Hela Rahas

Hela Rahas Official Web Portal

මිනිස් සිරුර ගැන අමුතු කරුණු 20ක්

මිනිස් සිරුරේ බලය පුදුමාකාරයි. උදාහරණයක් විදියට, මිනිස් ඇට ක‍ටු වානේ වලටත් වඩා ශක්තිමත්, ඒ වගේම අපේ ආමාශයික යුෂ වලට හැකියි ලෝහ දියකර හැරීමට! ඒ විතරක් නොවේ,අපේ සිරුරේ විවිධ අවයවයන් සතුව පුදුමකරවන සුලු කුසලතා, හැකියාවන් පවතින අතර තව දුරටත් ඒවා අනාවරණය කරගනිමින් පවතිනවා. ඒ වගේම මිනිස් සිරුර බොහෝ අභිරහස් ප්‍රමාණයක් සඟවාගෙන සිටිනවා.
අද අපේ පි‍ටුවෙන් ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරවන, මිනිස් සිරුර ගැන වඩාත් ආකර්ශණීය කරුණු 20 ක් ගැන තොරතුරු ගෙන ආවා. ඇත්තටම මේ අපේ සිරුර ගැන අහන්නට ලැබුණු වෙනස්ම ආකාරයේ කරුණු එකතුවක් . මේ සෑම දෙයකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද තිබෙනවා. ඔට්‍ටුයි! මේවා අතරින් සමහර තොරතුරු ඔබ කවදාවත් අසා නැතිව ඇති.

1.මිනිසුන් සහ හම්බෙල්ලන් අතර බොහෝ සමානකම් ඇත – බැලූ බැල්මට නොපෙනුනත් මිනිසුන් සහ හම්බෙල්ලන්ගේ සිරුරේ සමානකම් තිබෙනව බවයි කියන්නේ. අපේ සිරුරේ DNA වලින් 70% ක් පමණ හම්බෙල්ලාගේ සිරුරේ ඇති DNA වලට සමානකම් කියයි. කලකට ඉහත දී සෑම සත්වයෙකුම ශාක මෙන් එක් පොදු ජීවි මූලාරම්භයකට සමානකම් කීහ. ඒ අනුව මිනිස් සිරුරේ සහ කෙසෙල් වල DNA 50% ක් එකිනෙකට සමානකම් කියයි. ඒ අනුව මිනිසා යනු කෙසෙල් ගෙඩි බාගයක් හෝ පිපිඤ්ඤා ගෙඩියකින් 40% ක් තරම් නිර්මාණයක් බවයි කියන්නේ. ඒ අනුව බලන විට පෘථිවියේ සියලුම ජීවීන් එකිනෙකාට යම් තාක් දුරකට නෑකම් කියයි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් යම් සංධිස්ථානයකදී අපගේ වර්ධනයන් විවිධ මාර්ග ඔස්සේ වෙනස්වීමට පටන්ගන්නට ඇති බව සරලවම අවබෝධ කරගත හැක.

2.මිනිස් සිරුරේ අතිරේක ඉළ ඇටයක් පිහිටයි-මිනිසුන් 200 අතරින් එක් අයකුට අමතර ඉළ ඇටයක් උත්පත්තියෙන්ම පිහිටයි. වෛද්‍ය විද්‍යාවේදි මෙය හඳුන්වන්නේ ග්‍රෛවී ඉළය (cervical rib) ලෙසයි. මෙය කුංචිකාව හෙවත් අකුඇටයට ඉහළින් පිහිටන අතර පුද්ගල්යාට කිසිඳු පීඩාවක් ඇතිනොකරයි.

3.ATM යන්ත්‍ර සහ පොදු වැසිකිළි යන ස්ථාන එක සමානවම අපිරිසිදුය-බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල බැක්ටීරියා පර්යේෂණ මාලාවකදි මෙය තහවුරු විය. ඔවුන් විසින් එම යන්ත්‍ර වල කීබෝඩ් වලින් ලබාගත් සාම්පල වල මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස හානි පමුණුවන භයානක බැක්ටීරියා විශේෂ ගණනාවක් හඳුනාගත් බව පැවසේ.

4.කකුල් වල නියපොතු වලට වඩා අත්වල නියපොතු වේගයෙන් වර්ධනය වේ-මීට හේතුව නම් ඒවා නිරන්තරයෙන්ම හිරු එළියට නිරාවරණය වී තිබිමයි. ඔබට හුරු අත නැතිනම් ඔබ වැඩකරන අතේ නියපොතු අනෙක් අතට වඩා වේගයෙන් වර්ධනය වේ. වඩාත් දිගින් වැඩිම නියපොත්ත වර්ධනය වන්නේ මැදැඟිල්ලේය. ඇඟිලි විශාල වන තරමට නියපොතු ද දිගුව පිහිටයි. නමුත්, මේ සඳහා බලපාන හේතුව නම් කවුරුත්ම තවම දන්නේ නැහැ.

5.බොටොක්ස් එන්නත් (Botox injection) මඟින් පුද්ගලයා හැඟිම් (චිත්තාවේගයන්) වලින් තොරකරයි-බොටොක්ස් එන්නත් මඟින් මුහුණේ මාංශ පේශීන් අඩපණ කරලන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණේ ‍රැළි වැටීම් නැතිවි යාම සිදුවේ. නමුත් ඉතා මෑතකදී මෙම ක්‍රමයේ අතුරු බලපැමක් පිලිබඳව තතු හෙලිකරගැනීමට විද්‍යාඥයින්ට හැකිව තිබෙනවා. එනම් මෙම එන්නතට භාජනය වන පුද්ගලයින් හට චිත්තාවේගයන් පූර්ණ ලෙස දැනීමේ හැකියාව අහිමිව යන බවයි. එනම් ඔවුන්ට බොහෝ හැඟීම් පිලිබඳව තවදුරටත් ප්‍රබල ලෙස නොදැනිය හැකි බවයි. මුහුණේ භාව ප්‍රකාශන චිත්තාවේගී භාවය කෙරෙහි සෘජුවම බලපායි. ඒ අනුව බොටොක්ස් එන්නත් භාවිතා කරන්නන් හට පූර්ණ ලෙස ඔවුන්ගේ හැඟීම් සහ භාවයන් ප්‍රකාශ කිරීමට නොහැකිව යයි.

6.ඉක්කා වැටීම අපේ අතීත මුතුන්මිත්තන්ගෙන් උරුම වූ දෙයකි-මෙය වසර මිලියන 370 කටත් එහා ජීවත් වූ ආදි මුතුන් මිත්තන්ගෙන් අපට ශේෂ වූ දායාදයක් ලෙස සැලකේ. ඔවුන්ට සාගරයේ පවා පිහිනීමට හැකිව තිබූ අතර ඒ සඳහා කරමල් සහ පෙනහළු සහිත ශරීර පිහිටා තිබෙන්නට ඇත. මෙම ඉක්කා නමැති යාන්ත්‍රණය අතීතයේ මුතුන් මිත්තන් දිය ආයානයෙන් (ප්‍රවේශයේදී) තම පෙනහළු ආරක්ෂා කරගැනීම උදෙසා භාවිතා කල උපක්‍රමයක් යැයි සඳහන් වේ.

7.හෘදයාබාධ තත්වයන් බොහෝමයක ඇතිවන්නේ සඳුදා දිනවලය-සඳුදා දිනවල හෘදයාබාධ ඇතිවීමේ අවදානම් පිරිමි පුද්ගලයින් සඳහා 20% කින් ද කාන්තාවන් සඳහා 15% න් ද ඉහළ යයි. මේ සඳහා බලපාන්නේ නැවත රාජකාරියට වාර්තා කල යුතු බවට ඇතිවන ආතතිය බව පැවසේ. එමෙන්ම විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට සති අන්තයේ බොහෝ අය මත්පැන් පානය කිරීම සිදුකිරීමත් හෘදයාබාධ ඇති වීමට හේතු සාධක විය හැකි බවයි.

8.යටි පතුලේ ඇතිල්ලූ සුදුලූණු වල රසය දිවට දැනේ-ඔබේ පතුල් වල සුදුලූණු බික්කක් අතුල්ලන විට මිනිත්තු 30 කින් පසුව එහි රසය සහ සුවඳ ඔබේ මුවට දැනෙන්නට පටන්ගනියි. මෙසේ සිදුවන්නේ ඇලිසින් (allicin) නිසාය. එය සුදුලූණු යාන්ත්‍රිකව සංහරණය වන විට නිපදවෙන කාබනික සංඝටක විශේෂයකි. ඒවාට සෛල පටල හරහා විනිවිද ගමන් කල හැකි අතර රුධිර ප්‍රවාහය ඔස්සේ ගමන් කරමින් රස අංකුර වෙත ලඟාවේ. සුදුලූණු ආහාරයට ගන්නා පුද්ගලයින්ගේ මුඛයෙන් පමණක් නොව මුලු සිරුරෙන්ම එම දුර්ගන්ධය දැනෙන්නේ මේ හේතුව නිසයි. එනම් ඒවායේ ගන්ධය රුධිරයේ ද්‍රාවණය වන නිසාය.

9.එක් මිනිසෙකුගේ සිරුරේ ඇති රුධිර ප්‍රමාණය මදුරුවන් මිලියනයකට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් ය.එක් මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ ප්‍රමාණය මදුරුවන් මිලියන 1.2-1.8 ක් තරම් විශාල ප්‍රමාණයට ආහාර ලෙස සෑහේ. මේ සියල්ල පදනම් වන්නේ පුද්ගලයාගේ උස සහ බර මෙන්ම කෘමියාගේ බඩගින්නේ තරම අනුවයි. එක් මදුරුවෙක් එක් දෂ්ට කිරීමකින් මිලි ලීටර් 0.003 ක් තරම් ප්‍රමාණයක් ලේ උරා බොයි. පුද්ගලයාගේ සිරුරේ ඇතු මුළු රුධිරය උරා බීමට විශාල මදුරු සේනාවකට හැකි වුණත් එවන් සිද්ධියක් සිදුවීමේ සම්බාවිතාවක් නොමැති තරම්ය.

10.වැසිකිළි යාමට අවශ්‍ය වූවිට පුද්ගලයින් වඩාත් හොඳින් ඒත්තුගැන්වෙන ආකාරයෙන් බොරු පවසති-මූත්‍රාශය පිරී ඇතිවිට පුද්ගලයින් අනෙකාට ඒත්තුගැන්වෙන ආකාරයේ බොරු පවසති. වැසිකිළියට යාමට ඇතිවන දැඩි අවශ්‍යතාව එම පුද්ගලයාව හොඳින් සාවධාන කර ස්වයං-පාලනය ඇති කරවයි. එහිදී ඔහු/ඇය පවසන ඔනෑම බොරුවක් ඇත්තක් ලෙස පෙනේ.

11.සිපගන්නා විට බොහෝ පුද්ගලයින් හිස එක් පැත්තකට හරවයි-සිපගන්නා විට 70% පමණ දෙනා දකුණු පැත්තට හිස ඇල කරති. මෙය ජර්මානු විද්‍යාඥයෙකුගේ පර්යේෂණ හෙලිදරව්වක් ඇසුරින් ඉදිරිපත් වූ මතයකි. මේ සඳහා ඔහු ගුවන් තො‍ටුපල, දුම්රිය පොළ සග වෙරළ ප්‍රදේශ වලදී පෙම් යුවලවල් අධ්‍යයනය කර තිබිණි. මෙසේ හිස හැරවීම බොහෝ දුරට දකුණු අත හුරු වීම කෙරෙහි සම්බන්ධතාවක ඇතැයි ද මත පළ වේ.

12.IQ මට්ටම ඉහළ වන තරමට පුද්ගලයින් දකින සිහින අතිශය අපූරු බවින් යුත් ඒවා වේ.විද්‍යාඥයින් පවසන්නේ පහළ IQ මට්ටමක් ඇති අයට වඩා ඉහළ සහජ බුද්ධියක් ඇති පුද්ගලයින් ඉතා චිත්තාකර්ෂණීය -දිගු-දිප්තිමත් සිහින දකින බවයි. ඔබ රාත්‍රියේදි දු‍ටු සිහින ඔබට පසුදා අමත වේ නම් සිත අමනාප කරගන්න එපා! සිහිනයක් පවතින්නේ තත්පර කිහිපයකට පමණක් නිසා බොහෝමයක් දෙනාට සාමාන්‍යයෙන් සිහින මතක සිටින්නේ නැත.

13.මිනිසුන් කඩදාසියක මුද්‍රණය කර ඇති තොරතුරු වඩාත් හොඳින් සංජානනය කරගනිති-නෝර්වේ හි විද්‍යාඥයින් පිරිසක් විසින් කල අධ්‍යයනයකදි සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට තොරතුරු වල මුද්‍රිත පිටපත් ද අනෙක් කණ්ඩායමට PDF ක්‍රමයේ ඩිජිටල් පිටපත් ද පරිගණක තිර ඔස්සේ කියවීමට කාලය ලබාදි තිබුණි. එහිදි හඳුනාගැනීමට ලැබුණේ මුද්‍රිත පිටපත් ලද කණ්ඩායමේ සිසුන් හට තොරතුරු පිලිබඳ හොඳ මතකයක් තිබුණු බවයි. ඔවුන්ට එය අවබෝධ කරගැනීම පහසු වී තිබිණි. ඩිජිටල් තාක්ෂණයට වඩා පොත පතේ වටිනාකම කියවෙන පර්යේෂණයක්!

14.හොඳ දිවා ආහාර වේලකට පසුව ඔබේ ශ්‍රවණ හැකියාව දුර්වල වේ-බඩ පිරෙන්න ආහාර ගත් පසු ඇතැම් පුද්ගලයින්ට කනේ යම් ශබ්දයක් ඇසෙන ගතියක් අත්දකිති. බොහෝ ආහාර සහ පාන වර්ග අපේ අභ්‍යන්තර කනේ ඇති තරල මට්ටම කෙරෙහි බලපෑම් ඇති කරවිය හැකි අතර ඒ හැතුවෙන් ශබ්ද ඇසීම වැනි තත්වයන් හටගනියි. පැණි රස සහ ලුණු අධික ආහාර මෙන්ම කැෆේන් අධික ලෙස පරිභෝජනය කිරීම නිසා තාවකාලික ලෙස කන් ඇසීම පරිහාණියට ලක්වන අතර තදබල නිදිමත ගතිය ඇති වේ.

15.උණ්ඩුක පුච්ඡය යනු වැදගත්කමක් ඇති අවයවයකි-උණ්ඩුක පුච්ඡ්ය ප්‍රදාහයට ලක්වීම හෙවත් ඇපෙන්ඩිසයිටීස් යනු ඉතා වේදනාකාරී රෝග තත්වයකි. සාමාන්‍යයෙන් අප කුඩා කල ඉගැන්වූයේ උණ්ඩුක පුච්ඡ්ය යනු අල්පවිකසිත අවයවයක් බවත් ඉන් ප්‍රායෝගිකව සිදුවන ක්‍රියාකාරී ප්‍රතිලාභයක් නොමැති බවත්ය. කෙසේවෙතත්, වර්තමාන විද්‍යාඥයින් ඊට හාත්පසින් විරුද්ධ මතයක් දරති. ඔවුන් පවසන්නේ එය බඩවැල් (අන්ත්‍ර) තුල සිටින හිතකර බැක්ටීරියාවන් සඳහා ජීවත්වීමට සුදුසු ආරක්ෂිත වාසස්ථානයක් ලෙස ක්‍රියාකරන බවයි. බඩවැල් තුල ක්‍රියාකාරීත්වය කෙරෙහි දායක වන ක්ෂුද්‍රජීවින් ගබඩා කර තබාගැනීමට මෙම අවයවය දායක වේ. අන්ත්‍ර තුල යම් ආසාදන තත්වයක් වැනි ගැටලුකාරී තත්වයන් ඇති වීඉමකදී උණ්ඩුක පුච්ඡය තුල හිතකර බැක්ටීරියා නව ගහනයක් වර්ධනය කිරීම එහිදී සිදුවේ.

16.වසන්ත සෘතුවේදි දරුවන් වේගයෙන් වර්ධනය වේ-විවිධ කාල සීමාවන් වලදි දරුවන්ගේ වර්ධනය වෙනස් වෙනස් ස්වභාවයන් ගනියි. කුඩා දරුවන් වෙනත් සෘතු කාල සීමාවන් වලදි වඩා වසන්ත සෘතුවේදී වේගයෙන් වර්ධනය වන බව සඳහන් වේ. මෙස වේගයෙන් වර්ධනය වීම සඳහා හිරුගේ ක්‍රියාකාරීත්වය බලපාන බව විශ්වාස කෙරේ.

17.මී පැණි පහසුවෙන් ජීර්ණය වන සුලු ස්වභාවයක් ගැනීමට බලපාන රහස-මිනිස් සිරුර තුලදී මී පැණි ඉතා හොඳින් ජීර්ණය වීමට හේතුව නම් මී මැස්සන් විසින් ඒවා ඒ වන විටත් ජීර්ණය කර තිබීමයි. මී පැණි යනු මී මැස්සාගේ සිරුර තුල වරක් ජීර්ණය වී පවතින මල් පැණිය. එහි සරල කාබෝහයිඩ්‍රේට අන්තර්ගත වේ. ඒවා පූර්ණ වශයෙන් මිනිසුන්ගේ සිරුරට අවශෝෂණය වේ. එමෙන්ම ඒවා පසුවට කල් තබාගැනීමක් සිරුර තුල සිදුනොවේ.එනම් මෙම කාබෝහයිඩ්‍රේට සිරුරේ තැන්පත් නොවේ.

18.වම් පෙනහළුවට වඩා දකුණු පෙනහළුව විශාලය-ඔබේ සිරුරේ ඇති පෙනහළු වල ධාරීතාව සහ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම එකිනෙක වෙනස් ය. හෘදයේ පිහිටීම මීට හේතුවයි. දකුණු පෙනහළුව බරින් වැඩි වන අතර වම් පෙනහළුවට වඩා විශාලත්වයෙන් ද වැඩිය. ඒ පපු ප්‍රදේශය තුල හෘදයට අවශ්‍ය අවකාශය සලසා දීම සඳහාය.

19.මිනිස් ඇසේ විභේදනය (resolution) මෙගාපික්සල් 140 කි-මිනිසාගේ ඇස ඩිජිටල් කැමරාවකට සම වූයේ නම් එහි විභේදන අගය එක් ඇසක මෙගාපික්සල් 120-140 ත් අතර අගයක් ගනියි. නමුත්, මෙම පික්සල් අගයන් සමානව පිහිටා නැත. ඇසේ මැද කොටසේ වර්ග මිලිමීටරයක ඇති වර්ණ ග්‍රාහක ගණන 200,000 ක් පමණ වුව දෑසේ පැත්ක මෙසේ ග්‍රාහක පිහිටා ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

20.මිනිසුන්ගේ සහ මෝරුන්ගේ ඇසේ කනිනිකාවන් ඉතා සමානය-මෝරෙකුගේ ඇසේ කනිනිකාව හෙවත් සුදු ඉංගිරියාව මිනිස් ඇසේ එම කොටසට සමානකම් කියන අතර ඊට අවශ්‍ය තාක්ෂණය ලොව පැවතියේ නම් මොරෙකුගේ කනිනිකාවක් මිනිස් ඇසකට බද්ධ කිරීමේ හැකියාව පවා පවතින බව සඳහන් වේ.