Hela Rahas

Hela Rahas Official Web Portal

ආනන්ද රහතන් වහන්සේ පෙර ජාතියකදී කාන්තාවක් වී ඉපදීමට හේතුව

  • අප බුදු සසුනෙහි සතිමන්ත ගතිමන්ත ඨිතමන්ත බහුශ්‍රැත අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ ද පෙර එක් ජීවිතයක ධනවත් රන්කරුවෙක්ව සිටිය දී පරදාර සේවනයේ යෙදී බොහෝ දුක් විපාක වින්දේය.එදා රන්කරු කාලයේ කළා වූ පාප කර්මය අළුයට ගිනිමෙන් අවකාශයක් නොලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටු පුත්‍රයෙක්ව උපන්නේය.එහිදී කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතිව බොහෝ කුසල කර්ම කළේය.
  • නමුත් පෙර රන් න්කරු කාලයේ කළා වූ පරදාර කර්මය අළුයට ගිනිමෙන් මතු වී එයින් චුතව රෝරුව මහා නරකයේ බොහෝ කාලයක් පැසුනේය. බොහෝ දුක් විඳ එයින් චුතව පරදාර කර්මයේ විපාක වශයෙන් මහත් බල සම්පන්න (ගැල් වල) යානාවල යෙදෙන්නා වූ උදුරන ලද බීජ ඇති එළුවෙක් වෙලා උපන්නේය.
  • එයින්ද මැරී ගොස් දසන්ත රට මහත් බලවත් ගොනෙක් වී බීජුද්ධරණය කොට ( දෙනුන් ගැබ් ගැන්වීමේ ශක්තිය නැතිකොට) ගැල් අදිමින් පරදාර කර්මයේ විපාක විඳ එම පරදාර කර්මය හේතුවෙන් නැවතත් ඉන් චුතව වැද රට ස්ත්‍රියක් ද පුරුෂයෙක්ද නොවු නපුංසකයෙක්ව උපන්නේය. ඉන් ද මැරීගොස් තව්තිසා දෙව්ලොව දෙවඟනක් වී උපන්නේය.
  • මෙසේ නැවතත් තුන් වතාවක්ම සක් දෙවිඳගේ පාද චාරිකාවක් වී ද නැවත දෙවරක්ම ජවන නම් දෙව් සුන්ට අග මෙහෙසිය වී ද ඉන් චුත වී අංගාතී රජුගේ අග මෙහෙසිය කුස පිලිසිඳ රුජා නම් රාජ කන්‍යාවක් වී ඒ ආත්මයෙන් අත්මිදී තව්තිසා දෙව්ලොව මහත් ආනුභව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නේය. මෙසේ පාරමී පුරන්නා වූ මහත් පුණ්‍යවන්තයන්ට පවා පරදාර සේවනය හේතුවෙන් මහත් දුක් විපාක විඳින්න සිදු විය. එබැවින් සසර සැප කැමති සත්පුරුෂයන් විසින් පර පුරුෂ පර ස්ත්‍රී සේවනයෙන් තම ජීවිත ආරක්ෂා කර ගනිත්වා.