Hela Rahas

Hela Rahas Official Web Portal

විෂ්ණු දෙවියන් දුටුව ආනන්ද මෛත්‍රිය හිමි

  • මතු බුදු වන බෝධිසත්වයන් වහන්සේ නමක් වෙන, අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ට මෛත්‍රී බෝධිසත්වයන්, කතරගම දෙවියන් හා විෂ්ණු දෙවියන් දර්ශනය වුන අයුරු පොත් වල සඳහන් වෙනවා. ආනන්ද විද්‍යාලයේ සිටින කාලයේ භාවනා කරනකොට එක රැයකදී එකපාටම උන්වහන්සේගේ අතීත ජිවිත ප්‍රකට වෙන්න පටන් ගෙන ඇත. ආනන්ද හිමිට ඒවා දැනගන්න ඕනෑකමක් නොතිබුණ බවත් ඒත් උන්වහන්සේට තමන්ගෙ වර්තමානය අමතක වුන බවත් සඳහන්.
  • ඉතිං එහෙම අතීතයේ ජීවත් වෙද්දි උන්වහන්සේ සිට තිබෙන්නෙ හයිද්‍රාබාද් නුවර මිහිර් කුල් මිහිර්චන්ද්‍ර නම් බ්‍රාහ්මණයෙක් වෙලා. ඒ කාලේ ජීවිතේ උන්වහන්සේට මතක් වෙලා ටික වෙලාවකින් ආය වර්තමානය මතක් වුන බව කියනවා. එසේ අතීතය සිහි වෙලා තියෙන්නෙ උන්වහන්සේ ටික වේලාවක් දේවත්වය ලබාගෙන සිට ඇති බව සඳහන්.
  • ඒ වගේම තව දවසක් ආනන්ද නාහිමි කාමරයේ දොර වසාගෙන ඇස් පියා ගෙන භාවනා කරමින් සිටිද්දි එක පාරටම එළියක් වැටිලා. මහා එළියක් වගේ කියලා හිතලා ඇහැ ඇරලා බැලුවම හැම තැනම එලිය වැටිලා. ඒ එළිය ඇවිත් තියෙන්නෙ උන්වහන්සේ ඉදිරයෙ තිබුන බිත්තියෙන්. බිත්තිය මැදින් එළියක් විහිදිලා. මොකක්ද මේ එලිය කියලා ටික වෙලාවක් බලා සිටිය උන්වහන්සේට දකින්න ලැබුණේ ක්‍රමයෙන් හෙවනැල්ලක් වගේ රුපයක් මතු වීම. එය මතුවෙලා මතුවෙලා ඇවිදිල්ලා සාමාන්‍ය ජිවත්වන මිනිසෙකුගේ ස්වරුපයට ආව බවත් ඊට පිටිපස්සෙන් තවත් පිරිසක් සිටි බවත් කියනවා.
  • ඒ මිනිසා තාපස ස්වරූපයකින් සිට ඇත. හරිම ලස්සනයි. මේ රුපයේ තිබුන ශාන්ත ලස්සනකම නිසා උන්වහන්සේගෙ චිත්‍ර හැකියාවෙන් එය සිතුවමට නගන්න සූදානම් වෙද්දිම ඔක්කොම නොපෙනී ගිහින් කාමරය අඳුරු වෙලා. ආයත් භාවනාව පටන් ගත්ත උන්වහන්සේට අර තනි පුද්ගලයා ඇත්තා විතරක් ආයෙත් හොදට පැහැදිලිව පෙනුන බව උන්වහන්සේ පවසා ඇත. ” මා ඉතින් ඒ රුපය හිතට ගනිමින් ඉන්න වෙලාවේ මේ රුපය නෙවෙයි ධර්මය දිහා බලන්න කියලා අවවාද කළා. අවවාද කරලා නොපෙනී ගියා. මේ උත්තමයා ශ්‍රේෂ්ට දේවතා කෙනෙක්. මට ඒ උත්තමයාගේ ආරක්ෂාව හැමදාම තියෙනවා”. උන්වහන්සේ පවසා ඇත.
  • උන්වහන්සේ මේ දේවල් ප්‍රසිද්ධ කරන්න අකමැති බව සඳහන් කර ඇත. මොකද ඒවා පිළිගැනීමට කෙනෙක්ට අපහසු නිසා. ” මා කතරගමදී කතරගම දෙවියන් මගේ ඇස් දෙකින්ම දැක්කා. මට සම්පුර්ණයෙන්ම විශ්වාසයි කතරගම දෙවියන් ඉන්නවා කියලා. එතුමගේද ආරක්ෂාව මට එහෙම පිටින්ම තියෙනවා”.
  • උන්වහන්සේගේ පන්සලේ ආනන්ද හිමි සාමණේර කාලය ගත කරද්දී හැමදාම විහාරේ වත් පිළිවෙත කලේ උන්වහන්සේ බව කියනවා. “හැමදාම උදේ නැගිටලා විහාරෙට ගිහිල්ලා අතුපතුගාලා මල් වට්ටියක් කඩලා පාන් පත්තු කරලා බුදුන් වැඳ පුදලා එනවා. හැන්දෑවේ බුදුන් වැදලා වත පිරිත කියනවා. පිරිත් කියල අවසන් වෙලා විහාරය ඉදිරියෙන් තිබුණු විෂ්ණු දේවාලයටයි සමන් දේවාලයටයි ගිහින් දෙවියන්ට පින් දෙනවා.
  • මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න අපේ හාමුදුරුවන් මා කොළඹ එවන්න කීපවරක්ම උත්සහ කළා. පන්සලේ හිටිය මට වැඩිමහලු අනික් හාමුදුරුවන් මට බොහොම ඊර්ෂ්‍යා කල කෙනෙක්. ඒ හාමුදුරුවන් එක එක දේවල් කියලා අපේ හාමුදුරුවන් බය ගන්නවනවා. ඔය ලාබාල උන්නාන්සේ ඔහාට යැව්වම නරක් වෙයි කියලා ඒවා මේවා කියලා. ඉතින් හාමුදුරුවන් ඒවා අහලා පසුබට වෙනවා. ඔය කාලයේ ධර්මපාල තුමන් සමග මා ලියුම් ගනුදෙනු කරමින් සිටියා.
  • එතකොට උන්නැහේ හිටියේ ඉන්දියාවේ. උන්නැහේ මට ලියලා එව්වා පොඩිනම මෙහාට එන්න ධර්ම දුත වැඩවලටත් එක්ක ඉංග්‍රීසි ඉගෙනගන්නත් වැඩ පිළිවෙලක් යොදන්නම් කියලා. ඉතින් හාමුදුරුවන් ඒකට කැමති උනා. නමුත් අර හාමුදුරුවන් ඒක වැළක්වුවා. මගේ හැම වැඩකටම ඒ හාමුදුරුවන් බාධා කරනවා.
  • දවසක් මා බුදුන් වැඳලා ඉන්පසු අර විෂ්ණු දේවාලයට ගිහින් කිවුවා මගේ දියුණුවට අහවල් පුද්ගලයා බාධා කරනවා ඇයි තමුන්නාන්සේ බලන්නේ නැත්තේ කියලා. දවස් තුන හතරක්ම මා ගිහිල්ලා ඔය විදියට කිවුවා. අන්තිම දවසේ හීනෙනුත් මා ඒ විෂ්ණු දේවාලයට ගියා ගිහිල්ලා මේ කන්නලව්ව කළා. ඒ පාර විෂ්ණු රූපේ නැගිට්ටා. ඒ මට හීනෙන් පෙනිච්ච හැටි.
  • නැගිටලා ආවා අඩි දෙකතුනක්ම ඉස්සරහට . මා පස්සට පැන්නා. විෂ්ණු රූපය අත උස්සලා ඇගිල්ල දික් කරලා කිවුවා මේ මට කරච්චල් කරන්නෙපා. තව ටික දවසකින් තමුන්නාන්සේ කොළඹට අරිනවා කියලා. ඇත්තටම මට විරුද්ධකම් කරන අර හාමුදුරුවන් උන්වහන්සේගේ ගමට ගියා. ආපසු එන්න සුමාන දෙකක් පරක්කු උනා”.
  • “මේ අතර පත්තරේ තිබුනා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ආනන්ද විදුහලට භාරගන්නවා කියලා. හාමුදුරුවන් මට කතා කළා. පුංචි උන්නාන්සේ යමු කොළඹ කියලා ගමන් වියදම් එවන්න කියලා තාත්තට දැනුම් දෙන්නත් කිවුවා. මා තාත්තට දැනුම් දුන්නා. තාත්තා ගමන් වියදම් එව්වා. අප පිටත් වුනා. අට හාමුදුරුවන්ට බාධා කරන්න අවස්තාවක් ලැබුනේ නෑ. ඉතින් දෙවියන්ගේ උපකාරය තියෙනවා කියන එක දෙවියන් ඉන්නවා කියන එක මට සම්පුර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ වුනා” උන්වහන්සේ පවසා ඇත.