Hela Rahas

Hela Rahas Official Web Portal

නිරෝගි බවේ අග තනතුර ගත් බක්කුල මහරහතන් වහන්සේ

බුදුහාමුදුරුවො වැඩ ඉන්න කාලෙ විවිධ දේවල් වලින් අග්‍රස්ථානය ගන්න භික්ෂු භික්ෂුනීන් වහන්සේලා වැඩ සිටිය කියලා අපි දන්නවා. ඒ අසූමහා ශ්‍රාවක තනතුරු අතර තිබුණ නිරෝගිමත් වූ ශ්‍රාවක භික්ෂූන් අතර අග්‍රස්ථානය ගත්ත රහතන් වහන්සෙ තමා බක්කුල හාමුදුරුවො කියන්නෙ.

නිරෝගි කෙනෙක් විදියට මෙලොව ඉපදෙන්නත් ජීවත් වෙන්නත් නිසි විදියට ප්‍රතිපත්ති පූරණයේ යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙහෙම නිරෝගි ලෙස ජීවත් වෙන්න හේතුවන පින්කම් රාශියක් බක්කුල හාමුදුරුවෝ පෙර ආත්ම භාවයන් වල කර තිබෙනවා.

අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බක්කුල හාමුදුරුවෝ බමුණු කුලයක ඉපදිලා ත්‍රිවේදයේ පරතෙරට ගිය බමුණු කුමාරයෙක් වුණා. එහි කිසිදු හරයක් නොමැති බව දැනගත්ත ඒ බමුණු කුමාරයා හමාලය යාබද සෝභිත පර්වතයෙ ඍෂිවරයෙකු ලෙස පැවිදි වුණා. ඒ කාලයේ දී පස්මරුන් බිඳ බුද්ධත්වයට පත් වූ අමෝමදස්සි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන සදහම් චාරිකාවේ වැඩම කළා.

උන්වහන්සේ විවේකය පිණිස මෙම ඍෂිවරයාගේ අසපුව අසල වූ ආරණ්‍යයට වැඩම කළා. ඒ බව දැනගත්ත ඍෂිවරයා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් බණ අසා තිසරණයෙහි පිහිටියා. තවුස් බව අතහැර පැවිදි වීමට සිත නොදුන්න මේ තවුසා කාලෙන් කාලෙට ගිහින් උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට පුරුදු වී සිටියා. දවසක් මෙි තවුසා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ආවාම උන්වහන්සේ ගිලන්ව සිටින බව දැන ගන්න ලැබුණා.

එවිට තාපසතුමා “ස්වාමිනී කුමන වූ ආබාධයකින් ඔබවහන්සේ පෙළෙන්නේදැ”යි ඇසුවා. එය උදරවාතයක් යැයි දැනගත් තාපසතුමා මෙය මා හට පින්කිරීමට සුදුසු අවස්ථාවක් යැයි සිතා අසපුවට ගොස් ශිෂ්‍යයින් සමඟ නොයෙක් ආකාරයෙන් ඖෂධ පිළියෙළ කොට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. බෙහෙත් වැළඳීමත් සමගම උන්වහන්සේගේ රෝගාබාධ සුව වුනා. පසුව තාපසතුමා “ස්වාමින්වහන්ස, මාගේ බෙහෙතින් ඔබවහන්ස්ට යම් පහසුවක් ඇති වූයේ ද එකී පින්කමේ විපාකයෙන් මම ද උපනූපන් සෑම භවයකදීම සුලු කලකට වුව ද කිසිදු ශරීර ව්‍යාධියක් නොම වේවා” යැයි ප්‍රාර්ථනා කළා කියලා පැවසුවා.

ඉන් බොහෝ කල්පයකට පසුව විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර බන්ධුමතී නගරයේ බමුණු කුලයක බක්කුල මහරහතන් වහන්සේ ඉපදුණා. එහි දී ද කලින් වගේම ඍෂීවරයෙකු වෙලා පැවිදි ව ධ්‍යානලාභී ව පර්වතයක වාසය කළා. එහි දී විපස්සි බුදුරජාණ්න් වහන්සේ සැටදහසක් පමණ වූ භික්ෂූ සංඝයා පිරිවරාගෙන බන්ධුමති නුවර ඇසුරු කොටගෙන බන්ධූ මහා පියරජුට සංග්‍රහ කරමින් මිගදායේ වාසය කළා.

එය දැනගත් තාපසතුමා උන්වහන්සේගෙන් ධර්මය අසා තිසරණයෙ පිහිටියා. තවුස් පැවිද්ද අත්හැරීමට සිත් නොවූ තවුසා වරින්වර විපස්සි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය කළා, ඇප උපස්ථාන සිදු කළා.

ඒ කාලෙ හිමාලයෙ ගසක පිපුණ මල්වලින් හමා එන වාතය ආඝ්‍රහණය කිරීමෙන් භික්ෂූන්ට මත්ථක නම් (පීනස්) රෝගයක් වැළඳුනා. එ් රෝගය විපස්සි බුදුරජාණන් වහන්සේට හා දෑ අගසව්වන්ට හැර සෙසු සියලු භික්ෂූන් වහන්සේලාට වැළඳුනා.

දවසක් තාපසතුමා ශාස්තෘ උපස්ථානයට පැමිණි විට සෙසු භික්ෂූණ් වහන්සේලා හිසේ සිට පොරවාගෙන සිටිනවා දැකල “ස්වාමීනී කුමක් හෙයින් හිසේ සිට පොරවාගෙන සිටින්නේ ද?” “තාපසතුමනි අපහට මත්ථක නම් පීනස් රෝගය වැළඳී ඇත” භික්ෂූන් වහන්සේ පැවසුවා. එවිට තවුසා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කර පින්කිරීමට ඇති හොඳම කාලය මෙය කියලා සිතා විවිධ බෙහෙත් සොයා එක්කර පිළියෙළ කර දුන්නා. ඒ බෙහෙත් වලින් සියලු භික්ෂූන් වහන්සේලාගේ රෝගය ඒ වෙලාවෙම සුව වුනා කියනවා. ඒ පිං බලෙන් දිවි ඇති තෙක් සිට පින්කම් කොට ආයු කෙළවර බඹ ලොව ඉපදුණා.

ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ බරණැස කුලගෙයක කුලකුමාරයෙක් වෙලා බක්කුල හිමියන් ඉපදුනා. තමන්ගෙ ගෙදර අබලන් තත්වයට පැමිණි බැවින් එය පිළිසකර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයමින් වඩුවන් සමඟ ඈත පිටිසර ප්‍රදේශයකට ගියා. ඒ යන අතරමග එක දිරාගිය මහ වෙහෙරක් දැකලා “මාගේ ගෙයි වැඩ කෙතරම් තිබුණත් මා හට පරලොව සඳහා පින්කිරීමට ඇති හොඳ අවස්ථාවක්” කියල සිතා තමා සමග පැමිණි ඒ වඩුවන් ලවා ම දිරාගිය වෙහෙරෙ පොහොය ගෙය ද, දන් ගෙය ද, ගිනිහල් ගෙය ද, සක්මන් මළුව ද, වැසිකිලි කැසිකිලි හා රෝහලක් ද ඉදිකරවූවා. භික්ෂුන් වහන්සේ සඳහා අවශ්‍ය සියලු බෙහෙත් හේත් ද පිළියෙළ කොට තැබුවා.

අවසන් බවයේ බක්කුල හාමුදුරුවො කුඩා කළ මාළුවෙක්ගෙ කටට ගියා. පින්වත් දරුවෙක් නිසා දරුවා හට කිසිදු කරදරයක් වුනේ නෑ. පස්සෙ ඒ මත්ස්‍යයා ධීවරයෙකුගේ දැලට හසු වුනා. මියගිය මත්ස්‍යයා විකිණීම සඳහා ධීවරයා විසින් වෙළෙඳපොළට රැගෙන යන අවස්ථාවේ දී අසූ කෙළක් ධනය ඇති එක සිටුවරයෙක් කහවණුවක් දී මෙම මත්ස්‍යයා මිල දී ගත්තා. පසුව මත්ස්‍යයා පිසීම සඳහා සිටු දේවියට ලබාදුන් අවස්ථාවේ දී ඇය විසින් මත්ස්‍යයාගේ කුසවිවර කරන අවස්ථාවේ ඇය පුදුම කරමින් මාළුවගෙ කුසෙන් පුතෙක් ලැබුණා. සිටු දියණිය කුමාරයා රැගෙන ස්වාමියා සමීපයට දිවගියා .

සිටුතුමා ඒ වෙලාවෙම දරුවා රැගෙන රජු සමීපයට ගොස් “දේවයිනි, මසු කුසින් මා හට දරුවෙක් ලැබුණි යැයි” කීවා. පසුව රජුගේ අනුදැනුම මත මේ කුලකුමරුවා සැපයෙන් වැඩෙන්නට වුණා. එහෙත් මුල්ගෙදර වූ කොසඹැ නුවර මව වහා පැමිණ කුලකුමරුවා ඉල්ලුව ද දරුවා දීමට අකමැති වුණා.

පසුව මේ දෙන්නා රජු සමීපයට ගොස් කරුණු ඉදිරිපත් කළා. කරුණු විමසූ රජතුමා දරුවා කුල දෙකටම දායාද වන්නේයැයි පැවසුවා. ඔහු කුල දෙකකින් වඩන ලද බැවින් (ද්ව+කුල) ද්වකුල බක්කුල කුමරු යැයි නම් තැබුවා.

ඒ කාලෙ ගෞතම බුදුරජාණන් වහන්සේ ද කොසඹැ නුවර සදහම් චාරිකාවේ වැඩම කළා. බක්කුල සිටු කුමරු බුදුරජාණන් වහන්සේ වැඩම වූ බව දැන බොහෝ සුවඳ මල් ආදිය රැගෙන බුදුන් සමීපයට ගොස් දහම් අසා ශ්‍රද්ධා සිත් අති ව පැවිදි වුණා.

පසුව හත්දිනක් පුහුදුන් කෙනෙක්ව සිට අටවැනි දවසෙ උදෑසන සිවිපිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. බක්කුල මහරහතන් වහන්සේ පෙර සංසාරයේ භික්ෂුන්ට උපස්ථාන කළේ හුදු පින් බලාපොරොත්තුවෙන්ම පමණක් නොවේ. උන්වහන්සේගේ සුඛ විහරණය ද බලාපොරොත්තුවෙනි. අන්අයට පිහිට වුයේ ද යම් දෙයක් අපේක්ෂාවෙන් ද නොවේ. අන් සත්වයාගේ යහපත වෙනුවෙන්. ඔවුන්ගේ සැපය උදෙසා.