Hela Rahas

Hela Rahas Official Web Portal

ලංකවේ පහළ උන චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ

  • ලංකාවට බුදුදහම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමවීමත් සමඟ කියල අපි දන්නවා. ඒ දවසෙ ඉදන් මේ ලක්බිම තුළ මොන තරම් උතුම් හිමිවරු, රහතන් වහන්සෙලා සිටියාද. ඒ වගේ මහරහතන් වහන්සේ නමක් ගැන තමා අද අපි කියන්නෙ. ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේය.විහාර මහා දේවියගේ සොහොයුරෙක් තමා චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ කියන්නෙ.
  • චුල්ල පිණ්ඩපාතික තිස්ස හිමි අරහත්වයට පත් වුනේ මෙන්න මේ ආකරයටයි. රුහුණු ජනපදයෙ එක ගමක නකුල කියලා උපාසකයෙක් සිටියා. ඔහු ගොඩක් දුප්පත්. ඔහුගේ දුව මාගම ගෙදරක වැඩ කළා. ඒ ඔවුන් ඒ ගෙදරට කහවණු දොළහක ණයක් ගෙවන්න. නකුල උපාසක තමන්ගේ දුව බේරා ගැනීමට බොහොම මහන්සියෙන් බැලමෙහෙ කරලා කහවණු දොළහක් සොයාගෙන මාගමට යන අතරමග චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ දුටුවා. ඔහු සිතුවේ තවම උදේ කාලයයි, ළඟ ගමකුත් නෑ. මේ හාමුදුරුවන්ට දානය නොලැබේවි. මම කුමක් කරන්නද දැන්.
  • එහෙම කල්පනා කරද්දිම කෙනෙක් බත් මුලක් අරගෙන එතැනින් ගියා. උපාසකයා ඔහු දැකලා “මිත්‍රය, ඔය බත් මුල මට දෙන්න මේ කහවණුව රැගෙන” යයි කීවා. ඔහු එය දෙන්න බෑ කීවා. ඒ නකුල කහවණු දෙකකට ඉල්ලුවා. ඔහු එය බත් මුල දුන්නෙ නෑ. කොහාම හරි අර මිනිසා බත් මුලේ ගාණ වැඩි කර කර කහවණු 12ට බත් මුල දුන්නා.
  • බත් මුල අරගෙන තෙරුන් වහන්සේ වෙත ඇවිත් නකුල උපාසක දානය පිළිගැන්වූවා.බත් මුල මිල දී ගත්ත ආකාරය දැනගත්ත ස්වාමින්වහන්සේ ගසක් මුලට වැඩ තමාටම මෙහෙම අවවාද කර ගත්තා. ‘මේ උපාසකයා මහත් ශ්‍රද්ධාවෙන් දුන්න මේ දානය කෙලෙස් සහිතව වළඳා ප්‍රත්‍යය උපකාරයක් කරන්න බෑ.
  • ‘මේ උපාසකයා මගේ දෙමාපියන්ද සහෝදර සහෝදරියක් ද ලේ ඥාතියෙක් ද අඩුම කලින් දැකපු මිතුරෙක් ද නොවේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නා. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි. මාගේ ජීවිතය ගියත් මේ දානය රාග, ද්වේෂ, මෝහ සහිතව නොවළඳන්නෙමි’ යි අධිෂ්ඨාන කොට විදසුන් වඩා රහත් බවට පැමිණ එම දානය වැළඳූ සේක. ඉතිං ඒ විදියට තමා චුල්ල පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවෝ රහත් වුනේ.
  • ඉන් පසු උන්වහන්සේ විහාරයට වැඩම කර සිදු වූ දේ අනික් භික්ෂූන් වහන්සේලාට පවසා “යම් දවසක මම පිරිනිවන් පාන්නේ ද එකල්හි මා සැතපුණා වූ කුළුගෙය සෙසු අය විසින් ඔසවන කල්හි නො එසවේවා! යම් දවසක ඒ දානය දුන් උපාසකයා ඇවිත් ඔසවන කල්හි එසවේවා!” යි කියා අධිෂ්ඨාන කළහ.
  • නකුල උපාසකතුමා තම දියණිය දැක සිදු වූ සියල්ල කීවා. දියණිය ද ඉතා සතුටු වෙලා ඒ පින අනුමෝදන් කර ගත්තා. මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ බොහෝ ගුණ වලින් පිරුණු හිමි නමක්. ඒ ගැන කතා රැසක් තියෙනවා.
  • එක උපාසිකාවක් මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේට අවුරුදු 12ක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළා. එක දවසක් ගමේ ගින්නක් ඇවිලී ගෙවල් සියල්ලම ගිනි ගත්තා. හිතවත් භික්ෂූන් වැඩම කර ගම් වැසියො සමඟ කතාබස් කළා. ඒත් චුල්ල පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවො එසේ විමසන්න පැමිණියෙ නෑ.
  • අනිත් දවසෙ පිඬු පිණිස වඩින වේලාවට එහි වැඩම කළ පසු ඒ උපාසිකාව පිළිස්සී ගිය බිත්තියක් ළඟ චුල්ල පිණ්ඩපාතික තිස්ස හිමිට දානය පිළි ගැන්වූවා. තෙරුන් වහන්සේ දන් වළඳා කිසිවක් නොකියා ගියා.
  • අසල්වැසි මිනිස්සු “අපේ උපාසක අම්මාගේ තෙරුන් වහන්සේ දන් වළඳන වේලාවට ම ආයේ ය” යැයි කීවා. එවිට උපාසිකාව “තොපගේ භික්ෂූන් තොපට යහපත් වෙති. මාගේ තෙරුන් වහන්සේ මට හොඳ ය” යැයි කීවා. ඉන් පෙන්නුම් කරන්නෙ තෙරුන් වහන්සේගෙ නොඇලෙන ගුණය හා උපාසිකාවගෙ නොබැඳෙන ගුණයයි.
  • ‘මධු අංගන’ ගමේ එක්තරා දෙමළ දොරටු පාලකයෙක් වාසය කළා. ඔහු උදෑසනින් ම බිලී පිත්තත් ගෙන මාළු බානවා. ඒ මාළු කොටස් තුනකට බෙදලා එක කොටසකින් හාල් ද තව කොටසකින් කිරි ද මිලදී ගෙන ඉතිරි කොටස අහාරයට ගෙන යනවා.
  • මෙහෙම අවුරුදු පනහක් විතර ගියා. ඔහු වියපත් වෙලා නැගිට ගන්නවත් බැරිව දුර්වල වුනා. ඒ කාලයෙ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ගිරි විහාරයේ වාසය වැඩ සිටියා. ‘මේ මිනිසා මා බලා සිටිය දී ම විනාශයට පත් නොවේවා!’ යි සිතා ඔහුගේ ගෙදරට උන්වහන්සේ වැඩියහ. ඔහුගේ බිරිඳ තෙරුන් වැඩම කළ බව සැමියාට දැන්වුවා.
  • “මම කවදාවත් උන්වහන්සේ මුණගැසී නැත. දැන් මා මුණගැසීමට පැමිණියේ කවර ගුණයක් නිසා ද? උන්වහන්සේට යන්නැයි කියන්න” යැයි මහල්ලා පැවසුවා. එය තෙරුන් වහන්සේට පැවසුව පසු උන්වහන්සේ ඔහුගේ කාය බලය ගැන විමසුවා. “ස්වාමිනී, දුර්වල ය” යි ඕ පැවසුවා ය. තෙරණුවෝ ගේ තුළට පිවිස “සිහි උපදවා සිල් ගන්නැ”යි කීහ. “එසේ ය ස්වාමීනී, සිල් දෙනු මැනවැ”යි කීවා.
  • තෙරුන් වහන්සේ තිසරණය සමාදන් කරවා පන්සිල් දීමට සූදානම් වෙද්දිම ඔහුගේ දිව පණ නැති වුණා. තෙරණුවෝ එයත් සෑහේ යැයි පිටත්ව ගියා. එම දොරටු පාලකයා මිය ගිහින් චාතුම්මහාරාජිකයෙහි ඉපදුනා. ඉපදුන වෙලාවේම කුමන පිනක් කොට දෙව් සැප ලැබුණිදැයි බලන්නේ තෙරුන් වහන්සේ නිසා බව දැන දෙව්ලොවින් අවුත් තෙරුන් වැඳ සක්මන කෙළවර සිටියා.
  • චුල්ල පිණ්ඩපාතික තිස්ස හිමි මේ කවරෙක්දැයි ඇසූ විට, “ස්වාමිනී, මම දෙමළ දොරටුපල්ලා වෙමි”යි කීවා. “කොහිද උපන්නේ?” “ස්වාමීනී, චාතුම්මහාරාජිකයෙහි ය. ආර්යන් වහන්සේ මට පන්සිල් ද දුන්නේ නම් ඉහළ දෙව්ලොවක උපදින්නෙමි.” “මා කුමක් කරන්න ද? දරුව, නුඹට ගැනීමට නොහැකි විය” යයි උන්වහන්සේ කීහ. උන්වහන්සේ තුළ තිබුණ කරුණාව, අනුකම්පාව ඒ කතාවෙන් පෙන්නුම් කරනවා.
  • ඒ වගේම තමා කාවන්තිස්ස රජතුමා බුදුරජාණන්වහනසෙගෙ ලළාට ධාතූන් වහන්සේ නිධන් කර සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ සෑදීමේදි ඒ සඳහා අනුශාසනා කළේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි.
  • මේ වගේ ලංකාවේ බොහෝ දෙනෙක්ට චුල්ල පිණ්ඩපාතික තිස්ස රහත් වහන්සේ පිහිට වුනා. මෙහෙම කාලයක් ගත වෙද්දි උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් කලින් අධිෂ්ඨානය සිහි කර පහනක් නිවෙනා ලෙස පිරිනිවනට පත් වුණා.
  • මහජනයා රැස් වෙලා උන්වහන්සේ ආදාහනය කරම්හ යි එම කුළු ගෙය සරසා මහත් පූජා සත්කාර කොට ඔසවන්නට උත්සාහ කළා. මිනිසුන් සියයක් දෙනා රැස්ව ද එය ඔසවන්නට නොහැකි වුනා. මේ බව මිනිස්සු කාවන්තිස්ස රජතුමාට දැන්වුවා. රජතුමා ද මහ සෙනඟ පිරිවරා ඇවිත් ඔසවන්නට බැරි වූ තැන භික්ෂූන් වහන්සේලාගෙන් කාරණාව විමසූවා.
  • චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ පිරිනිවෙන්නට කලින් වදාළ පරිද්දෙන් උන්වහන්සේලා රජ්ජුරුවන්ට කී සේක. එය අසා රජතුමා, “රහත් වීමට යම් දානයක් මුල් වූවා ද ඒ දානය දුන් නකුල උපාසක කැඳවා මේ කුළු ගෙය අල්ලවන්න” යි කීවා.ඒ උපාසකයා අතින් ඇල්ලුව සැණින් කුළුගෙය අහසින් ම ගොස් දර සෑය මත්තෙ තැන්පත් වුනා. ඒ විට ම හතර කොණින් ගිනිදැල් මතු වෙලා ආදාහනය සිදු වුනා.