Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය

මෙය පිහිටා තිබෙන්නේ , ඉන්දුනීසියාවේ මධ්‍යම ප්‍රදේශයේ යෝග් ජකර්තා නම් ප්‍රධාන නගරය ආශි‍්‍රතවයි. මේ සිද්ධස්ථානය, ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය හැටියට සලකනු ලැබේ. යෝග් ජකර්තා –ජෝග් ජකර්තා යන නම්වලින් හැඳින්වෙන නගරයට නුදුරුව පිහිටි මේ මහා බෞද්ධ සිද්ධස්ථානය, අතිශය විශිෂ්ට ලෙස නිර්මාණය වූ සුවිසල් බෞද්ධ සිද්ධස්ථානයකි. බොහෝ දෙනා විසින් මෙය හඳුන්වනු ලබන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ ගොඩනැඟිල්ල වශයෙනි.

ඉන්දියානු සාගරයේ, අප රටට නැගෙනහිරින් පිහිටි අපගේ අසල්වැසි දේශයක් වන ඉන්දුනීසියාවේ ස්ථාපිත මේ ආශ්චර්යමත් බෞද්ධ සිද්ධස්ථානය , “බොරෝ බුදුර්” සිද්ධස්ථානය “ලෝක උරුම ප්‍රදේශයක්” හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “යුනෙස්කෝ” ආයතනය විසින් ප්‍රකාශිතය.

බොරෝබුදූර් සිද්ධස්ථානය පිහිටියේ යෝග් ජකර්තා නගරයේ සිට සැතපුම් 28 ක් උතුරිනි. ඉපැරණි ඉන්දුනීසියා දේශය, වරින්වර නොයෙක් පාලකයන් යටතේ පැවතියේය. එක්කලක් ඉන්දුනීසියා දේශය ශ්‍රී විජයන් අධිරාජ්‍යයට අයත්ව තිබුණේය.මේ අධිරාජ්‍යයේ පාලකයෝ හින්දු – බෞද්ධ ආගම් දෙකටම අනුග්‍රහය දැක්වූහ.

ඉපැරණි ප්‍රවාදයකට අනුව, ශ්‍රී විජයන් අධිරාජ්‍යයට ඉන්දුනීසියාව යා කොට ගන්නා ලද්දේ ඉන්දීය නෞකා හමුදාවක් විසිනි. ඒ නෞකා ඉන්දුනීසියාව බලා යාත්‍රා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වරායවල සිටයි. ඒ නිසා ඒ නෞකා හමුදාවේ සේවය කළ යාත්‍රිකයන් අතර සිංහලයෝද සිටිය යැයි පැරණි කථාවල සඳහන් වේ.

ශ්‍රී විජයන් අධිරාජ්‍යයේ පාලන සමය සේ, එක් යුගයකදී සයිලේන්ද්‍ර නම් පෙළපතකට අයත් පාලකයෝ බලයෙහි සිටියහ. ඉන්දුනීසියාවේ බොරෝබුදූර් සිද්ධස්ථානය ගොඩනංවන ලද්දේ සමරතුංග නම් වූ සයිලේන්ද්‍ර පෙළපතේ රජු විසිනි.

මේ අති සංකීර්ණ බෞද්ධ සිද්ධස්ථානය, තනා නිමකරන ලදදේ ක්‍රිස්තු වර්ෂ 825 දීය. ඒ නිසා මේ මහා සිද්ධස්ථානය වයස අවුරුදු 1200 ක් පමණ වන්නේය.

බොරෝබුදූර් සිද්ධස්ථානය සහමුලින්ම තැනී තිබෙන්නේ ඇන්ඩිසිට් නම් ගල් වර්ගයෙනි. දුඹුරු පැහැයට හුරු මේ ගල්වර්ගය ගිනිකඳු පිපිරීම් නිසා හටගන්නා ලෝදිය, ඒක ඝනවීමෙන් තැනෙන පාෂාණ විශේෂයකි.

බොරෝබුදූර් සිද්ධස්ථානය තැනීම සඳහා මේ වර්ගයේ ගල් ඝන යාර 72,000 ක් භාවිත කෙරුණේය.

බොරෝබුදූර් නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයක් ඇත්තේය. නිසි ප්‍රමාණයට කපා ගන්නා ලද ගල්පුවරු එකිනෙක හා සමඟ සම්බන්ධකොට තිබෙන්නේ බදාමකින් නොවේ. ගල් දෙකක් එකිනෙක හා පුරුද්දා තිබෙන්නේ “කත්තුමල්ලිය” ක්‍රමයටයි. එක ගලක සිදුරට, අනික් ගලේ නෙරාගිය කොටස වද්දවා ඇත්තේය.

බොරෝබුදූර් සිද්ධස්ථානයට යන බැතිමත්හු වට තුනක් ඔස්සේ ඉහළම මාලයට ගමන් ගනිති. මේ ගමන ඉතා ක්‍රමවත්ය. මේ සිද්ධස්ථානයේ “මාල” (තට්ටු) සකස්කොට තිබෙන්නේ ගැඹුරු බෞද්ධ දර්ශනයට අනුවයි. වන්දනාවේ යෙදෙන බැතිමතා, සිය පූජනීය ගමන ආරම්භ කරන්නෙ බිම්මාලයෙනි. ඒ බිම්මාලයෙන් නිරූපණය වන්නේ කාම ලෝකයයි. ලෞකික ක්‍රියාදාමයයි. ඒ මාලය නම් කෙරෙන්නේ “කාම ධාතු” මාලය වශයෙනි.

අනුක්‍රමයෙන්, වන්දනා කාර බැතිමතා, ඉහලට නගින්නේය. ඒ නඟින්නේ ප්‍රදක්ෂිණා ක්‍රමයටයි. හැම විටම, සිය සිරුරේ දකුණූ පැත්ත සිද්ධස්ථානයේ පූජනීය වස්තුවලට හැරී තිබෙන සේ ගමන් කළ යුතුවේ.

එසේ පියගැට පෙළ නගිමින් ගමන් ගන්නා බැතිමතාට, විවිධ රූප නෙළන ලද ගල්බිතු දැකිය හැකිය. ඒ නෙළන ලද රූපවලින් දැක්වෙන්නේ බුද්ධ චරිතයේ සිද්ධි සහ ජාතක කථාවල කොටස්ය. ගල්බිතුවල සහ ගල්වැටවල නෙළා තිබෙන රූප සංඛ්‍යාව 1460 කටත් වැඩිය. මුළු ලෝකයේම ඉතා විශාල ප්‍රමාණයක් ගල්කැටයම් තිබෙන්නේ බොරෝබුදූර් සිද්ධස්ථානයේය.

“කාමධාතු තලය” ඉක්මවා තවත් ඉහළට නඟින බැතිමතුන්ට හමුවන්නේ “රූපධාතු” තලයයි. උඩට නඟින්නට නඟින්නට පියගැට පේළි පටුවෙයි. බිම් මට්ටමේදී ඉතා පුළුල්ව තිබෙන ගොඩනැඟිල්ල ඉහළට යත් යත්ම පටුවෙයි. ඉහළම තලය ස්තූපයක කොත වැනිය.

කාම ධාතු තලයට අයත් කොටසෙහිත් රූපධාතු තලයට අයත් කොටසෙහිත් ගලින් කළ ස්තූප ඇත්තේය මේ ස්තූප තනා තිබෙන්නේ ඒවා ඇතුලේ තැන්පත්කොට තිබෙන බුද්ධ රූප පෙනෙන ආකාරයෙනි.

ගොඩනැඟිල්ල මුදුනේ තිබෙන්නේ”අරූප ධාතු” තලයයි. එය මුදුනේ ගලින්කළ ස්තූපයක් වෙයි. එය ඝන ගලින් කළ නිර්මාණයකි. එහි ඇතුළත තිබෙන දේ දැකිය නොහැකියි.

ඒ විනිවිද නොපෙනෙන ස්තූපය “නිර්මාණයේ” මූර්තියකි.
ඒ නිසා, වන්දනා කාර සැදැහැවතුන් බිම් මාලයේ සිට ඉහළම මාලයට යන විට ඒ පූජනීය ගමන ලෞකික තත්වයේ සිට ලෝකෝත්තර තත්වය දක්වා සංචාරයේ යෙදීමක් වැනිය.

මෙවැනි වන්දනා ගමනක්, ලෝකයේ වෙන අන් කිසි බෞද්ධ සිද්ධස්ථානයක ලද හැකි නොවන්නේය. වන්දනාවේ යෙදෙන බැතිමත්හු බිම්මාලයේ සිට, උස්ම තලයට නඟිනවිට ඒ සංචාරය ලෞකිකත්වයේ සිට නිර්වාණ තලයට සම්ප්‍රාප්ත වීමක් වැනි වෙයි.

බොරෝබුදූර් සිද්ධස්ථානය ආශි‍්‍රතව ඉතා සිත්ගන්නා කථාවක් වෙයි. මේ ආශ්චර්යමත් මහා සිද්ධස්ථානය සැලසුම්කොට තනන ලද්දේ, ගෘහ සහ සිද්ධස්ථාන නිර්මාණශීලි ගුණධර්ම නම් විද්‍යාඥයා විසිනි.

බොරෝ බුදූර් සිද්ධස්ථානයට නුදුරුව පර්වතයක් වෙයි. එහි එක් විශාල ගල්කුළක් පෙනෙන්නේ උඩ බලාගෙන සිටින මහා යෝධයෙකුගේ මුහුණ මෙනි. ජනප්‍රවාදයට අනුව,ඒ බොරෝබුදූර් සිද්ධස්ථානය තැනු ගුණධර්මයේ රූපයයි. තමා විසින් කරන ලද මහා නිර්මාණය මරණින් පසුවත් බලා සිටිය හැකිවනු පිණිස ඔහු ගල් කුළක්ව උපන්නේ යැයිද, මේ ගල් රුවේ දැක්වෙන්නේ ඒ ගුණධර්ම නම් විද්‍යාඥයා යැයිද ඔහු එසේ වැතිර සිටගෙන, සදා කල්හිම “බොරෝබුදූර්” සිද්ධස්ථානය රැක ගන්නේ යැයිද,ජන ප්‍රවාදයෙන් කියවෙයි.

බොරෝබුදුර් සිද්ධස්ථානය වටා පර්වත පේළි කිහිපයක් විහිදෙයි. “මෙරපි” නම් ගිනිකන්ද ඉන් එකකි. දැනටත් ඒ ගිනිකන්ද ඉඳහිට පුපුරා යන්නේය.

සමරතුංග රජු විසින් තනවන ලද,බොරෝබුදුර් සිද්ධස්ථානය , කලක් යහතින් වැජඹුණේය.එහෙත්, එය වරින්වර ගිනිකඳුවලින් නිකුත්වන අළුවලින් වැසී ගියේය. එහෙත් ඒ පුරාවස්තුව රැක ගන්නා පිණිස වෙහෙස ගත් මිනිස්සු, එක්රැස්වූ අළුගොඩවල් ඉවත්කොට සිද්ධස්ථානය රැකගත්හ. එහෙත් පසුකලෙක එය ගිනිකදු අළුවලින් සහ මහ ඝන වනගහණයෙන් වැසී ගියේය.

බොරෝබුදූර් සිද්ධස්ථානයේ ස්වර්ණ යුගයේදී එහි බුද්ධ ප්‍රතිමා 504 ක් තිබිණි.

පරිහානියට පත්වු බොරෝබුදූර් සිද්ධස්ථානය, ලන්දේසි – බ්‍රිතාන්‍ය පාලන යුගවලදී වරින්වර ප්‍රතිසංස්කරණය කොට, පුනරුත්ථාපනයට පත් කෙරිනි.

එහෙත් ඒ සිද්ධස්ථානය,අතිශය නවීන ක්‍රම මගින්, සුවිශිෂ්ට ආකාරයෙන් පුනරුත්ථාපනය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ ඉන්දුනීසියා රජයේත් සහයෝගයෙනි. මේ සහයෝගීතාවයෙන් බොරෝබුදූර්හි දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආරම්භ වූයේ 1975 දීය. එහි පුරෝගාමී විද්‍යාඥයා වූයේ ඉන්දුනීදසියාවේ පුරාවිද්‍යා සේවයේ ප්‍රධාන මහාචාර්ය සෝචික්මෝනෝ මහතාය.මේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා “අයිබීඑම්” ඇමෙරිකානු ආයතනයේ පරිගණක යන්ත්‍රය භාවිතා කෙරිණි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසුව බොරෝ බුදූර් සිද්ධස්ථානය “ජගත් සංස්කෘතික උරුමයක්” වශයෙන් යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දේ 1991 දීය.

එතැන් පටන් බොරෝබුදූර් සිද්ධස්ථානය අතිශයින්ම ජනකාන්ත සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත්තේය.