Sat. Aug 8th, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

සිලිකා ජෙල් පැකට් වලින් ලැබෙන ප්‍රයෝජන 7ක්

1 min read

අපි සමහර සපත්තු මිලදී ගන්නාවිට, බෙහෙත් බඩු තුල සහ තෙතමනය සමග නොගැටිය යුතු ටිපිටිප්, චිප්ස්, පීනට් වැනි ආහාර වර්ග පැකට් ඇතුළත මේ විදියට අපිට සිලිකා ජෙල් පැකට් හමුවනවා. බොහෝ දෙනෙක් මේ වගේ පැකට් ලැබුණ විට ඒවා කුණු කූඩයට විසි කරලා දාන එකයි කරන්නෙ. නමුත් අදින් පස්සේ නම් ඒක කරන්න එපා.

ඔබ මෙතෙක් කල් නොදැන සිටියා වුණාට සිලිකා ජෙල් පැකට් වලින් ගන්න ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. සිලිකා වලින් කරන්නේ තෙතමනය උරාගෙන ඒ අවට වියළිව තබා ගැනීමයි. සිලිකා වල තියෙන මේ ගුණය අපිට තවත් බොහොම දේවල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රම හතක්ම අපි මේ ලිපිය තුලින් ඔබට කියලා දෙනවා.

ඉලෙක්ට්‍රොනික උපාංග වලින් තෙතමනය ඉවත් කිරීමට. ජංගම දුරකථනයක්, හෑන්ඩ්ස් ෆ්‍රී එකක් වැනි උපකරණයක් වතුරට වැටුනම අපිට ඒවායේ වතුර ඉවත් කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි සිලිකා ජෙල්. මොකද සිලිකා ඉතාම හොඳින් තෙතමනය උරා ගන්නවා. ඔබ කරන්න ඕනේ වාතය ඇතුළු නොවන ආකාරයේ සිප්ලොක් බෑග් (ziplock bag) එකක්‌ තුලට සිලිකා සමඟ ඔබගේ ජංගම දුරකථනය ඇතුලුකොට වාතය ඇතුළු නොවන සේ හොඳින් තද කොට වැසීමයි. ඉන්පසු එය ඊළඟ පැය 72 පුරාවටම එසේ තිබෙන්නට හරින්න. පැය 72කට පසුව බලන විට ඔබට ජංගම දුරකථනයෙ ඇති ජලය සම්පුර්ණයෙන්ම වගේ ඉවත් වෙලා තියෙනවා දකින්න පුලුවන්. ඉලෙක්ට්‍රොනික උපාංගයක් වතුර හා ගැටුණු වහාම මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් ඒවාට ජලයෙන් වන හානිය අවම කර ගන්න පුළුවන්.

වින්ඩ්ස්ක්‍රීන් එකෙන් මීදුම ඉවත් කිරීමට. ඔබේ වාහනයේ සුළං ආවරණ වීදුරුව (wind screen/ wind shield) මීදුමෙන් වැහෙනවා නම් එය හරිම කරදරකාරී දෙයක් වගේම ඔබ‍ට පාර නොපෙනෙන නිසා ඉතා අනතුරුදායක වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම වැසි දිනවලදී මෙම තත්ත්වය දකින්න පුළුවන් වෙනවා. මේ සඳහා නවීන වාහන තුළ ක්‍රියාත්මක වන වාෂ්ප ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තිබුනත්, මෙම විශේෂ ක්‍රමවේදය ඔබේ වාහනයේ නැත්නම් හෝ මෙම ක්‍රමවේදය නිසි අයුරින් ක්‍රියා කරන්නෙ නැත්නම් සිලිකා ජෙල් ඔබට උදව් කරාවි. ඔබ කරන්න ඕනේ වාහනයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ සිලිකා පැකට් කීපයක් තැබීම පමණයි. එමගින් තෙතමනය උරාගෙන ඔබේ ඉදිරිපස වීදුරුව හොඳින් පෙනෙන සේ මීදුම ඉවත් කරමින් ඔබට පැහැදිලි කර දේවි.

ආහාර කල්තබා ගැනීමට. ධාන්‍ය වර්ග, කුළුබඩු, ඖෂධ වර්ග සහ සතුන්ගේ කෑම උනත් අපි ගබඩා කළ යුත්තේ තෙතමනයක් නැති වියලි ස්ථාන වලයි. එහෙම නැත්නම් ඒවා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. මේකට විසඳුමක් ලෙස අපට සිලිකා ජෙල් යොදාගන්න පුළුවන්. ඔබ එවැනි ආහාර තැන්පත් කරන භාජන තුළට සිලිකා ජෙල් පැකට් කිහිපයක් දමා තබන්න. එමඟින් එම ආහාර වල පුස් ආදිය බැඳීම වළක්වමින් නැවුම්ව බොහෝ කාලයක් තබා ගැනීමට හැකිවේවි.

ඔබ එදිනෙදා භාවිතා කරන උපකරණ නැවුම්ව තබා ගැනීමට. අපි නිතර භාවිතා කරන ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ආදිය සමඟ සිලිකා ජෙල් පැකට් කීපයක් දමා තිබීමෙන් එවන් රෙදිපිළි කාලයක් ගබඩා කර තැබීමේදී ඇතිවන පුස් ගඳ නැතිකර ගන්න පුළුවන්. මීට අමතරව අපි නිතර භාවිතා නොකරන ලාච්චු හෝ අල්මාරි තුළටත් සිලිකා පැකට් දමා තැබීමෙන් ඒ තුළ තෙතමනය ඇති වීම සහ පුස් ගඳ ඇතිවීම නවත්වා ගන්න පුළුවන්. මේ ආකාරයෙන්ම ඔබ එදිනෙදා භාවිතා කරන ගමන් මලු සහ සපත්තු තුළට සිලිකා යොදාගැනීමෙන්, බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් ඒවා තුල ඇතිවන දුගඳ වලක්වා ගන්න පුළුවන්.

ඇතැම් උපකරණ වල මලකඩ බැඳීම වැළැක්වීමට. මලකඩ බැඳීම සහ දිරා යාමට ප්‍රධානම හේතුවක් වන්නේ තෙතමනයයි. සිලිකා ජෙල් මගින් මෙසේ මලකඩ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව නැති කරනවා. මේ නිසා ඔබ රේසර් තල, පිහි, ඇණ, ඉස්කුරුප්පු නියන් සහ වෙනත් එවැනි ලෝහමය උපකරණ ගබඩා කර තබන ස්ථාන වල සිලිකා පැකට් කීපයක්ද දමා තියන්න. මේ නිසා කාලයත් සමඟ ඒවා මලකඩ බැඳීම සහ දිරායාමෙන් වළක්වාගන්න පුළුවන්.

මල් වියලා කල් තබා ගැනීම සඳහා. මල් වියලීම මගින් ඒවා කල් තබාගන්න පුළුවන්. මෙසේ මල් ස්වභාවිකව වියලීමට සති කිහිපයක් ගත වෙන්න පුළුවන්. මේක ඉක්මනින් සිදු කර ගැනීමට නම් සිලිකා යොදාගන්න පුළුවන්.සිලිකා මගින් මල් වල තෙතමනය උරා ගන්නා නිසා ඒවා ඉක්මනින්ම වියලීමට පටන් ගන්නවා. ඔබ කළ යුත්තේ පෙට්ටියක් රැගෙන එහි සිලිකා වලින් ස්තරයක් ඇතිරීමයි. ඉන්පසු ඔබට වියලා ගැනීමට අවශ්‍ය මල් මෙම පෙට්ටිය තුළ සිලිකා මතින් හොඳින් ඇතිරීමෙන් පසු නැවත උඩින් සිලිකා ස්තරයක් අතුරා පෙට්ටිය හොදින් වසා දින 2-6ත් අතර කාලයක් තබන්න. එම කාලයට පසු පෙට්ටිය විවෘත කර වියළීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වී ඇද්දැයි බලන්න. එසේ වී ඇත්නම් තවත් සිලිකා ජෙල් ප්‍රමාණයක් යොදා තවත් දින කිහිපයක් තබන්න. මෙම ක්‍රමයෙන් ඔබට ඉක්මනින්ම මල් වියළා ගත හැකියි.

නිවස තුළින් ඇතිවන අප්‍රසන්න ගන්ධයන් වලක්වා ගැනීමට. සිලිකා ජෙල් වලින් අප්‍රසන්න ගන්ධයන් පවා අවශෝෂණය කර ගන්න පුළුවන්. මේ නිසා ඔබට ඔබේ නිවසේ තැනින් තැන දුඟදවල් හමන අවස්ථාවලදී (විශේෂයෙන් වැසි කාලයේදී තෙත නිසා මෙසේ සිදු වෙන්න පුළුවන්) silica gel මගින් එම ගඳ අවශෝෂණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබේ මුළුතැන්ගෙයි සින්ක් එක යටින් මෙසේ දුගඳ හමනවා යැයි සිතමු. කළ යුත්තේ තරමක් විශාල සිලිකා ජෙල් පැකට් එකක් සින්ක් එක යටින් තැබීම පමණයි. ඉන්පසු වරින් වර අලුත් සිලිකා පැකට්ටුවක් සමග එය මාරු කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.