Hela Rahas

Hela Rahas Official Web Portal

සැබෑ ධනවතුන් සිදුකරන සාර්ථකත්වයේ රහස්

එතරම් හොඳ දෙයක් නෙවෙයි උනත් අපේ සමාජය දුප්පත් පෝසත් සහ මධ්‍යම පාන්තික ලෙස පන්ති තුනකට බෙදිලා තියෙනවා. ඉතින් අපි අද මේ ලිපියෙන් වැඩිපුර අවධානය යොමු කරන්නේ පෝසත් පුද්ගලයන් ගැනයි. හරියටම කියනවා නම්, “ඇත්තටම පෝසත්” පුද්ගලයන් ගැනයි. ඔබ දැන් හිතනවා ඇති මොකක්ද ඇත්තටම පෝසත් කියන්නෙ කියලා. අපි මෙහෙම කියන්නම්කො. ඔබ දැකලා ඇති සමාජයට පේන්න සෝබනේට වියදම් කරමින් තමන් පෝසත් බව පෙන්වන්නට උත්සාහ කරන මිනිසුන්.

ඒක එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම අනුව සිදුවන දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඇත්තටම පෝසත් පුද්ගලයන්ට තමන් පොහොසත් බව අන් අයට පෙන්වන්න වුවමනාවක් නැහැ. ඉතින් අපි මේ ලිපියෙන් කියන්නේ ඒ වගේ බොරුවට තමන් පොහොසත් බව හඟවන පුද්ගලයන්ගෙන් ඇත්ත පෝසතුන් වෙන් කරලා හදුනා ගන්න පුලුවන් ලක්ෂණ කීපයක් ගැන. ඔබත් ජීවිතය සාර්ථක කරගන්න පෝසතෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.

පොහොසතුන් බඩු මිලදී ගන්නා විට ඉස්තරම්ම වර්ගයේ දේවල් සොයන්නේ නැහැ.

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් ඇඳුමක් පැළඳුමක් සපත්තු දෙකක් හෝ ආහාර ගන්න තෝරාගන්නා අවන්හලක් පවා මිල අධික, ඉස්තරම් සහ ප්‍රසිද්ධ වෙළඳ නාමයන් වල දේවල් තෝරා ගන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඇත්තටම පොහොසත් පුද්ගලයන් ඒ වගේ දේවල් පසුපස හඹා යන්නේ නැහැ. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නිතරම අළු පැහැති ටී ෂර්ට් එකකින් සැරසිලා ඉන්නවා ඔබ දැක ඇති.

ඒක කිසිසේත්ම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක ටී ෂර්ට් එකක් හෝ මිල අධික එකක් නෙවෙයි. මාධ්‍ය මගින් මේ පිළිබඳව ඔහුගෙන් විමසද්දී ඔහු කියා තිබෙන්නේ සමාජයට කරන සේවයන් පිළිබඳව හැරුණු කොට ඉතුරු ඔහුගේ ජීවිතයට අදාළ සියලුම තීරණ ඉතා පහසු සහ සරල ඒවා කරගන්න ඔහු කැමති බවයි. අනිත් සුළු දේවල් වෙනුවෙන් වියදම් කරන්න, කැප වෙන්න හෝ ඕනවට වඩා හිතන්නට යාමෙන් තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය හරිහැටි ඉටු වන්නේ නැති බවයි ඔහු විශ්වාස කරන්නේ.

ඒ වගේම ලෝකයේ දෙවන ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් එදිනෙදා පලඳින්නේ කැශියෝ ඉලුමිනේටර් W214H-1AB වර්ගයේ අත් ඔරලෝසුවක්. ඒක සාමාන්‍ය වෙළඳපොලේ ඩොලර් 24ක්‌ පමණයි මිල වෙන්නේ. ඔහු ඇත්තෙන්ම තමන් අඳින පලඳින දේවල් ඉතාම මිල අධික සහ හොඳම බ්‍රෑන්ඩඩ් දේවල් විය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ වගේම ඔහු ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කිරීමට ලැජ්ජා වෙන්නෙත් නැහැ. ඉතින් බලන්න ඔවුන් කෙතරම් උසස් මනසකින් හෙබි පුද්ගලයන්ද කියලා?

ඔවුන් සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගන්නවා.

ලේඛකයෙක්, කථිකයෙක්, දානපතියෙක් සහ ඩොලර් මිලියන 500කට අධික වත්කමක් හිමි ටෝනි රොබින්ස් ඉස්තරම්ම වර්ගයේ ආහාර පාන, වයින් සහ සුප්‍රසිද්ධ කෙටි කෑම අවන්හල් වලින් ආහාර ගන්නවා වෙනුවට එළවළු පලතුරු වලින් සපිරි අංගසම්පූර්ණ සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කරනවා.

තමන් සතු මුදල් වලින් ලෝකයේ ඇති ඕනෑම වර්ගයක රසවත්, මිල අධික සහ දුර්ලභ ආහාරයක් මිලදී ගෙන රසවිඳීමට හැකියාව තිබුණත් ඔවුන් ඊට වඩා තමාගේ සෞඛ්‍ය සහ සරල බව අගයනවා. තමන්ගේ සෞඛ්‍යයත් අවදානමේ හෙලාගෙන, මුදලුත් වියදම් කරගෙන මිල අධික අවන්හල්වලින් ආහාර ගන්නවා මදිවට ඒවායෙහි ඡායාරූප ගෙන රටට ලෝකයට පේන්න සමාජ ජාල මාධ්‍ය වල පළ කරන පුද්ගලයන්ට මේ ධනවතුන්ගෙන් හොඳ ආදර්ශයක් සැපයෙනවා.

ඔවුන් දිනපොතක් පවත්වාගෙන යනවා.

ටොම් කෝර්ලි විසින් රචිත “Rich Habits: The Daily Success Habits of wealthy Individuals” නම් කෘතියේ ඔහු දුප්පත් සහ පොහොසත් මිනිසුන් අතර ඇති වෙනස්කම් ගණනාවක් සඳහන් කරනවා. ඔහු ඒ පොතේ සඳහන් කරන පරිදි පෝසත් මිනිසුන් ගෙන් 81% කට වැඩි ප්‍රමාණයක් සහ දුප්පත් මිනිසුන් ගෙන් 19% ක් පමණ දිනපොතක් පවත්වාගෙන යනවා. දිනපොතක් යනුවෙන් මෙහි අදහස් කරන්නේ තමන් දවසේ කරපු දේවල් ගැන සඳහන් කරන පොතක්ම නෙවෙයි.

තමන් ඊළඟ දවසේ කළ යුතු දේවල්, ඊට පසුදින කළ යුතු දේවල් සඳහන් කරන යම්කිසි ලියවිල්ලක්. (To-do list) ටොම් ඔහුගේ පොතේ සඳහන් කරන ආකාරයට මෙම ක්‍රමයෙන් ඔවුන්ට වැඩ අතපසුවීම අවම කෙරෙනවා වගේම, තමන් කළ යුතු වැඩ කල් නොදමා එදිනම කිරීම ඔවුන්ට උත්තේජනයකුත් සැපයෙනවා. මේ නිසා යම් දිනක් තුළදී සිදු කළ යුතු වැඩ ප්‍රමාණයෙන් අවම වශයෙන් 80%ක්‌වත් ඔවුන්ට අනිවාර්යෙන්ම කිරීමට හැකිවන බවයි ඔවුන් පවසන්නේ. මේ නිසා ඔහුගේ පොතේ සඳහන් කරන ආකාරයට තමන් ඊළඟ දිනයේ කළ යුතු වැඩ ප්‍රමාණය සටහන් කර තබාගෙන ඒ අනුව කටයුතු කිරීම පොහොසත් වීමට යන ගමනේ අත්‍යවශ්‍යම සහ මූලිකම අංගයක් වෙනවා.

ඔවුන් රාජකාරි ජීවිතයට සීමාවක් තබා ගන්නවා.

ඇතැම් මිනිසුන් සිතන්නේ සාර්ථකත්වයට යන මාර්ගය වන්නේ දිවා රෑ නොබලා වැඩ කිරීම කියලයි. නමුත් ඇත්තෙන්ම සිදුවිය යුත්තේ ඒකේ අනිත් පැත්තයි. ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක් සහ කථිකයෙක් වන මුරේ නිව්ලන්ඩ්ස් නිතරම අධික පෝසත් මිනිසුන් සමග ගනුදෙනු කරන පුද්ගලයෙක්. ඔහු පවසන්නේ සවස් කාලයෙන් පසු රාජකාරි ජීවිතයෙන් විවේක ගැනීම, දහවල් කාලය පුරා වෙහෙස මහන්සි වී වැඩ කිරීම තරම්ම වැදගත් වන බවයි.

උදෑසන සහ දහවල් කාලය තමන්ගේ රාජකාරී ජීවිතය වෙනුවෙන් කැප කරන ඔහු සවස 6න් පසු රාජකාරී ජීවිතයට අදාළ දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ. රාජකාරි ජීවිතය සීමා කරගෙන තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් වෙලාවක් වෙන් කරගෙන පවුලේ අය සමඟ හිතමිතුරන් සමඟ කාලය ගත කිරීම ඔවුන්ගේ මානසික තත්වයට ඉතාම යහපත් අයුරින් බලපාන නිසා එය ඉබේම ඔවුන්ගේ සාර්ථකත්වයටත් පිටුවහලක් වෙනවා.

ඔවුන් ආශ්‍රය කිරීමට මිනිසුන් ඉතාම ප්‍රවේශමෙන් තෝරා ගන්නවා.

නරක මිතුරන් ආශ්‍රය කිරීම විනාශයට ඇද දැමීමට පුළුවන් බව ඔබ දන්නවනේ. මේ නිසා සාර්ථකත්වය බලාපොරොත්තු වන කෙනෙක් සෑමවිටම තමන් ආශ්‍රය කරන පුද්ගලයන් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ කියන්නේ ඔබ මිනිසුන් ආශ්‍රය කිරීම, තමන් වෙනුවෙන් කරන ආයෝජනයක් බවට පත් කරගත යුතුයි. ටොම් කෝර්ලි තමන්ගේ පොතෙන් තවත් වැදගත් උපදෙසක් අපට ලබා දෙනවා.

ඒ තමයි 79%කටත් අධික ධනවත් සාර්ථක පුද්ගලයන් තමන්ගේ රාජකාරි වල යෙදීමට අමතරව මාසයකට අවම වශයෙන් පැය 5ක්‌වත් තමන්ගේ ක්ෂේත්‍රයට අදාල දැනුමැත්තන් සමග කාලය ගත කිරීමට පෙළඹෙන බවයි. ඒ නිසා ඔබත් සෑමවිටම ඔබගේ ක්ෂේත්‍රයට අදාල අත්දැකීම් සහිත සාර්ථකත්වය කරා ලඟා වුණු පුද්ගලයන් සමඟ කතාබස් කිරීමට, ඔවුන් ආශ්‍රය කිරීමට පෙළඹෙන්න.

ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගන්නා විට සාර්ථකත්වයට ළඟා වීමට ඔවුන්ට උපකාරී වූ දේවල් ඔබ‍ට ඉගෙන ගන්න පුළුවන් වගේම, ඔවුන් ජීවිතයේ එක්තරා කාලයක සිදු කළ වැරැද්දක් ඔබත් සිදුකිරීමෙන් වැළකීමටත් ඔබ‍ට පුළුවන්.

ඔවුන් ප්‍රවෘත්ති බලනවා.

ලෝකයේ පස් වැනි ධනවත් පුද්ගලයා වන වොරන් බෆට් කියවීමට ඉතා කැමති පුද්ගලයෙක් වගේම රට ලෝකයේ තොරතුරු දැන ගැනීමටත් ඉතා කැමතියි. ඔහු දවසට පුවත්පත් 6ක්‌ කියවන බවයි වාර්තා වෙන්නේ. මේ නිසා ඔබ පොත්පත් කියවීමට කැමති කෙනෙක් නම් සාර්ථකත්වයට ළඟා වෙන එක ඔබට තරමක් පහසු වේවි.

ඔබ එතරම් කියවීමට ලැදි කෙනෙක් නොවෙයි නම්, පුවත්පත් නොවුනත්, වෙන ඔබ කැමති නවකතාවක් වැනි දෙයකින් හෝ කියවීම ආරම්භ කරන්න. කාලයක් ගතවීමේදී පොත් කියවීමේ රස ඔබට දැනුනු විට, ඔබේ ක්ෂේත්‍රයට අදාල දේවල්, පුවත්පත්,දේශපාලනය, කලාව ආදී විවිධ ක්ෂේත්‍රයන් ගැන දේවල් කියවීමට ඔබ පෙළඹේවි. සාර්ථකත්වයට යන ගමනේදී අනිවාර්යෙන්ම ඒවා ඔබ‍ට ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි.

සාර්ථකත්වය කියන්නේ මුදල් පමණක්ම නොවෙයි. ඒ සඳහා ඔබ මනසින් පවා උසස් පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. සරල බව අගය කරමින්, රාජකාරි සහ පෞද්ගලික ජීවිතයන් සමබරව පවත්වාගෙන යන අතරම එදිනෙදා කරන සෑම කටයුත්තක්ම ඔබගේ දියුණුවට කෙරෙන ආයෝජනයක් බවට පත් කරගන්නට හැකියි නම්, සාර්ථකත්වය කියන්නේ එතරම් අපහසු දෙයක් නෙවෙයි. ඉතින් අපි හිතනවා මේ ලිපිය ඔබට යම් ආකාරයකින් හෝ උපකාරයක් වන්නට ඇති කියලා.