Hela Rahas

Hela Rahas Official Web Portal

හරි විදියට බෝධි පූජාවක් කිරීමෙන් ලැබෙන ආනිශංස

අපෙ ඕනෑම පන්සලක හැම දවසකම වගේ බෝධි පූජා පවත්වනවා. ආශිර්වාද ලබා ගන්නනෙ අපි බෝධි පූජාවක් කරන්නෙ. එ්ත් අද නම් විවිධාකාර දේවල් වලට බෝධි පූජා පවත්වනවා.අපි කරන බෝධි පූජාව අපි හරියට කළොත් තමා එයින් ආශිර්වාදයත් ආනිශංසත් අපිට ලැබෙන්නෙ.අද අපි කියන්නෙ හරි ආකාරව බෝධි පූජාවක් කරාම අපිට ලැබෙන ආනිශංස මොනවගේද කියලා.

පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය කියන අර්ථය දෙනවා. අපි අවබෝධ කරගන්න ඕන වැදගත් ම කාරණය අපි පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බව. ඒ කියන්නෙ මේ කරන්නෙ වෘක්ෂ වන්දනාවක් නෙමේ කියන දෙය මතක තබා ගන්න.

බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒත් අද සමහර දෙනෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් ද?

බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන ගොඩක් අයගේ අරමුණු තමා අපල උපද්‍රව දුරු කරවා ගැනීම, සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වගේ දේවල්. අද ගොඩක් දෙනෙක්ට කේන්දර බලල මේ කාලෙ ඔයාට අපලයි, බෝධි පූජා කරන්න වෙනවා කියල කීවම තමා බෝධින් වහන්සෙ, පන්සල මතක් වෙන්නෙ. පස්සෙ ඉතිං බෝධිය ළඟට ගිහින් කවි, ගාථා කියල පැය ගණන් සමහරු යාඥාා කරනව වගේ. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වෙනවා. මෙයද බෝධි පූජාව කියන්නෙ?

ශාස්ත්‍රය නිසි ලෙස නොදත් ඡ්‍යොතිෂවේදීන් කිසිදු පදනමක් නැතිව දවස් ගණන් බෝධි පූජාවන් කිරීම කරන්න කියනවා. සමහරු බෝධිපූජා පැවැත්විය යුතු වෙලාවන් ද නියම කරනවා. ඒ නිසා සමහර මිනිස්සු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට යනවා. එයින් ඉස්මතු වෙන්නෙ බුද්ධියද

බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු යි. සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය.

රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවක්. එය අප ගෞතම බුදුරජාණන්වහනසෙ සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කියල බෝධින් වහන්සේ පාමුලට ගිහින් කීවම අපිට ආශිර්වාදය ලැබේවිද? ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවිද? .අපි මේ බෝධි පූජාව කරද්දි බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතුමයි. ඒ දේවල් තමා,

  • ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම.
  • පිරිසුදු ව ගැලපෙන, චාම් ඇඳුමකින් සැරසී පැමිණීම.
  • බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම.
  • යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම.
  • අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම.
  • ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම.
  • බෝධි වන්දනා ගාථා හා කවි ගායනය.
  • තෙරුවන් ක්ෂමා කරවා ගැනීම.
  • දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණ වීම.
  • මෛත්‍රී භාවනාව
  • පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)

අපි ඉතාම ශ්‍රද්ධාවෙන් පූජාව සකස් කරගෙන පන්සලට යන්න ගැළපෙන ඇඳුමක් ඇඳ , හැම දෙයක් ම සල්ලි වලට ගන්නෙ නැතුව අඩුම ගානෙ තමන්ගෙ ගෙදරින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයක්. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවල.

බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වන එක අදටත් කරනවා.එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙන එක මිස යහපතක් නම් වෙන්නෙ නෑ.

අපි පංචශීලය සමාදන් වෙන්නෙ පාලි භාෂාවෙන්. අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ හරියට කියන්න කියල විකල්පයක් විදියට සිංහල පමණක් භාවිත කිරීමත් බුද්ධිමත් නොවේ.

සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු කාරණයක් වෙලා ඇත.

පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසලය වැඩි වෙන කරුණක්.බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වෙනවා. මල් පූජාව ද එසේමයි. ඒ වගේම මේ වතාවත් වලදි බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

ඒ වගේම තමා වැඩි ශ්‍රද්ධාවට කියල සමහර මිනිස්සු එළකිරි වලින් බෝධින් වහන්සෙ දෝවනය කරනවා. ඒ දෙයින් වෙන්නෙ බැක්ටීරියා නිසා බෝධින් වහන්සෙගෙ බෝධි මූලවලට හානි සිදුවීම. ඒ නිසා එවැනි මිථ්‍යාදෘෂ්ටික වැඩ කරන්න එපා.

අපි මේ කොපමණ බෝධි පූජාවන් කළත් බෝධි පූජා වලින්ම අපල දුරු වෙන්නෙ නෑ. මොකද බෝධින් වහන්සෙ දෝවණය කළාට සමහර මිනිස්සු අනික් කිසිම ගසකට ආදරය කරන්නෙ නෑ. වතුර ටිකක් දාන්නෙ නෑ. පරිසරය විනාශ කරනවා. ඉතිං ඒ වගේ මිනිස්සු කොපමණ බෝධි පූජා කරලා ආශිර්වාද පැතුවත් ආශිර්වාද නම් ලැබෙන්නෙ නෑ.බෝධින් වහන්සෙට විතරක් නෙමේ මුළු පරිසරයටම අපි ආදරෙ කරනව නම්, පරිසරය රැක ගන්නව නම් බෝධින් වහන්සේලා සෑමදාම අපිට පිහිට වෙනවා.