Hela Rahas

Hela Rahas Official Web Portal

විවිධ රටවල අමුතු සිරිත්

ලෝකයේ විවිධ රටවල, ඒ ඒ රටවලට ආවේනික වූ පුරුදු සහ සිරිත් තිබෙනවා. ඇතැම්විට සාප්පු සවාරියේ යෙදීම, ආහාර ගැනීම ආදි සාමාන්‍යය දේවල් වලදී පවා අනුගමනය කෙරෙන පුරුදු රටින් රටට වෙනස් විය හැකියි. එක් රටක සාමාන්‍ය දෙයක් ලෙස සැලකෙන පුරුද්දක් තවත් රටක අපහාසයක් හෝ නොමනා හැසිරීමක් ලෙස හෝ සැලකෙන අවස්ථා තිබෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් කියන්නේ ඒ ආකාරයෙන් ඔබව පුදුමයට පත් කළ හැකි විවිධ රටවල අනුගමනය කෙරෙන පුරුදු කිහිපයක් ගැනයි.

සන්තෝෂම් ලබා දීම. ඔබ සිටිනා රට අනූව සේවකයන් හට සන්තෝෂම් ලබාදීම ඔබගෙන් කරුණාවන්තකමේ සංකේතයක් ලෙස හෝ ඔවුන්ට කල අපහාසයක් ලෙස හෝ සැලකිය හැකියි. උදාහරණයක් ලෙස ඇමරිකාව වැනි බටහිර රටවලදී ඔබට සේවය සැපයූ තැනැත්තාට සන්තෝසමක් ලබාදීම ඔබගේ පරිත්‍යාගශීලී බවේ සංකේතයක් ලෙස සැලකෙන අතර ඇතැම් අවස්ථාවලදී සන්තෝෂමක් ලබාදීම අනිවාර්ය කෙරෙන අවස්ථාද තිබෙනවා. ඔබ ඉතාම සුළු මුදලක් සන්තෝසමක් ලෙස ලබා දීමෙන් සේවකයන් කලකිරීමට හෝ කෝපයට පත්වන අවස්ථා ද තිබිය හැකියි. ඇතැම් යුරෝපා රටවල සේවා ගාස්තු ඔබගේ බිල්පතට එකතු කර තිබියදීත් සන්තෝසමක් බලාපොරොත්තු වන අවස්ථා තිබෙනවා. මේ නිසා ඇමරිකාව වැනි රටවල දී මෙන් නොව එවන් අවස්ථාවකදී සන්තෝසමක් ලෙස කුඩා මුදලක් ලබාදීම සෑහේ.

නමුත් මීට හාත්පසින්ම වෙනස් ලෙස දකුණු කොරියාව, චීනය, ජපානය වැනි ආසියානු රටවල සන්තෝසමක් ලබාදීම සේවකයාට කරන අපහාසයක් ලෙස සලකනවා. මෙවැනි තත්ව අවම කරගැනීමට, එම රටවල සේවය සැපයීමට පෙරම සේවා ගාස්තුවක් අය කර ගන්නේ, එවිට එම මුදල මගින් සේවකයාව තක්සේරු කිරීමක් අදහස් නොවන බැවිනි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සැමෝවා වැනි රටවල සන්තෝෂම් ලබාදීම අනිවාර්ය නොවන අතර කැසිනෝ වැනි ඇතැම් ස්ථානවල සන්තෝෂම් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් වන අවස්ථාද තිබෙනවා.

මේසය බෙදා ගැනීම. බටහිර රටවල ආපන ශාලාවලදී එක පවුලක සාමාජිකයන් වෙන්කරගෙන සිටින මේසයක හිස් පුටු තිබුණත් එවන් හිස් පුටුවක අසුන් ගැනීම අශීලාචාර දෙයක් ලෙස හෝ පෞද්ගලිකත්වයට හානි කිරීමක් ලෙස සැලකෙනවා. නමුත් ජපානයේදී ආපනශාලාවල ඕනෑම මේසයක හිස් පුටුවල නන්නාදුනන අමුත්තන් පැමිණ අසුන් ගැනීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනවා. විශේෂයෙන්ම කාර්යබහුල ආපනශාලා වලදී මේ ආකාරයට ආසන ලබාදීම, සේවය ඉක්මනින් සැපයිය හැකි කාර්යක්ෂම ක්‍රමයක් ලෙස සලකනවා.

කම්මුල් සිප ගැනිම. ලතින් ඇමරිකානු රටවල විරුද්ධ ලිංගික මිතුරන් දෙදෙනකුට හෝ කාන්තාවන් දෙදෙනෙකුට සිදු කළ හැකි සුබ පැතීමේ ක්‍රමයක් ලෙස කම්මුල් සිප ගැනීම සැළකෙනවා. පිරිමි මිතුරන් දෙදෙනෙකු මෙසේ කම්මුල් සිප ගැනීම නොහොබිනා ලෙස සලකනවා. නමුත් ඇතැම් මැදපෙරදිග රටවල සහ ඊජිප්තුව, ඊශ්‍රායලය වැනි උතුරු අප්‍රිකානු රටවල පිරිමි මිතුරන් දෙදෙනකු කම්මුල් සිප ගැනීම සුභ පැතීමේ ක්‍රමයක් ලෙස සලකන අතර විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ඒ ආකාරයෙන් සුභ පැතීම නොමනා ක්‍රියාවක් ලෙස සලකන අතර ඇතැම්විට තහනම් දෙයක්ද වෙනවා.

නමුත් මෙයට ව්‍යතිරේකයක් ලෙස ලෙබනනය සහ ටියුනීසියාව වැනි රටවල පිරිමියෙකු විසින් කාන්තා මිතුරෙකුගේ කම්මුල් සිපගැනීම සහෝදර හැඟීමෙන් කරන්නක් ලෙස සලකනවා. දකුණු යුරෝපීය රටවල මෙසේ සිපගැනීමෙන් ආචාර කිරීම මිතුරන් අතර සිදු කරන්නක් ලෙස සැලකෙන අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් පැනවෙන තහනම රටින් රටට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ඉතාලිය සහ ප්‍රංශයේ දී පිරිමි-පිරිමි මිතුරන් සිප ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර ස්පාඤ්ඤයේදී සහ පෘතුගාලයේදී කාන්තා මිතුරන් එකිනෙකාගේ කම්මුල් සිප ගැනීම සාමාන්‍ය දෙයක් වෙනවා. ඉන්දුනීසියාව, පිලිපීනය සහ නැගෙනහිර ටිමෝරය වැනි රටවල හැරුණුකොට නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල ප්‍රසිද්ධියේ කම්මුල් වුවත් සිප ගැනීම නොහොබිනා දෙයක් ලෙස සැලකෙනවා.

පෞද්ගලික ඉඩකඩ. බටහිර රටවල කෙනකුගේ පෞද්ගලික ඉඩකඩ අභිබවා නොයාම නොලියවුනු නීතියක් ලෙස සියලු දෙනා අනුගමනය කරන අතර වෙනත් කෙනෙකුට ඉතාම ආසන්නයෙන් සිටීම ඒ පුද්ගලයා බොහෝ අපහසුතාවයට පත් කරන්නක් බැවින් එය නොහොබිනා ලෙස සලකනවා. නමුත් චීනය වැනි ජනගහනය අධික රටවල් තවත් කෙනෙකුට ඉතාම ආසන්නයෙන් සිටීම සාමාන්‍ය දෙයක් වන අතර පෞද්ගලික ඉඩකඩ ඔවුන්ට නොලැබෙන ඉතා විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකනවා.

කේවල් කිරීම. බටහිර රටවලදී ඔබට යමක් මිලදී ගන්න වුවමනා වූ විට වෙළෙඳ පොළේ ඇති මිලටම එය ගැනීමට සිදුවන අතර මිල අඩුකිරීමක් අවශ්‍ය නම් එය සිදුකළ හැක්කේ එම භාණ්ඩයට වට්ටම් ලබා දෙන සේල් වලදී පමණි. නමුත් ඊජිප්තුව, ඉරානය, තුර්කිය සහ බොහෝ ආසියානු රටවල දී කේවල් කිරීම ඉතාම සාමාන්‍ය දෙයක් ලෙස සැලකෙනවා. සියලුම භාණ්ඩ වලට කේවල් කිරීම මගින් මිල අඩු කිරීමක් ලබා ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක් වන අතර එසේ නොකීරීමෙන් හැඟවෙන්නේ වෙළෙන්දන් ඔබව රවටා වැඩිපුර මුදල් ඔබෙන් ලබා ගන්නා බවයි.

පිඟාන හිස් වනතුරු ආහාර ගැනීම. ඔබ වෙනත් කෙනෙකුගේ නිවසට අමුත්තකු ලෙස ගොස් ඔවුන් පිළිගන්වන ආහාර පිගාන හිස් වන තුරුම ආහාරයට ගැනීමෙන්, චීනය වැනි රටවල දී ඔබ ඔබට සත්කාර කරන පුද්ගලයාට අපහාස කරන අතර එයින් අදහස් වන්නේ සත්කාරකයා ඔබට ප්‍රමාණවත් තරම් ආහාර ලබා නොදුන් නිසා ඔබ තාම කුසගින්නේ සිටින බවයි. නමුත් එයට ප්‍රතිවිරුද්ධ ලෙස ඉන්දියාව සහ ජපානය වැනි රටවල පිඟානේ ආහාර ඉතිරි කිරීම මගින් අදහස් වන්නේත් සත්කාරකයාට අපහාස කිරීමක් වන අතර, එහිදී ආහාර ඉතිරි කිරීමෙන් සත්කාරකයා පිලිගැන්වූ ආහාර වලට ඔබේ කැමැත්තක් නැති බව හැඟවේ.

ඇඳුම් ගැලවීම. සිංගප්පූරුව වැනි රටවල නිරුවත තහනම් දෙයක් වන අතර තමන්ගේම නිවසේදී පවා නිරුවතින් සිටීම අත්අඩංගුවට ගත හැකි වරදක් වෙනවා. නමුත් ඇතැම් රටවල් මීට වඩා නම්‍යශීලීයි. හන්ගේරියාවේ ස්නානය කිරීමේ සම්ප්‍රදායන් ඉතාම ප්‍රසිද්ධ වන අතර රට පුරා සම්බාහන ආයතන තිබෙනවා. එරටේදී ප්‍රසිද්ධියේ ඇඳුම් ගැලවීම සාමාන්‍ය දෙයක් වන අතර ඇතැම් සම්බාහන ආයතන වල නාන ඇඳුම් ඇඳීම පවා තහනම් දෙයක් වෙනවා. මොකද එයින් එම ස්පා අයතනයෙන් කෙරෙන ප්‍රතිකාරයන් නිසියාකාරයෙන් සිදු නොවන බවට ඔවුන් විශ්වාස කරන බැවිනි.

හැඳි, ගෑරප්පු ආදි උපකරණ බෙදාහදා ගැනීම. උතුරු සහ දකුණු කොරියාව වැනි ඇතැම් රටවල් වල ‘බෙදා හදා ගැනීම’ සම්ප්‍රදායක් ලෙස සලකන අතර මිතුරන් සමග ආහාර ගැනීමේදී එක් විශාල බන්දේසියක ආහාර බෙදා හදා ගැනීමත්, හැඳි,ගෑරැප්පු,පිහි,චොප්ස්ටික්ස් වැනි ආහාර ගන්නා උපකරණ බෙදා හදා ගැනීමත් සාමාන්‍ය දෙයක්.නමුත් මීට ප්‍රතිවිරුද්ධ ලෙස බටහිර රටවලදී ආහාර පාන ගන්නා උපකරණ තමන්ගේ පවුලේ අය අතර වුණත්, අනෙකෙකු හා බෙදා ගැනීම ඉතාම අපිරිසිදු සහ අශීලාචාර දෙයක් ලෙස සලකනවා.

කෑ ගසා කතා කිරීම. චීනය වැනි රටවල ප්‍රසිද්ධියේ කෑගසා කතා කිරීම ඉතාම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් ලෙස අවන්හලකදී වේටර්වරයාගේ අවදානය තමා දෙසට ලබා ගැනීම පිණිස ඔහුට කෑගසා කතා කිරීම සුලබව දක්නට ලැබෙනවා. නමුත් බටහිර රටවලදී එසේ කෑ ගසා කතා කිරීම සේවකයන්ට කෙරෙන අපහාසයක් ලෙස සහ තමන්ගේ අශීලාචාරත්වය පෙන්වන දෙයක් ලෙස සැලකෙන නිසා, ඔවුන් වේටර්වරයා තමාගේ මේසයට පැමිණ අවශ්‍ය දෙය විමසන තුරු ඉවසීමෙන් බලා සිටිනවා.

කලහාකාරි ලෙස තමාට උවමනා දෙයක් ලබා ගැනීම. බටහිර රටවලදී කාන්තාවක් තමාට යමක් උවමනා වූ විට සුරතල් සහ තොදොල් වෙමින් එය කර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් චීනයේ ඇත්තේ මීට වඩා හාත්පසින්ම වෙනස් කලාවකි. එරටේ කාන්තාවන් තමාට ඇඳුමක් හෝ ත්‍යාගයක් වැනි යමක් අවශ්‍ය වූ විට කුඩා දරුවන් කරන්නාක් මෙන් කෑ ගසමින් කෝපයෙන් කලහකාරී ලෙස හැසිරීම දක්නට ලැබෙනවා. එසේ නොකිරීම ඔවුන් තුළ කාන්තා ලක්ෂණ වල අඩුවක් ඇති බවට හගවන නිසා චීනය වැනි රටවල මහමගදී වැඩුණු කාන්තාවන් එසේ හැසිරීම සාමාන්‍ය දෙයක්. තවත් අතකින් එමගින් කාන්තාවක්‌ රැක බලා ගැනීමේදී පිරිමියෙකු සතු වගකීම ඉස්මතු කෙරෙනවා.

අතිරේක – ඇතැම් ආසියානු භාෂා වල, නිල් සහ කොළ යන වර්ණ දෙක එකම වර්ණයේ ප්‍රභේද ලෙස සැලකෙන නිසා ගැටලුකාරී තත්ත්ව ඇති වෙන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස ජපානයේ නීතියට අනුව මාර්ග සංඥා වල ගමන ආරම්භ කිරීමට ලබාදෙන සංඥාව කොළ පැහැය වුණත් ඔවුන්ගේ එම කොළ පැහැය හැකිතරම් නිල් පැහැයට හුරු ප්‍රභේදයෙන් තිබෙනවා. ඒ අනුව සැබැවින්ම එම රටවල කොළපැහැති මාර්ග සංඥාව දැක්වෙන්නේ නිල් පැහැයෙන්. (ඇතැම් විට) නමුත් ඔවුන්ට අනුව එය නිල් පැහැයට හුරු කොළ පැහැයේම ප්‍රභේදයකි. නමුත් සැබැවින්ම එකම වර්ණයේ ප්‍රභේද දෙකක් වන තද නිල් සහ ලා නිල්, ඔවුන් සලකන්නේ වෙනස් වර්ණ දෙකක් ලෙසයි. එය හරියට රතු සහ රෝස වෙනස් වර්ණ දෙකක් ලෙස අප සලකනවා වැනිය.