Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයෙන් අතුරුදහන් උන මිනිසුන්

විවිධාකාරයෙන් මිනිසුන් අතුරුදහන් වීමේ සිද්ධි, අතීතයේ පටන් වරින් වර අපට අසන්නට ලැබී තිබෙනවා. කවුරුන් විසින් හෝ පැහැරගෙන ගියාද එසේ නැත්නම් වෙනත් දෙයක්ද යන්න පැහැදිලි කළ නොහැකි ආකාරයෙන්, ඔවුන් අතුරුදහන් වූ කාලයේ වගේම අනාගත පරම්පරා වලටත් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කරගත නොහැකි ගැටලුවක් ඉතිරි කරමින් මිනිසුන් හිටි ගමන් අතුරුදහන් වී ලෝකයම පුදුම කල අවස්ථා 14ක්‌ අපි මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.

01.අමේලියා ඉයර්හාර්ට්.

ලෝකය වටා ගමන් කරමින් සිටි ගුවන් නියමු අමේලියා ඉයර්හාර්ට් සහ ඔහුගේ සහායක ෆ්‍රෙඩ් නූනන් ට සිදුවූයේ කුමක්දැයි අද වනතුරු කිසිවෙකු දන්නේ නැහැ. ලෝකය වටා තමන්ගේ ගුවන් යානය පදවමින් සිටි ඔවුන් 1937 ජූලි 2 දින පැසිෆික් සාගරයේදි අතුරුදහන්වී ගියේ, ඇයගේ, ඇගේ සහායකයාගේ සහ ගුවන් යානයේ සේයාවක්වත් කිසිවෙකුට සොයා ගැනීමට ඉඩ නොතබමිනි.

ඇතැමුන් පවසන්නේ ඔවුන්ගේ යානයේ ඉන්ධන අවසන් වී පැසිපික් සාගරයට කඩා වැටුණු බවයි. කෙසේ නමුත්, කිසිසේත් විය නොහැකි ඒවායේ සිට තරමක් දුරට සිදුවිය හැකි ඒවා දක්වා, විවිධ කුමන්ත්‍රණයන් පිළිබඳ මතයන්ද ඔවුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධව කියැවෙනවා. මෑතකදී ප්‍රසිද්ධියට පත්වූ අනෙක් මතයට හේතු වුණේ ජාතික ලේඛනාගාරයෙන් හමුවූ ඡායාරූපයකි. එහි අමේලියා සහ ඔහුගේ සහායකයා මෙන් පෙනෙන මිනිසුන් දෙදෙනෙක් සායිපෑන් දූපතේ වෙරළට ඔබ්බෙන් පිහිටි නැව් තටාංගනයක සිටිනු දක්නට ලැබෙනවා. ඒ අනුව ඇතමුන් විශ්වාස කලේ ජපන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි බවයි. කෙසේ නමුත් ජපන් හමුදාව විසින් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටියා.

02.ඈන් මරී ෆැහේ.

ඇත්ත වශයෙන්ම ඈන්ගේ අතුරුදහන්වීම පිළිබඳ අබිරහස විසඳුණත් ඇගේ සිරුර කිසිදා සොයා ගැනීමට හැකි වුණේ නැහැ. 1996දී ඈන් හිටිවනම අතුරුදහන් වන විට ඇගේ වයස අවුරුදු 30ක් වූ අතර, ඉන් අවුරුදු තුනකට පසු 1999 දී, ඒ වන විට විවාහක ඇගේ පෙම්වතා වූ නීතිඥ තෝමස් කැපානෝව අත්අඩංගුවට ගත්තා. ඈන් විසින් ඔවුන්ගේ සම්බන්ධය නැවැත්වීමට යාමේදී තෝමස් ඇයට වෙඩි තබා, ඇගේ සිරුර අත්ලාන්තික් සාගරයට දැමූ බවයි කියවෙන්නේ.

තෝමස්ගේ සහෝදරයන් දෙදෙනාම මිනීමැරුම සම්බන්ධ සාක්ෂි සැඟවීමට ඔහුට උපකාර කළ බව පිළිගත් අතර, එයින් එක් අයෙක්‌ මළ සිරුර සැඟවීමට උපකාර කළ බවද පිළිගන්නා ලදී. අවසානයේ ඔහුගේ සහෝදරයන් දෙදෙනාම ඔහුට විරුද්ධව සාක්ෂි දුන් අතර තෝමස්ගේ තවත් පෙම්වතියක් ඔහුට ගිනි අවියක් මිලදී ගැනීමට උපකාර කළ බවට පිළිගත්තා. ඈන්ගේ මරණයට තෝමස් වැරදිකරු වූ අතර ඔහුට මරණ දඬුවම හිමි වුණත් පසුව එය වෙනස් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන ලදී. 2011 දී තෝමස් බන්ධනාගාරයේදී මිය යන ලදී.

03.මවුරා මුරේ.

2004දී අතුරුදහන් වන විට මුරේ 21 හැවිරිදි වූවාය. ඒ වනවිට ඇය ඇම්හර්ස්ට් හි මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ හෙද සිසුවියක් වූ අතර, පවුලේ මරණයක් සිදුවීම නිසා ඉදිරි සතිය තුල අධ්‍යන කටයුතු සඳහා සහභාගි විය නොහැකි බව ඇගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වෙත විද්‍යුත් තැපෑලෙන් දන්වා තිබුණත්, ඇගේ පවුලේ එවන් කිසිදු මරණයක් සිදු වී තිබුනේ නැහැ. ඇය අවසන් වරට දක්නට ලැබුනේ බස් රථ රියදුරෙක්ටයි. ඒ ඇගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන තිබියදී ඇය ඒ අසල සිටින විටයි.

බස්රථ රියදුරු එතැන නවත්වා ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වුණත්, ඇය ඔහුට පවසා තිබෙන්නේ තමා ඒ වනවිටත් උපකාර සඳහා කතා කර ඇති බවයි. කෙසේ නමුත් නිවසට පැමිණි බස් රථ රියදුරුට අමුත්තක් දැනුණු බැවින් ඔහු පොලිසියට දුරකථන ඇමතුමක් දී ඇති අතර, ඔවුන් එතනට පැමිණෙන විට මුරේ ගේ සේයාවක් සොයා ගැනීමට නොහැකි වී තිබිණි. ඇය වනයේ අතරමංව දරුණු සතෙකුට ගොදුරු වන්නට ඇතිබව, ඇතුළු විවිධාකාරයේ මත ඇගේ අතුරුදහන් වීම හා සම්බන්ධව පළ වුණත්, ඒ කිසිදු මතයක් තහවුරු වී නොමැති අතර එදා සිට අද දක්වා ඇයට සිදුවූයේ කුමක්දැයි දන්නා කිසිවෙකුද හමුවී නැත.

04.නැටලි හොලොවේ.

පාසල් අධ්‍යාපනය හමාර කළ අලුත, 2005දී අරූබා වෙත පාසලෙන් ගිය විනෝද චාරිකාවකදී ඇය අතුරුදහන් වීමත් සමග, වසර ගණනාවක් තිස්සේ එම අතුරුදහන්වීම දෙස් විදෙස් මාධ්‍ය කැළඹීමට සමත් වුනා. චාරිකාව අවසන් වී නැවත ඇමෙරිකාවට පැමිණීමට නියමිතව තිබූ දිනයට කලින් දා රාත්‍රියේ අරූබා හි සමාජශාලාවක් පිටතදී ඇය අවසන් වරට දක්නා ලදී. නැවත පැමිණෙන ගුවන් යානයෙන් ගමන් කිරීමට පාසලේ සගයන් අතර ඇය නොමැති වූ විට ඇගේ දෙමව්පියන්ට ඇය අතුරුදහන් වී ඇති බව පාසලෙන් දන්වා තිබුනා. දින කිහිපයකින් වහාම හොලොවේ පවුලේ සාමාජිකයන් අරූබා වෙත පැමිණ තිබුණා.

නැටලිගේ අතුරුදහන්වී හා සම්බන්ධ ප්‍රධාන සැකකරු වූයේ, ඇය අවසන් වරට දක්නා ලද අයගෙන් කෙනෙකු වූ ජොරාන් වෑන් ඩ ස්ලූට් නම් තැනැත්තායි. සිද්ධිය සම්බන්ධව ඔහු වරින් වර අත්අඩංගුවට ගත්තත් ඒ සෑම අවස්ථාවකම ඔහුව නැවත නිදහස් කිරීමට සිදුවූයේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ නිසයි. වසරෙන් වසර ස්ලූට් දුන් සාක්ෂිද ටිකෙන් ටික වෙනස් විය. මේ වනවිට වැන්ඩර් ස්ලූට් පේරුවියානු ගැහැණු ළමයෙකු වන ස්ටෙෆනි ෆ්ලොරස් ගේ මරණය සම්බන්ධයෙන් වසර 28ක සිරදඬුවමක් විඳිමින් සිටී.

05.ටාරා කැලිකෝ.

ඒ වනවිට 19 හැවිරිදි වූ ටාරා කැලිකෝ 1988 සැප්තැම්බර්හි ඇය අතුරුදහන් වූ දිනයේ බයිසිකලය රැගෙන නිවසින් පිටත් වූයේ තමා මධ්‍යහ්නය වන නිවසට පැමිණියේ නැත්නම් පොලීසියට දන්වන ලෙස තමන්ගේ මවට උපදෙස් දෙමිනි. ඇය නැවත නොපැමිණි අතර ඇයව කිසිදා සොයාගන්නට හැකි වූයේද නැත. බයිසිකලයෙන් ගමන් කරන අතරතුර ඇයව දුටු අය පවසා තිබුණේ ඇගේ පසුපසින්, ඇයට හිරිහැර කරමින් ට්‍රක් රථයක් ගමන් කළ බවත්, එය ඇගේ මිතුරන් විසින් ඇයට කරන විහිළුවක් බව ඔවුන් සිතූ බවත්ය.

ඒ කෙසේ නමුත් අවසානයේ සොයා ගැනීමට හැකි වූයේ මාර්ගයේ වැටී තිබුණු ඇගේ කැඩුණු වෝක්මන් උපකරණය පමණයි. ඇගේ අතුරුදහන් වීමෙන් වසරකට පමණ පසු, ඇය අවසන් වරට දක්නා ලද ස්ථානයෙන් සැතපුම් 1000කට පමණ එහා ෆ්ලොරිඩා හි පිහිටි රථ ගාලක ඡායාරූපයක් තිබී හමු වුනු අතර එහි දැක්වුණේ ටේප් මගින් කට අලවා සිටින ගැහැනු ළමයෙකු හා පිරිමි ළමයෙකුයි. ටාරා කැලිකෝගේ මව ඒ තමන්ගේ දියණිය බව විශ්වාස කලත්, FBI වෙත ඒ ටාරාම බව නිශ්චිත ලෙස තහවුරු කරගත හැකි වුණේ නැහැ.

බෙනිංටන් ත්‍රිකෝණයේ අභිරහස(Bennington triangle) 1920 – 1950 ත් අතර කාලයේ ග්ලැස්ටන්බරි කන්ද වටා පිහිටි, මිනිසුන් බෙනිංටන් ත්‍රිකෝණය ලෙස හඳුන්වන කුඩා වන කොටසක මිනිසුන් දහ දෙනෙකුට වඩා අතුරුදහන් වී තිබෙනවා. එම නම මුල් වරට ප්‍රසිද්ධ වූයේ ලේඛකයෙකු වූ ජෝශප් සිට්‍රෝ හරහාය. අතුරුදහන් වූ අය අතර, 1945දී සංචාරක මග පෙන්වන්නෙකු වූ මිඩී රිවර්ස්, 1946දී විශ්ව විද්‍යාල සිසුවියක් වූ පෝලා වෙල්ඩන් සහ 1950 දී අතුරුදහන් වූ 8 හැවිරිදි පෝල් ජෙප්සන් ඇතුළු බොහෝ දෙනෙක් වෙනවා. ඔවුන් එම වන කොටසේදී අතුරුදහන් වූ පසු ඔවුන්ට සිදු වූයේ කුමක් දැයි කිසිවෙකුට සොයා ගැනීමට හැකි වී නැහැ.

06.ඇමී රෝ බෙචෙල්.

1997 ජූලි 24 වන දින දුවමින් සිටින අතරතුරදී බෙචෙල් අතුරුදහන් වී තිබෙනවා. ඇගේ මෝටර් රථය ඇය නිතර භාවිතා කරන අඩි පාරක් අසල නවත්වා තිබියදී පොලීසිය විසින් සොයා ගැනුණා. ඇය දුවමින් සිටිනු දක්නා ලද මිනිසෙකු සහ එම කාරය හැරුණු කොට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ. අවුරුදු හයකට පසු ඇයට අයත්ව තිබුණා යැයි සිතිය හැකි අත් ඔරලෝසුවක් එම ප්‍රදේශයෙන් සොයාගත් නමුත් එයින් කිසිවක් තහවුරු කරගත හැකි වුණේත් නැහැ.

සිද්ධියේ ප්‍රධාන පරීක්ෂක ෂෙරිෆ් සාජන්ට් රොජර් රිසර්ට අනුව සැක කළ හැකි පුද්ගලයකු වේ නම් ඒ බෙචෙල් අතුරුදහන් වූ දින සිට “බොරු කීම් හදුනාගත හැකි පරීක්ෂණයකට(Polygraph test/ Lie detector test)” පෙනී සිටීමට අකමැති වූ ඇගේ සැමියා ස්ටීව් පමණි. ඔහු කිසිදු වරදකට හසුවී නැති අතර අතුරුදහන්වීම වන විට ඔහු එතැන නොසිටි බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි වුණත් ඔහු කිසිදු අවස්ථාවක නීති නිලධාරීන් හමු වී කථා කිරීමට හෝ ඔවුන්ට පිළිතුරු දීමට කැමති වී නැත.

07.ෂෙරී ලින් මාර්ලර්.

1984 ජුනි 6 වැනි දින දොළොස් හැවිරිදි වූ ෂෙරී, රාජකාරියක් සඳහා නගරයට ගිය තමන්ගේ සුළු පියා සමඟ ගිය අතර, ඇය සෝඩා කෑන් එකක් මිලදී ගැනීමට ඔහුගෙන් මුදල් ඉල්ලා වන සෝඩා කෑන් නිකුත් කරන යන්ත්‍රයක් වෙත ගිය අතර එය රැගෙන තමා ආපසු ට්‍රක් රථය වෙත පැමිණෙන බව පැවසූ ඇය නැවත කිසිදා පැමිණියේ නැහැ. පසුකාලීනව ඉදිරි වසරවල් තුළදී ඇය තෙවරක්ම දක්නට ලැබුණු බව පැවසුනත්, ඒ එකක්වත් හරිහැටි තහවුරු වී නැත.

08.මෝර්ගන් නික්.

ඇර්කන්සාස් හි උද්‍යානයක 1995 ජුනි 9 වැනි දින මෝර්ගන් සිය මව සමග සිටි අතර ඇය සුළු වේලාවකට ඇගෙන් වෙන් වුනේ මිතුරියන් දෙදෙනෙකු සමග කණාමැදිරියන් ඇල්ලීමට යාමටයි. අවසන් වරට ඇය දක්නට ලැබුණේ රාත්‍රී 10ට පමණ ඇගේ සපත්තුවෙන් වැලි ඉවත් කරමින් සිටියදීය. ඒ මොහොතේම වගේ රතු පැහැති රථයකින් ඇද ගෙන යනු ලබන සුදු වෑන් රථයක් දක්නට ලැබුණු අතර එය සැක සහිත විය. ඉන් දින කිහිපයකට පසු එම විස්තරයට ගැලපෙන රථයක් පැදවූ මිනිසෙකු විසින් තවත් ගැහැනු ළමුන් දෙදෙනකු පැහැරගෙන යාමට තැත් කරන ලදී. කෙසේ නමුත් මෝර්ගන්ට සිදුවූයේ කුමක්දැයි සාක්ෂි සහිතව ඔප්පු වූයේ නැත.

10.මේරි බැඩරැකෝ.

මේරි අතුරුදහන් වන විට, පැති කන්නාඩි කුඩු වූ ඇගේ මෝටර් රථය නිවස අසල නවත්වා තිබූ අතර, වාහනයේ යතුරු සහ මඟුල් මුද්ද මුළුතැන්ගෙයි කවුන්ටරය මත තිබී හමුවිය. ඒ වනවිට ඇය සහ ඇගේ සැමියා දික්කසාද වීමට සූදානමින් සිටි නිසා ඇගේ සැමියා කියාසිටියේ ඔවුන්ගේ නිවස වෙනුවට ඇය ඩොලර් ලක්ෂයක් රැගෙන පලාගොස් ඇති බවයි. ඔහු ඇය අතුරුදහන්වූ බවට පැමිණිලි කර නොතිබූ අතර මුදල් හෝ ඇය ගිය තැනක් ගැන කිසිදු සාක්ෂියක් සොයාගැනීමට හැකිවුණේද නැත. ඇගේ සැමියාට අනුව නම් ඇය තමන්ගේ රැකියාව හා දියණියන් අතහැර අලුත් ජීවිතයක් පටන් ගැනීමට ගොස් ඇත. දික්කසාද වීමට සූදානමින් සිටි නිසා ඇයට මෙසේ හිටිවනම අතුරුදහන් වීමට හේතුවක් නොමැති බැවින් ඇගේ දියණිය අතුරුදන් වීම ඝාතනයක්‌ විය හැකි බවට සැක පහළ කලා. එසේම එය එසේ විය හැකි බවට හඟවන සුළු සාක්ෂි හමු වූවත් කිසිවක් නිශ්චිත ලෙස තහවුරු කරගත හැකි වුණේ නැහැ.

11.ජෙසිකා ගුටාරෙස්.

1986 ජුනි 6 වෙනි දින දකුණු කැරෝලිනාවේදී සිව් හැවිරිදි ජෙසිකා නිදි ඇඳේදී අතුරුදහන් වී තිබිණි. ඇගේ දෙමාපියන් සහ නිලධාරීන් උමතුවෙන් මෙන් ඇය සොයන විට, ඇගේ සොහොයුරිය පොලිස් නිලධාරීන්ට කියා තිබුනේ මැජික් තොප්පියක් සහ දිගු රැවුලක් තිබුණු මිනිසෙක් ඇය රැගෙන ගිය බවයි. 2017 වන විට වසර 60ක්‌ වූ ඔවුන්ගේ මව තවමත් කියා සිටින්නේ තමාට තව වැඩි කලක් ඉතුරු වී නැති බැවින් ඇයට තමන්ගේ දියණිය කෙසේ හෝ සොයා ගැනීමට අවශ්‍ය බවයි.

12.සොඩර් පවුලේ අභිරහස.

1945 නත්තලට පෙර දින රාත්‍රියේ සොඩර් නිවස ගිනිගත් අතර එම පවුලේ දරුවන් නව දෙනාගෙන් හතර දෙනකු ඉන් බේරෙනි. ඉතිරි පස් දෙනාගේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි විය. ගින්න නිවා දමන විට නිවස සම්පූර්ණයෙන්ම වාගේ දැවී තිබුණු අතර ඉතුරු පස්දෙනා ගින්නට හසු වී මිය ගියානම් ඔවුන්ගේ සිරුරේ අස්ථි කැබැල්ලක් හෝ දතක්වත් සොයා ගැනීමට හැකි වී තිබුණේ නැහැ. එකල සිටි ගිනි නිවීමේ ප්‍රධානියා පවසා තිබුණේ අස්ථි පවා අළු කර හැරීමට තරම් ගින්න ප්‍රබල වූ බවයි.

ඔවුන්ට මරණ සහතික නිකුත් කෙරුණත් ඇතමුන් පවසන්නේ එම පවුලේ ඉතුරු පස්දෙනාගේ මරණ සංවිධානාත්මකව සිදු වූ බවත්, නිවසට ගිනි තැබීම සිතාමතා කරන ලද්දක් බවත්ය. ඔවුන්ගේ නිවසට නිරතුරුව හේත්තු කර තබන ඉනිමග පවා ඉවත් කර, සොරකම් කර තිබිණි. වසර ගණනාවකට පසු සොඩර් පවුලේ මව වූ ජෙනීට තැපෑලෙන් ලිපියක් ලැබුණු අතර එහි වූයේ ලුවිස් සොඩර් යන මාතෘකාව යටතේ, ඡායාරූපයකි. එය ගින්නෙන් මියගිය, එකල නව හැවිරිදි වූ ලුවිස්ගේ ඡායාරූපයකි. සොඩර් පවුලෙ ජීවත්ව සිටින අය තවමත් ඔවුන්ගේ සහෝදර සහෝදරියන් එදා ගින්නෙන් මියගිය බවට විශ්වාස කරන්නේ නැත.

13.D.B කූපර්.

1971 සියැටල් බලා ගමන් කළ ගුවන් යානයක සාමාන්‍ය ලෙසින් බීම පානය කරමින් සිටි D.B කූපර් නම් මිනිසෙක් ගුවන් සේවිකාවන් වෙත කුඩා තුණ්ඩුවක ලියා යැව්වේ තමාගේ බෑගයේ බෝම්බයක් ඇති බැවින් තමාට ඩොලර් 20 නෝට්ටු වලින් ඩොලර් ලක්ෂ දෙකක් අවශ්‍ය බවයි. සියැටල් වෙත ගුවන් යානය ගොඩ බැස්වූ පසු ඔහුට ඔහුගේ මුදල් ලැබුණු අතර, අනික් සියලුම මගින් ගුවන් යානයෙන් එළියට ගත් පසු ඔහු තමාව මෙක්සිකෝ නගරය වෙත ගෙන යන ලෙස නියමුවාට අණ කළේය.

නමුත් එහි දකුණු දේශසීමාවට ආසන්න වන විට ම ඔහු තමා හැඳ සිටි ඇඳුම් පිටින්ම අඩි 5000 ක් ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් බිමට පැන්නේය. එම පැනීමෙන් ඔහු ජීවත් වීමට ඉඩක් නොමැති වුණත් ඔහු සොයා පරීක්ෂණ දියත් කෙරුණා. බලාපොරොත්තු වූ ලෙසින්ම ඔහුගේ සලකුණක්වත් සොයාගැනීමට නොහැකි විය. D.B කූපර් යන නාමය ව්‍යාජ නමක් විය හැකි බවට සැක කෙරෙන අතර FBI විසින් 2016දී නිල වශයෙන් ඔහු සෙවීම අත්හැර දමන ලදී.

14.ලෝරන් ස්පියරර්.

2011 ජූනි මාසයේ දිනක, ඉන්දියානා විශ්ව විද්‍යාලයේ සිසුවියක වූ 20 හැවිරිදි ලෝරන් සිය මිතුරන් සමග විනෝද වීමට රාත්‍රියේ එලියට ගිය අතර ඉන්පසු ඇයව කිසිදා දක්නට නොලැබුණි. ඇයව අවසන් වශයෙන් දක්නට ලැබුනේ එදින පාන්දර 4.30 ට පමණ මිතුරෙකුගේ නිවසින් එලියට පැමිණ මහාමාර්ගයේ පාවහන් රහිතව ගමන් කරමින් සිටියදීය. ඇගේ අතුරුදහන් වීම වඩා සැක සහිත වන්නේ ඇය අතුරුදහන් වීමට සුළු මොහොතකට පෙර දක්වා ඇය මාර්ගයේ ඇවිදින් කල සියලූ දේවල් ආරක්‍ෂිත කැමරා වල සටහන් වී තිබීම නිසයි. ඇගේ ජංගම දුරකථනය සමාජ ශාලාවක දමා ගොස් තිබුණු අතර ඇගේ පෙම්වතාගේ කෙටි පණිවිඩ වලට එහි සේවකයෙකු පිළිතුරු සැපයීමට පටන්ගත් අතර එය සොයා ගැනීමෙන් පසු ඔහු ඇගේ අතුරුදහන්වීම ගැන පොලීසියට පැමිණිලි කර තිබුණි. කෙසේ නමුත් ලෝරන්ගේ අතුරුදහන් වීමට හේතුවක් හෝ ඒ ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට අද වන තුරුත් හැකි වී නැහැ.