Hela Rahas

Hela Rahas Official Web Portal

ලංකාවේ නම ගිය මඩුවන්වෙල වලව්ව

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි. නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස” නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ.

තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර “පහන්පවුර “නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.

වලව්වේ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ සංස්කරණය

ගල් දොරටුව ඇතුළු තවත් අංග කිහිපයක්-මඩුවන්වෙල වලව්ව ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි නිර්මාණකරුවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාව නිසාමය. වලව්වේ සෑම බිම් අඟලක් පාසාම එම කුසලතාව ප්‍රකට වේ. ඒ අතර විශිෂ්ටතම නිර්මාණ රැසකි. ඒ සියල්ලම එක හා සමාන වැදගත්කමක් උසුලන අතර වර්තමාන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත. ඉතා විශාල වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ඉන් ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි.ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබේ.

ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මෙම ඡායාරූපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. රටේ මහත්තයාගේ ඡායාරූපය පසෙක ඔහුගේ දෙවන බිරිඳ වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයක් දක්නට ලැබේ. මීට අමතරව මහ බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන්තාලියක් , කළු ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් පමණි.

මහ බංගලාව නම් ශාලාව අසල පිහිටි පුංචි බංගලාව නම් ශාලාවේ කටුවන ලන්දේසි බලකොටුවට පහරදී ගෙන ආ දොර උළුවස්ස සවි කර ඇත. උළුවහු කඳන්වල බොරදම් දක්නට ලැබෙන අතර දොර තනි කොස් ලීයෙන් සැදුවකි. එය අඩි තුනක් පමණ පළල අතර අඟල් දෙක හමාරක් පමණ ඝනකමින් යුතුය. මෙම පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කර ඇති අතර සතරවට විසිතුරු ආවරණයෙන් යුතුය. මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක්ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ඉස්තෝප්පුවල ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි. සියලු තැන්වලට යොදා ඇති ලී පරාල මනාව යතු ගා ඇත.

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවයි.නිල් වීදුරු කවුළු,බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීමයි.(මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේද වික්ටෝරියා රැජිනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම පයට පෑගෙන ලෙස අතුරා ඇත)ඒ තුළින් මඩුවන්වෙල දිසාවේගේ අදීන සිංහල හදවත හා ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව පිළිකුල් කළ ආකාරය හෙළිවන බව සමහර විද්වතුන්ගේ මතය වේ.

වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු(වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත.අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි.සිංහල ජනතාව වාරි කර්මාන්තයේ ලා දැක්වු අමිල නිපුනපාව ප්‍රකට කරමින් මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ සකස් කළ මනා ජලවහන පද්ධතියක්ද තිබු බවට සාධක අදටත් දෘෂ්‍යමානය.

මඩුවන්වෙල වලව්වේ තිබෙන කාමර අතර බුරුත මාලිගයට නම් කාමරයට වැදගත් තැනක් හිමිවේ.මුළුමනින්ම පාහේ බුරුත ලීයෙන් නිමවා ඇති ඇත්දත්ඇණ අල්වා,කළුවර ලීස්තර කැටයමින් සරසා ජනෙල්වලට වීදුරු සවි කර ඇත.සුදු නිලධාරින් සමඟ සාකච්ඡා කිරීම් ආදිය සඳහා මෙම කාමරය භාවිතා කළ බව කියවේ.බුරුත ලී සොල්දර තට්ටුව යට කාමරය මිනිරම් කපරාරු කර හුණු පිරියම් කර ශිත කාමරයක් ලෙස සකස් කර ඇත.එය ශිත දේශගුණයට හුරුවු සුදු නිලධාරින්ගේ සුව පහසුව සඳහා භාවිතා කර ඇත.

කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරයද වලව්වේ තවත් අපුරු අංගයකි.ඒ අසල ඇත්තේ ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි.දිසාවේගේ සයනාගාරය ලෙස භාවිතා කළ කොටස සතර වටින් අගුල් දැමිය හැකි මැද මිදුලක් අයිනේ වු ආලින්දයකි. එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත.සයනාගාරයේ දොරටුව අසල තුවක්කුව, කඩුව හා සැරයටිය තැබිය හැකි රහස් පෙට්ටියක් විය. සයනාගාරයට යාබදව ආයුධ ගබඩාව තිබු අතර කටුවන ලන්දෙසි බලකොටුවට පහර දී ගෙන ආ කාලතුවක්කු දෙකද එහි වු බව කියවේ. ආයුධ ගබඩාව ආසන්නයේ රට බීම ගබඩාවක් ද තිබුණි. දිසාවේගේ සයනාගරයට අලලා තවත් පසෙක කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය දක්නට ලැබේ.

වලව්වේ විසු රදළ පිරිසගේ කෑම කාමරය හා මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ දක්නට ලැබෙන අතර කුමාරිහාමිලාගේ නාන කාමර වලව්වේ පිටුපස කොටසේ තිබී ඇත.