Hela Rahas

Hela Rahas Official Web Portal

විසිතුරු පැල රැක ගන්න හොදම ක්‍රම 8ක්

විසිතුරු පැල වගා කිරීම කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් සිදු කරන කටයුත්තක්. මොකද ඒ වගේ පැල වලින් නිවසට, ගෙවත්තට, කාර්‍යාලයට ආදී ඕනෑම ස්ථානයකට සුවිශේෂී අලංකාරයක් එක්කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෘහස්ථව වගා කරන පැල වර්ග වඩාත් ජනප්‍රිය වෙන්නේ ඒවා රැක බලා ගැනීම පහසු නිසයි. නමුත් පැල වගා කිරීම වගේම ලෙඩ රෝග නොවැළඳෙන සේ ඒවා රැක බලා ගැනීමත් වැදගත්. ඒ සඳහා පොදුවේ ඕනෑම විසිතුරු පැළයකට අප ලබා දෙන අවධානය මදි බව හඟවමින් ඒවා විසින් අපට පෙන්වන දුර්වල ලක්ෂණ ගැන අපි දැනගන්න ඕන. ඒ නිසයි අපි අද මේ ලිපියෙන් ඒ ගැන ඔබව දැනුවත් කරන්න හිතුවේ.

  1. සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැ වූ පත්‍ර.

පත්‍රයක් සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැ වීම එහි වර්ධනය සහ වයස්ගත වීමේ ක්‍රියාවලියෙහි එක් ලක්ෂණයක් පමණයි. ඒ කියන්නේ, එය ස්වභාවික සංසිද්ධියක්. ඒ හැරුණු කොට රැක බලා ගැනීමේ අඩුවක් හෝ රෝගයක් ගැන එයින් කියා වෙන්නේ නැහැ.

  • කල හැකි දේ – පත්‍ර සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැ වීමෙන් අදහස් වන්නේ එම පත්‍රය මියගොස් ඇති බවයි. පත්‍රය මිය ගියත් එය ගසට සවි වී තිබෙන තාක් කල් එමගින් තවදුරටත් ශක්තිය උරා ගන්නවා. මේ නිසා මියගිය පත්‍ර ඉවත් කරමින් අනෙකුත් පත්‍ර සදහා එම ශක්තිය බෙදා හැරිය යුතුයි. මේ නිසා සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැ වී මියගිය පත්‍ර දුටු විට ඒවා කපා ඉවත් කරන්න.
  1. පත්‍රයේ අග/තුඩ ප්‍රදේශයෙන් දුඹුරු පැහැ වීම.

පත්‍රයක තුඩ ප්‍රදේශයෙන් දුඹුරු පැහැ වීම ආරම්භ වෙනවානම් එහි අදහස වන්නේ පැලයට ප්‍රමාණවත් තරම් ජලය ලැබී නැති බවයි. ඒ සඳහා හේතු කිහිපයක්ම තිබෙන්න පුළුවන්.

  1. ඔබ පැලයට ප්‍රමාණවත් වන ලෙස නිරන්තරයෙන් වතුර නොදමනවා විය හැකියි.
  2. ඔබ පැළය සිටුවා ඇති පස වතුර රඳවා නොගන්නා සාරවත් පසක් නොවිය හැකියි.
  3. ඔබ පැලය සිටුවා ඇති පෝච්චිය ප්‍රමාණයෙන් කුඩා වීම නිසා හෝ කලින් අධිකව වතුර දැමීම නිසා මුල් වලට හානි සිදු වී තිබිය හැකියි.
  • කල හැකි දේ – ඔබ නිතර නිවසේ නොසිටීම නිසා පැළ වලට අවශ්‍ය පරිදි වතුර යෙදීමට නොහැකි වෙනවා නම්, ඒවාට අවශ්‍ය වතුර ක්‍රමවත්ව නිසි වේලාවට ලබාදීමට ක්‍රම දෙකක් තිබෙනවා.
  1. පැළය සිටුවීමට පෙර පෝච්චියේ පතුලට තෙත ස්පොන්ජ් එකක් දැමීම මගින් අතිරික්ත ජලය උරා ගැනීමටත්, පැළයට ජලය හිඟ අවස්ථා වල දී උරා ගත් ජලය මුදා හැරීමටත් හැකියි.
  2. කුඩා සිදුරු විදින ලද බෝතලයක් ජලයෙන් පුරවා පස් වලට යට කරන්න. එවිට පැලය විසින් අවශ්‍ය අවස්ථා වලදී එයින් ජලය ලබා ගනු ඇත.
  3. පත්‍රයේ මැද දුඹුරු පැහැ වීම.

ශාක පත්‍රවල මැද දුඹුරු පැහැ ලප ඇතිවීම අධිකව ජලය යෙදීමෙහි ප්‍රතිඵලයක්. නිතරම තෙත් ගතියෙන් යුක්ත පසක් දිලීර රෝගකාරකයන් වර්ධනය වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා. මේ නිසා පත්‍රවල මැද ප්‍රදේශයෙන් දුඹුරු පැහැවීම ආරම්භ වන අතර එහි අවසන් අදියර වලදී එය පත්‍රයේ අනෙක් ප්‍රදේශ දක්වාත් පැතිරී යනවා.

  • කළ හැකි දේ – අතිරික්ත ජලය උරා ගැනීම සඳහා කෝපි පෙරන (coffee filters) ඔබට යොදාගන්න පුළුවන්. එයින් එකක් පස් දැමීමට පෙර පෝච්චියේ හොඳින් අසුරා ඉන්පසු පස් දමා පැලය සිටුවන්න. එමගින් පස් එහා මෙහා විසිරී යාමත් වළක්වනවා.
  1. පැලයක පහළ කොටසේ පත්‍ර කහ පැහැ වීම.

තරමක් පරිණත පැළයක නම් ඇතැම් පත්‍ර කහ පැහැ වී හැළී යාම සාමාන්‍ය දෙයක්. නමුත් එය නිරන්තරයෙන් සහ විශාල වශයෙන් සිදු වෙනවා නම් ඒ සඳහා හේතුව සොයා බැලිය යුතුයි. බොහෝ විට මෙවැනි තත්ත්වයක් පැළය සිටුවා ඇති පරිසරයට අදාළව, හේතු සාධක ගණනාවක් නිසා සිදුවිය හැකියි. පැලය සිටුවා ඇති පරිසරය අධික සෙවණ සහිත වීම, අධිකව ශීතල වීම, අධිකව වියළි වීම හෝ උෂ්ණත්වයේ හදිසි පහල වැටීමක් මේ සඳහා හේතු විය හැකියි.

  • කළ හැකි දේ – මෙහිදී ඔබට කල හැකි එකම පිළියම වන්නේ පැලය සඳහා සුදුසු වෙනත් පරිසරයක් තෝරා ගැනීමයි. නමුත් ඔබ දැන ගතයුතු කාරණය වන්නේ පෝච්චි වල සිටුවා ඇති පැල නිතර එහා මෙහා රැගෙන යාම නුසුදුසු වන බවයි. එයට හේතුව පැලයක් එය තබා ඇති පරිසරයට අනුකූලව හැඩ ගැසීම සිදු වන්නේ ඉතා සෙමින් වීමයි. මේ නිසා අපි කලින් කියූ සාධක වලින් එකක් නිසා ඔබගේ පැලයේ පහළ කොටසේ පත්‍ර කහ පැහැ වී හැලී යනවා නම්, එම සාධකය නැති නව පරිසරයක් පැලය වෙනුවෙන් තෝරාගෙන දිනකට පැයක් පමණ එම නව ස්ථානයේ පැළය තබන්න. ඉන්පසුව නැවතත් පැරණි ස්ථානයටම පැලය ගෙන යන්න. කල් ගතවීමත් සමගම පැලය නව ස්ථානයේ තබන පැය ගණන වැඩි කරන්න. එවිට ක්‍රමානුකූලව පැලය නව ස්ථානයට හැඩ ගැසෙන අතර ඉන්පසු දිගටම ඔබට එම ස්ථානයේ පැලය තැබීමට හැකි වෙනවා.
  1. පත්‍රයේ දාර කහ පැහැ වීමත් සමගම එහි මධ්‍ය කොටසේ කළු පැහැ තිත් ඇතිවීම.

මෙයින් අදහස් වන්නේ ඔබගේ පැලයට දිලීර වල බලපෑමක් තිබෙන බවයි. මෙහිදී ඇතිවන්නේ ලා පැහැති පැල්ලම් නම් ඒ පැළයට අධිකව හිරු එළිය ලැබීම නිසයි.

  • කල හැකි දේ – ඔබගේ විසිතුරු පැලයක මෙවන් ලක්ෂණ දුටුවොත්, එම දිලීරය අනෙක් පැළවලට බෝවීම වළක්වා ගැනීමට වහාම එය අනෙක් පැළ වලින් ඈත් කරන්න. ඉන්පසු කහ පැහැති දාර සහ කළු ලප සහිත පත්‍ර කපා දමා පැළයට සුව වීමට ඉඩ හරින්න.
  1. පත්‍රයේ තුඩට ආසන්නව වර්ණය වියැකී යාම.

පත්‍රයක තුඩ ආසන්නයෙන් එහි සාමාන්‍ය කොළ පැහැය වියැකී යාම හෝ කහ පැහැ වීමත් සමඟම එහි වර්ධනය බාල වෙනවා නම් එයින් අදහස් වන්නේ පැළ සඳහා පෝෂපදාර්ථ ඌනතාවයක් ඇති බවයි. ශාක සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් බොහෝමයක් පොහොර වලින් ලබාගත හැකියි.

  • කළ හැකි දේ – මේ සඳහා ඔබට නිවසේදීම ස්වභාවික පොහොරක් සොයාගත හැකියි. ඒ තමයි බිත්තර කටු. බිත්තර කටු විසි කරනවා වෙනුවට මෙවන් රෝග ලක්ෂණ සහිත පැලයක පස් වලට යොදන්න. එහෙමත් නැත්නම් බිත්තර තැම්බූ ජලය නිවුණු පසු පස් වලට යොදන්න. එමගින් පැලයට අවශ්‍ය පොටෑසියම් සහ කැල්සියම් මට්ටම් ඉහළ දැමෙනවා.
  1. අතිශයින් කුඩා පත්‍ර.

යම් වර්ගයක පැළයක සාමාන්‍යයෙන් තිබිය යුතු පත්‍ර ප්‍රමාණයට වඩා ඔබගේ පැලයේ පත්‍ර අතිශයින් කුඩා නම් එයට හේතුව හිරු එළිය මද කමයි. මේ නිසා පළමුව ඔබ බැලිය යුත්තේ පැලය තබා ඇත්තේ සෙවණ සහිත ස්ථානයකද කියායි. එසේ නම් එය වහාම හිරු එළිය ලැබෙන ජනේලයක් අසල වැනි ස්ථානයකට ගෙනයන්න.

  • කල හැකි දේ – ඔබගේ පැලය හිරු එළිය ලැබෙන ස්ථානයක තිබියදීත් පත්‍ර අසාමාන්‍ය ආකාරයට කුඩායි නම්, එයට හේතුව පත්‍ර මතුපිට දූවිලි ස්ථරයක් රැඳී තිබීම විය හැකියි. දූවිලි තට්ටුවක් රැඳී තිබීම නිසා පත්‍රයට හිරුඑළිය ලබා ගැනීමට බාධාවක් ඇති වන නිසා එහි ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියටත් බාධාවක් ඇති වෙනවා. මේ නිසා ඔබ පැලයකට වතුර යොදන විට කෙලින්ම මුලට පමණක් නොයොදා, පත්‍ර වල ඇති දුහුවිලිත් සේදී යන පරිදි එහි පත්‍ර වලටත් වැටෙන සේ ජලය යොදන්න. එහෙමත් නැත්නම් මෘදු අත් වැසුමක් මගින් සියුම්ව පත්‍ර මත ඇති දූවිලි තට්ටු පිසදා හරින්න.
  1. පත්‍රවල දාර ඇතුල් පැත්තට රෝල් වීම.

ගෘහස්ථව වගාකරන බොහෝමයක් පැල නිවර්තන සහ උප නිවර්තන කලාපීය වනාන්තරවල ඉහළ ආර්ද්‍රතා තත්ත්ව යටතේ වර්ධනය වෙන ඒවායි. මේ නිසා ඔබගේ නිවසේ දී පැලයට ලැබෙන අර්ද්‍රතා මට්ටම අවමයි නම් එහි දාර ඇතුල් පැත්තට හැකිලීම සිදුවෙනවා.

  • කල හැකි දේ – ඔබගේ පැලය වා කවුළු අසලින් ඉවත් කරන්න. ඔබගේ කාමරයේ ඇති අර්ද්‍රතා තත්ත්වය සාමාන්‍ය මට්ටමක (50%) පැවතුනත් එයින් පැලය අපහසුතාවයට පත්වීමට හැකියි. මේ නිසා හීටර් සහ වා කවුළු අසල පැලය තැබීමෙන් වළකින්න.

ඔබගේ පහසුව පිණිස, රැකබලා ගැනීම අවමව සිදු කළ යුතු, ඔබගේ අවධානය එතරම් අවශ්‍ය නොවන, වගා කිරීමට පහසු පැළ වර්ග ලැයිස්තුවක් පහතින් දැක්වෙනවා.

  1. ස්පයිඩර් ප්ලාන්ට් (Spider plant)
  2. රබර් ප්ලාන්ට් (Rubber plant)
  3. ZZ ප්ලාන්ට් (ZZ plant)
  4. කෝමාරිකා (Aloe vera)
  5. ස්නේක් ප්ලාන්ට් (Snake plant)