් අකාලයේ අපට අහිමි වන මේ සොඳුරු වන සත්ත්ව සම්පත ආරක්ෂා කර ගැනීමට බලධාරීන්ගේ ඇස් කන් ඇරෙන්න ඕන.’’

කළ යුතු එකම දේ නම් ජාතික වන උයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරයට සියලුම පරිවාර වනාන්තරයන් එකතු කර නිවැරැදිව වන සතුන් හුවමාරු වන මංතීරු නිර්මාණය කිරීමයි. දැනට ඉතිරිව ඇති එකම කොරිඩෝ කිහිපයත් නීති මාලාවකට යටත් කොට පවත්වාගෙන යාම වැදගත් බව උඩවලව අලි පර්‌යේෂණ ව්‍යාපෘතියේ යූ. සමීර වීරතුංග පැවසීය.

2019 උඩවලවට නොපැමිණි වළවේ කොටා මේ වර්ෂයේදී දැක තිබුණේ හිරූෂ හන්සක නමැති සෆාරි රියැදුරෙකි. ඒ ජුනි 17 වනදාය. ඔහු වළව කොටාගේ ඡායාරූප කිහිපයක්ද එදා ගෙන තිබිණි. ඒ ඡායාරූපවල සිටින වළවේ කොටාගේ ඇඟ පුරාම වෙඩි පහරවල සලකුණු දක්නට ලැබිණි. එයින් පසක් වන්නේ වළව කොටාගේ ජීවිතයට ඇති අවදානමය.

‘‘කොරෝනා නිසා මාස තුනක් පාර්ක් එක වහල තිබුණා. පාර්ක් එක ඇරලා දවස් දෙකකට පස්සේ ජුනි 17 වැනිදා මම ගියා පාර්ක් එක ඇතුළට. එතකොට තමයි මම කොටාව දැක්කේ. ඉන් පස්සේ මම ෆොටෝ දෙක තුනක් අර ගත්තා. හැබැයි එයාගේ ඇඟ පුරාම පරණ වෙඩි පාරවල් තිබ්බා වනජීවී එකටත් කිව්වා. මේ අලියා තමයි දැනට ජීවමානව දකින්න පුළුවන් එකම කුරු අලියා. වළවේ කොටා විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න අලි අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේ වෙද්දි වනසතුන්ට කිසිදු ආරක්ෂාවක් නෑ. මිනිස්සු කැලෑ කපනවා. අපි ඔවුන්ව මිනිසුන්ට පෙන්නලා ජීවත් වෙනවා වගේම අපි හැමෝම වන අලින්ව රැකගන්න ඕනේ.

උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක කැලුම් අබේරත්න මහතාගෙන් ද අප වළවේ කොටා ගැන විමසුවෙමු.

‘‘මුලදි හොයා ගන්නකොටම මෙයාගේ ඇඟේ වෙඩි පැල්ලම් තිබුණා. ඒවාට ප්‍රතිකාර කළා. මෙයා මඳ කිපෙන කාලයට ජුනි, ජූලි, අගෝස්තු වගේ කාලවල අප්‍රේල්වලටත් උඩවලවේ තියෙන පොඩි පොඩි වනාන්තරවල මෙයා දක්නට ලැබුණ. ඊට පස්සේ එයා 2019 ආවේ නෑ.

හැබැයි මේ ළඟදි අපේ කැමරාවල සටහන් වෙලා තිබ්බා කුරු කෙණෙරක් ගැන හැබැයි අපිට ජීවමානව දකින්න පුළුවන් වෙන්නේ කොටා විතරයි. මෙයාලට කුරු අලි කිව්වට මෙහෙම වෙලා තියෙන්නේ ජාන විකෘතියක් හින්ද. ලෝකේම මෙහෙම කුරු අලි හඳුනගෙන ඉන්නේ මේ උඩවලවේ ඉන්න දෙන්නා විතරයි. ඒ දෙන්නා ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ගැන අපි දිගටම නිරීක්ෂණය කරනවා.’’

අපේ රටේ කුරු අලි ගැන කතාව වරින් වර මතුව එන්නකි. වරක් සිරිපාදේ කුරු අලි සිටිනා බවට කතාවක්ද පැතිරිණි. සිරිපාදේ කුරු අලි සිටියත් ඔවුන් පෙනෙන්නට එන්නේ නෑ යැයි ඇති මතිමතාන්තර ද තිබේ. කුරු අලි බලන්නට ගොස් සිරිපාද රක්ෂිතයේ අතරමංවූවන් ගැනද තොරතුරු පසුගිය කාලයේ වාර්තා විණි.

අප්‍රිකානු අලියා, ආසියාතික අලියා ලෙස උප වර්ගවලට අයත් සතුන් කොටස් කිහිපයකි. ඔවුන්ගේ උස ප්‍රමාණ විවිධය. වළවේ කොටාගේ උස අඩි හතරකි. පිටුපස පාදවල උස අඩි දෙකහමාරකි. සාමාන්‍ය අලි​ෙයකු අඩි අටක් නවයක් උසය

වළවේ කොටා කුරු අලියකු වුවත් කුරු අලි කියා වෙනම විශේෂයක් ලංකාවේ නැති බවද අප මතක තබා ගත යුතුය. මෙහි සිටිනුයේ ආසියානු අලින්ය. එනම් Elephas maximus හා ලංකාවට පමණක්ම ආවේණික උප විශේෂයක් වන Elephas Maximas Maximus යන විශේෂයයි. කෙසේ නමුත් කුරු බවේ තවත් ප්‍රධාන ආකාරයක් වන්නේ Proportionate dwarfismය. එහිදී අප පෙර කීවාක් මෙන් අවයවවල අසමානතාවක් නැත. සාමාන්‍ය සත්ත්වයාම ශරීර ප්‍රමාණයෙන් පමණක් කුඩාය. එම කුරු බවට හේතු වන්නේ, පරිසරයට අනුගත වෙමින් කුඩා ශරීරයකට හිමිකම් කීමයි. මෝල්ටාව, සපිප්‍රසය, සිසිලිය, සාර්ඩීනියාව, ඩොඩෙකතීස් දූපත් ආදියෙන් එවන් කුරු අලින්ගේ පොසිල වාර්තා ලැබී තිබේ. එහෙත් වළවේ කොටා මීට වෙනස්ය.

ඒ නිසාම අප රටේ සංචාරක කර්මාන්තයට මෙම වළවේ කොටා, මෙන්ම කුරු කෙණෙරද මහඟු ආයෝජනයක් වනු ඇත. එය ආයෝජනයක් කරගන්නට නම් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස වගකිවයුතු බලධාරීන් අවශ්‍ය ලෙස කටයුතු කළ යුතුය. ඔවුන්ගේ වනපෙත් ආරක්ෂා කළ යුතුය.

වළවේ කොටාගේ සිරුරේ දිස්වන වෙඩි සලකුණු කියාපාන්නේ එම සත්ත්වයන්ට ඇති ජීවිත අවදානමය. දුර්ලභ වන සත්ත්වයකු ලෙස සැලකුණු කළු කොටියාද මිනිස් උගුල් නිසා අද ජීවතුන් අතර නැත. අපේ රටේ කුරු අලි යුවල එතරම් අවාසනාවන්ත නොකරන්නට බලධාරීන් වගබලා ගත යුතු නොවේද?