Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව සුපිරි හෝටල් 15 ක්

සුපිරිම පන්නයේ විනෝදාස්වාද අත්දැකීම් ලබාදෙමින් ඔබේ නිවාඩුව සදාකාලික අපූරු මතකයක් කරවන ලොව ඇති අසාමාන්‍යම හෝටල් 15 ක් ගැන තොරතුරු ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ.

1.Attrap’Rêves (‘ඇට්‍රැප් රීව්ස්’- ප්‍රංශය)

  • මෙම හෝටලයට පැමිණෙන සංචාරකයින් හට නිවාඩුව ගත කිරීමට ලැබෙන්නේ ඉලාස්ටික් අමුද්‍රව්‍ය විශේෂයකින් තැනූ විනිවිද පෙනෙන බුබුල් හැඩයේ කුටි තුලයි. දහවල් කාලයේදී මෙම ආවරණය මඟින් අහිතකර හිරු කිරණින් ඇතුලත සිටින අයට හොඳ ආරක්ෂාවක් ලබාදෙන අතර රාත්‍රී කාලයේදී කෘමි සතුන්ගේ කරදර වලින් ද ආරක්ෂාව ලබාදේ. එහි ඇත්තේ තණකොළ සහිත පොළෝ මතුපිටකි. දුරේක්ෂයක් ද සවිකර තිබීම විශේෂත්වයකි.සිලින්ඩාරාකාර උමං මාර්ග වලින් අනෙකුත් කාමර වලට සම්බන්ධ වී ඇත. මෙහි නිවාඩුවක් ගත කිරීමට නම් යුරෝ 139 ක් පමණ වැය වෙනවා.

2.The Manta Resort (‘ද මැන්ටා රිසෝර්ට්’- ටැන්සානියාව)

  • මෙම වෙරළබඩ නිවාඩු නිකේතනයේ ඇති විශේෂත්වය නම් මෙහි ඇති කාමර වලින් එකක් මුහුද යටින් පාවේන ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම දියයට කාමරය පිහිටා ඇත්තේ වෙරළේ සිට මීටර් 250 ක පමණ දුරිනි. මෙම ස්ථානයේ සිට දහවල් කාලය සහ රාත්‍රී කාලය වෙනස්ම කෝණයකින් දැකිය හැකි අවස්ථාව සංචාරකයින් හට ලැබේ. එහි ඇතු පුළුල් ජනේල තුලින් වතුරේ එහාමෙහා පිහිනමින් සිටින මාලුන්, ජෙලි‍ෆිෂ් , දැල්ලන් ආදී සාගර ජීවීන් හොඳින් නිරීක්ෂණය කල හැක.මෙහි එක් රාත්‍රියක් ගත කිරීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරන මුදල යුරෝ 1000 කි. මෙම හෝටලයේ අනෙකුත් කාමර වල මිල ගණන් ආරම්භ වන්නේ යුරෝ 405 සිටය.

3.Poseidon Undersea Resort (‘පොසෙයිදෝන් අන්ඩර්සී’ රිසෝර්ට්- ෆීජි)

  • මෙම අසාමාන්‍ය හෝටලයේ කාමර 74 ක් ඇති අතර ඉන් 25 ක් පම පිහිටා ඇත්තේ මීටර් 15 ක් පමණ මුහුද යටය. අනෙකුත් ඒවා ඉදිකර ඇත්තේ ජලය ඉහළින් පිහිටි ජැටිය දිගේය. මෙම මුහුද යට පිහිටි කැප්සියුල හෙවත් කුටීර වර්ග මීටර් 50 ක් පමණ විශාලත්වයකින් සමන්විතය. ඒවා උමං මාරගක් ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වී ඇත. මෙම කුටි තුල විවේකගනිමින් සිටින සංචාරකයින් හට මුහුදු ජීවින්ගේ ජීවිතය පිලිබඳ මනස්කාන්ත දසුන් නැරඹීමේ අවස්ථාව හිමිවේ. මෙහි ඇති විශේෂ ආලෝක මෙවලම් නිසා කුටීර වල ජනේල අසලට එම ජීවින් ආකර්ෂණය වෙති.මෙම හෝටලයේ දින 7 ක නිවාඩුවක් ගත කිරීමට එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් 15000 ක් පමණ ඔවුන් අය කරගන්නා බව සඳහන් වේ.

4.Arctic TreeHouse Hotel (‘ආක්ටික් ට්‍රීහවුස් හෝටලය’- ‍ෆින්ලන්තය)

  • ලැප්ලෑන්ඩ් ගස් මුදුන් වලට පහළින් පිහිටි අධි සුඛෝපභෝගි කුටි වලින් සමන්විත මේ ආක්ටික් හෝටල් පරිශ්‍රය උතුරුදිග ආලෝක නීරික්ෂණය කිරීමට වගේම සැන්ටා ක්ලෝස් ගම්මානය නැරඹීමට යාම සඳහා ඇති හොඳම නවාතැන්පළයි. මෙහි රාත්‍රි 2 ක නිවාඩුවකට එක් අයෙකුගෙන් යුරෝ 850 ක් පමණ අය කෙරේ.

5.Jumbo Stay (‘ජම්බෝ ස්ටේ’-ස්වීඩනය)

  • බෝයිං 747-212 B ජම්බෝ ජෙට් යානාව අයත් වන්නේ 2002 වසරේදි බංකොළොත්භාවයට පත් වූ ස්වීඩනයේ එක්තරා සමාගමකටයි. ඉන් අනතුරුව එය ස්ටොක්හෝල්ම් ගුවන්තො‍ටුපළ පිවිසුම අසල හෝටලයක් ලෙස විවෘත කෙරිණි. එහි ඇති කාමර සංඛ්‍යාව 29 කි. මිල අධිකම සහ වඩාත් ඉහළ මට්ටමේ සැකැස්මක් ඇති කුටිය පිහිටා ඇත්තේ ගුවන් නියමුවාගේ කුටිය තුලයි (Pilot’s cabin) එහි සිට ඔබට ගුවන්තො‍ටුපල අවට දසුන් වඩාත් හොඳින් නිරික්ෂණය කල හැකිය. මෙහි එක් රාත්‍රියක් ගත කිරිමට යුරෝ 136 ක් පමණ මුදලක් වැය කිරීමට සිදුවේ.

6.Skylodge Adventure Suites (‘ස්කයිලොඩ්ජ් ඇඩ්වෙන්චර් සූට්ස්’- පේරු රාජ්‍යය)

  • මෙම අසාමාන්‍ය හෝටලය විනිවිද පෙනෙන, පොළොවේ සිට මීටර් 120 ක් පමණ උසින් පිහිටි කැප්සියුල 3 කින් සමන්විතය. මෙය පිහිටා ඇත්තේ පේරු හි කුස්කෝ ශුද්ධ වූ නිම්නය අසලය. මෙහි සිට ඔබේ පාද වලට පහළින් අලංකාර නිමනයේ සොඳුරු දසුන් පැහැදිලිව දැකගැනීමට හැකියි. මෙහි දිනක් ගත කිරීමම ත්‍රාසජනක සහ අවදානම් වික්‍රමයක් වැනිය. ඊට හේතුව නම් මෙම ස්ථානයට ඇති මාර්ගය ඉතා දුෂ්කර සහ සංකිර්ණ කඳුකර මාවතක් වීමයි. මෙහි එක් රාත්‍රියක් ගත කිරීමට නම් එක් පුද්ගලයෙකු හට යුරෝ 270 ක් පමණ වැය කිරීමට සිදුවේ. සඳහන් වන ආකාරයට මෙම එක් කැප්සියුලයක පුද්ගලයින් 8 දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත.

7.Sheraton Huzhou Hot Spring Resort (‘ෂෙරටෝන් හුත්සොවු හොට් ස්ප්‍රිං රිසෝර්ට්’-චීනය)

  • මෙම අධි සුඛෝපභෝගී හෝටලය සතුවන්නේ අපූරු එහෙන්ම අසාමාන්‍ය බාහිර හැඩයකි. එහි පොළොවෙන් ඉහළ මහල් 27 ක් ඇති අතර ජලයට යටින් තවත් මහල් 2 ක් පිහිටා ඇත. ඒ අනුව එහි හැඩය සම්පූර්ණ ඕවලාකාර හැඩයක් ගනියි. මෙම හෝටලය ලොව මිලෙන් අධිකම හෝටල් අතරින් එකකි. මෙහි එක් ‍රැයක් ගත කිරීමට යුරෝ 200 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ.

8.Inntel Amsterdam Zaandam (‘ඉන්ටෙල් ඇම්ස්ටර්ඩෑම් සාන්ඩෑම්’- නෙදර්ලන්තය)

  • කොටේජ් නිවාස වල සිට සේවකයින්ගේ නේවාසික නිකේතන දක්වා ඇති නිවාස 70 ක් එකපිට එක ගොඩ ගැසි ඇති ආකාරයෙන් නිර්මාණය කරා ඇති මෙම හෝටලය ගතානුගතික ඇම්ස්ටර්ඩෑම් ගෘහනිර්මාණ ශිල්පයේ ලක්ෂණ කියාපායි.මෙහි එක් ‍රැයක් ගත කිරීමට යුරෝ 130 ක් පමණ වැය කල යුතුවේ.

9.Free Spirit Spheres (‘‍ෆ්‍රී ස්පිරිට් ස්පියර්ස්’- කැනඩාව)

  • මෙම හෝටලයේ ඇති හෝටල් කාමර ගස් වල සිට පහළට එල්ලා වැටී ඇති විශාල බෝල වල ස්වරූපයක් ගනියි. මෙම කුටි සුලඟට එහා මෙහා පැද්දෙන නිසා එය සංචාරකයින් හට වෙනස්ම වූ අත්දැකීමක් ලබාදේ. මෙම හෝටලයේ එක් රාත්‍රියක් ගත කිරීමට යුරෝ 155 ක් පමණ වැය කල යුතුය.

10.The Boot at Jester House (‘ද බූට් ඇට් ජෙස්ටෙර් හවුස්’-නවසීලන්තය)

  • නවසීලන්තයේ ටස්මාන් නම් අලංකාර ප්‍රදේශ මධ්‍යයේ පිහිටි මෙම මහල් 2 කින් යුතු මෙම යෝධ බූට් සපත්තුවක හැඩ ගන්නා කොටේජ් නිවස පුද්ගලයින් දෙදෙනෙකු සඳහා නවාතැන්ගත හැකි අපූරු හෝටලයකි. මෙහි එක් ‍රැයක් ගත කරන යුවලකගෙන් යුරෝ 250 ක් පමණ අයකෙරෙන බව සඳහන් වේ.

11.Giraffe Manor (‘ජිරාෆ් මැනර්’- කෙන්යාව)

  • මෙය කෙන්යාවේ නයිරෝබි නුවර ලෝකප්‍රසිද්ධ වි ඇති තැන් අතරින් එකකි. එහි විශාල උද්‍යානයක් වීම ද විශේෂත්වයකි. මෙහි පැමිණෙන සංචාරකයින් හට තම නිවාඩුව ජිරාෆ් සතුන් මධ්‍යයේ ගත කිරීමට අවස්ථාව හිමිවේ. මෙහි එක් ‍රැයක් ගත කිරීමට නම් එක් පුද්ගලයෙකු විසින් යුරෝ 490 ක් පමණ වැය කිරීමට සිදුවේ.

12.ION Luxury Adventure Hotel (‘ඉයන් ලක්ෂුඅරි ඇඩ්වෙන්චර් හෝටලය’-අයිස්ලන්තය)

  • හෙන්ගිල් ගිනිකඳු බෑවුම් මත පිහිටි, පින්ග්වෙලීර් ජාතික උද්‍යානයේ සිට කිලෝමීටර් 18 කට නුදුරින් පිහිටි මෙම හෝටලය භූඋෂ්ණත්ව වා කපොලු මත ඉදි කර ඇත. මෙහි ඇති හෝටල් කාමර සඳහා ජලය සැපයෙන්නේ අසල ඇති උණු දිය උල්පත්ය. එමෙන්ම ඉන් නැගෙන වාෂ්ප නිසා මෙම හෝටල් කාමර සුලඟේ පාවෙමින් ඇති ස්වභාවයක් එහි ලැගුම්ගන්න හට අත්දකින්නට ලැබේ. මෙහි එක් රාත්‍රියක් ගත කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු සඳහා වැය වන මුදල යුරෝ 496 ක් පමණ වේ.

13.Giant Wine Barrel Room (‘ජයන්ට් වයින් බැරල් රූම්’- ජර්මනිය)

  • මෙම හරිත -හෝටල් පරිශ්‍රය අපූරු යෝධ වයින් බැරල් ස්වරූපයක් ගන්නා ආගන්තුකයින් සඳහා වෙන් කරන ලද කුටි වලින් සමන්විතය. ගස් වලින් පිරුණු කඳු පන්ති අතර මැද පිහිටි ඉතා වයින් නිෂ්පාදනය සඳහා සුප්‍රසිද්ධ වී ඇති කුඩා සුන්දර ගම්මානයක් වන සස්බැච්වොල්ඩන් හි පිහිටා ඇත. මෙහි එක් ‍රැයක් ගත කිරීමට වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු සඳහා වැය වන මුදල යුරෝ 156 කි.

14.Treehouse Lodge (‘ට්‍රීහවුස් ලොඩ්ජ්’ -පේරු රාජ්‍යය)

  • වර්ෂාවේ ශබ්දයට සහ කුරුල්ලන්ගේ මියුරු ගීත වලට සවන්දෙමින් සුවදායි නින්දක් ලැබීමට ආශා කරන හීනය සැබෑ කරගත හැකි ආකාරයේ ස්ථානයක් වන මෙම හෝටලයට පැමිණෙන සංචාරකයින් හට නවාතැන්ගැනීමට සිදුවන්නේ ගස් මත ඉදිකර ඇති බංගලා තුලයි. පිටතින් බලන විට ඒවා පෙනෙන්නේ කුරුල්ලන්ගේ කූඩු ලෙසයි. ඒවා එකිනෙකට ලෑලි පාලම් වලින් යා වී ඇත. මෙම අසාමාන්‍ය හෝටල් පරිශ්‍රය පේරු හී ආකර්ෂණීයම සංචාරක ස්ථානයකි. පුද්ගලයින් දෙදෙනෙකු සඳහා මෙහි රාත්‍රින් දෙකක් ගත කිරීමට වැය වන මුදල යුරෝ 1238 කි.

15.Icehotel (‘අයිස් හොටෙල්’- ස්වීඩනය)

  • මෙම අයිස් හෝටලය අසමසම ගෘහ නිර්මාණ ශෛලීන්ගෙන් සහ අභ්‍යන්තර සැකසුම් වලින් සෑම වසරකදීම ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ එරටේ දක්ෂතම නිර්මාණශිල්පීන් අතිනි. එහි ඇති කාමර LED ලාමු, සත්ව සම්, ඡායාරූප සහ අයි කැටයම් ආදි නොයෙකුත් අලංකරණ විධි වලින් හැඩගන්වා ඇත. එකිනෙකට වෙන් වූ ගොඩනැගිලි සඳහා ඉහළ මට්ටමේ සැපපහසුකම් සලසා දී ඇත. මෙහි නවාතැන්ගැනීමට පැමිණෙන ආගන්තුකයින් හට විශේෂ උපදෙස් මාලාවකට අනුව කටයුතු කිරීමට සිදුවීම ද විශේෂත්වයකි. මෙහි එක් රාත්‍රියකට වඩා වැඩි කාලයක් ගත කිරීම නිර්දේෂ කල නොහැකි දෙයක් බව පැවසේ. කෙසේහෝවේවා, මෙහි එක් රාත්‍රියක් ගත කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු සඳහා යුරෝ 578 ක් පමණ අය කෙරේ.