Hela Rahas

Hela Rahas Official Web Portal

බෝධි පුජාවෙන් නිවැරදිව පිහිට ලබාගන්න විදිය

  • මිනිස්සුන්ට කරදරයක් වුනාම විවිධ දේවල් කරනවා. දෙවියන්ට කියනවා, පුද පූජා පවත්වනවා, භාරහාර වෙනවා. ඉතිං මේ හැමදේම කරන්නෙ දුක නැති කරලා දෙන්න කියලා. එහෙම දුකට පිහිට වෙන බෞද්ධ විශ්වාසය තියෙන වෘක්ෂය තමා බෝධිය කියන්නෙ. බෝධින් වහන්සෙට වන්දනා මාන කිරීම අතීතයේ සිටම ලාංකිකයන් අතර පැවතුන දෙයක්.
  • ශ්‍රී ලංකාවට මිහිඳු හිමියන් වැඩම කරන කාලයේ ද ජනතාව වෘක්‍ෂ වන්දනාවට යොමු වී සිටි බව ඉතිහාසයේ ඇත. උන්වහන්සේ පැමිණ මාස හයකට පසුව සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ජය ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරවන ලදී.
  • ඉතිං ඒ වසර දෙදහසකටත් වඩා පැරණි මේ බෝධින් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය බව ඉතිහාසයේ සඳහන්. එදා මෙදා තුර මෙම බෝධියට මල්, පහන්, කොඩි, කිරි ආහාර ආදී පූජාවන් කෝටි සංඛ්‍යාත ජනතාව විසින් සිදු කර ඇත.
  • ඒත් බෝධි පූජාව තවත් එක වෘක්‍ෂ වන්දනාවක්‌ නොවන්නේ එය බුදුරජාණන් වහන්සේගේ පවා පූජාවට ලක්‌ව ඇති නිසා. සම්මා සම්බුද්ධත්වයට පත් වීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියට උන්වහන්සේ සතියක්‌ පුරා, “අනිමිසලෝචන” පූජාව කළේ කෘතගුණ සළකන්න. ඉතිං ඒ ගෞතම බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලැබීමට උපකාර වූ ඇසටු ගසට ජය ශ්‍රී මහා බෝධිය යෑයි කියනු ලැබේ.
  • ඒ අහම්බෙන් සෙවණ ලැබූ ගසක්‌ නොවේ. බුදුවරු වීමට පෙරුම් පුරා බෝධිසත්ව කුමාරයකු උපන් දිනයේම ඉන්දියාවේ නේරංජා ගඟට නුදුරුව බෝධි වෘක්‍ෂයන් පැළවීම ධර්මතාවක්. සම්මා සම්බුදු බව බෝධි වෘක්‍ෂය මුලදීම ලබන බවද නිශ්චිත ධර්මතාවකි.
  • ඉතිං මේ බෝධිය ආනුභාව සම්පන්නය. ඒ බෝධියට මල් කිහිපයක්‌ පූජා කිරීමෙන්, කොඩි කිහිපයක්‌ හෝ පහන් කිහිපයක්‌ පූජා කිරීමෙන් පමණක්‌ ආත්ම ගණනාවක්‌ තිස්‌සේ දෙව් – මිනිස්‌ සැප ලැබූ බව කියන කතා අතීතයෙ සඳහන්.
  • ඒත් ඒ පුණ්‍ය ශක්‌තිය ලබා ගත හැක්‌කේ බෝධිය හා පූජාව ගැන බුද්ධිමත්ව හෙවත් ඥාන සම්ප්‍රයුක්‌තව කරන පූජාවෙන් බව බොහෝ අය දන්නෙ නෑ. මිථ්‍යාදෘෂ්ටිකයන් වගේ තමා සමහර අය බෝධි පූජා පවත්වන්නෙ.
  • මෙහෙම සමහරු කරන බෝධි පූජාවෙන් පව් සිදු වෙනවා. සමහර පිරිස් බෝධි වහන්සේට හානි වන සේ පූජා පවත්වනවා. එසේ කරන දේවල් තමා එළකිරි වලින් බෝධිය නහවනවා. එළකිරි වල තියෙන බැක්ටීරියා නිසා බෝ මුල් වලට හානි වෙනවා. ඒ වගේම පොල් තෙල් පහන් රාශියක්‌ බෝධි මළුවේ දල්වන විට එයින් බෝ පත්‍රවලට වදින අධික තාපය නිසා හානි සිදු වේ. එම රත් වූ තෙල් මළුවේ වැලිවලට උරාගෙන මුල්වලට ගමන් කිරීම බෙහෙවින් හානිදායකයි.ඒ වගේම සමහර මිනිස්සු බෝධියේ අතුවල එල්ලී ඒවා පහත් කර කොඩි වැල් දැමීම කරනවා.
  • බෝධි පූජාවක් පවත්වන විට පේ විය යුතු ආකාරයක් තියෙනවා. ඒ අනුව බෝධි පූජා තබන්න කලින් තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්න. පූජා අවස්‌ථාවල සුදුසු ඇඳුමකින් සැරසෙන්න. පූජාවට පෙර බෝධි මළුව ඇමදිය යුතුය. මලසුනේ පරමල් ඉවත් කර පිරිසිදු කරගත යුතුය. ඉන් පසුව පූජා ද්‍රව්‍ය අපලයට ගැලපෙන පරිදි තැන්පත් කළ යුතුය. අවසානයේ පිරිත් සූත්‍රයන් සඡ්Cධායනා කර බෝධිය සුවඳ පැනින් නහවා මෙත් වඩා සියලු දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින් දිය යුතුය.
  • අපලයට පූජා තබන විට ග්‍රහයන්ට හිමි සිද්ධාන්ත අනුව පූජා තැබීම කළ යුතු බව විශ්වාස කරනවා. ඒ අනුව මෙසේ පූජා ආකාරයන් කියනවා.
  • රවි අපලයක දී අංක 1, 10, 100 ආදී එකතුව” එක” වන සංඛ්‍යාවලින් මල්, පහන් කොඩි ආදිය පූජා කරන්න. රතු මල් සුදුසුය. අවසානයේ සූරිය පිරිත කියවන්න. ඉරිදා දිනය බෝධි පූජාව පවත්වන්න සුදුසුය.
  • සඳු අපලයක දී 2, 20, 11 ආදී සංඛ්‍යාවකින් මල්, පහන්, තැබීම මැනවි. සුදු මල් වඩා උචිතය. දිවුල් කැඳ පිදීම සුදුසුය. අවසානයේ චන්ද පිරිත කියවන්න. බෝධි පූජාවට සඳුදා සුදුසුය.
  • කුජ අපලයකදී අංක 3, 12, 21, 30 ආදී ගණනකින් රතු මල් සහිත පූජා තබන්න. රතු කොඩි උචිතය. මංගල සූත්‍රය කියවන්න. අඟහරුවාදා දිනය පූජාවට සුදුසුය.
  • බුධ අපලයක දී 4, 13, 22 ආදී සංඛ්‍යාවකින් මල්, පහන්, කොඩි පූජා තබන්න. කොළපාට කොඩි උචිතය. නවගුණ ගාථාව කියවන්න. බෝධි පූජාවට බදාදා සුදුසුය.
  • ගුරු අපලයක දී කහ මල්, කහ කොඩි, තැඹිලි තෙල් පහන් ආදිය 5, 14, 23 ආදී සංඛ්‍යාවකින් පූජා තබන්න. අභිසම්බිදාන පිරිත කියවන්න. බෝධි පූජාවට බ්‍රහස්‌පතින්දා සුදුසුය.
  • සිකුරු අපලයක දී මිශ්‍ර පාට මල්, කොඩි මෙන්ම හඳුන්තෙල් පහන් තබන්න. නවගුණ පාඨය කියවන්න. සිකුරාදා දිනවල පූජා තැබීම සුදුසුය.
  • ශනි අපලයක දී නිල් මල්, ගිතෙල් පහන්, නිල් කොඩි ආදිය 7, 16, 25 ආදී සංඛ්‍යාවකින් පූජා තබන්න. කරණීය මෙත්ත සූත්‍රය කියවන්න. ඉරිදා දිනවල පූජා තැබීම සුදුසුය.
  • රාහු අපලයට වැටකේ මල්, ගිතෙල් පහන්, අළුපාට කොඩි පූජා තබන්න. 8, 17, 26 වැනි සංඛ්‍යාවක්‌ සුදුසුය. චන්ද පිරිත කියවන්න. සෙනසුරාදා දිනය බෝධි පූජාවට සුදුසුය.
  • කේතු අපලවලදී රතුමල්, රතු කොඩි ආදිය 9, 18, 27 ආදී සංඛ්‍යාවලින් පූජා තබා කරණීය මෙත්ත සූත්‍රය කියවන්න. අඟහරුවාදා දිනවල බෝධි පූජාව පවත්වන්න.