Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ මනසට බලපෑම් කරන වර්ණ 7ක්

විවිධ වර්ණ පිළිබඳ අප සංජානනය කරන අයුරු විවිධ රටවල අනුගමනය කෙරෙන විශ්වාස,මත ,සංස්කෘතිකාංග, සම්ප්‍රදායන් ඇතුලු බොහෝ කරුණු කාරණා මත වෙනස්වේ.ඇතැම් රටවල විවිධ වර්ණ සඳහා විවිධාකාරයේ වැදගත්කම් ලබාදි ඇත. උදාහරණයක් ලෙස චීනයේ රතු පැහැය වාසනාවේ සංකේතය ලෙස හඳුන්වයි. රතු පැහැය ගැන ඇති තවත් මතයක් නම් ඉන් මිනිසුන්ගේ හෘද ස්පන්දනය ඉහළ දමන බවයි. රතු පැහැය ආදරය,ප්‍රේමාන්විතබව සහ රාගය සංකේතවත් කරන බව ද සඳහන් වන මත ඇත. මේ ආදි නොයෙකුත් සංකල්ප වර්ණ පිළිබඳ ගොඩනැගී ඇත.

අද අප කතාකරන්නේ වර්ණ අපගේ චිත්තාවේගයන් හා සම්බන්ධ වන ආකාරයයි. මනෝවිද්‍යාවට අනුව වර්ණ මඟින් අපගේ චිත්තාවේගයන් හා මනෝභාවයන් කෙරෙහි බලපාන බවයි. විවිධ වර්ණ මඟින් ඔබේ මනෝභාවයන් ඔප්නැංවිම සිදුකරන අතර නිවැරදි වර්ණ ‍තෝරාගැනීමෙන් ඔබට අන්‍යයන් ඉදිරියේ වඩාත් කැපී පෙනීමට හැකියාව ලැබෙනු ඇත. එසේ වන්නේ කෙසේදැයි ඔබ සිතනවා ඇති! විවිධ වර්ණ මඟින් පිලිඹිබු කරවන හැඟීම් සහ සිතිවිලි පිළිබඳ සඳහන් වන තොරතුරු එකතුවක් ගැනයි මේ කියන්නට යන්නේ. යහපත් මනෝභාවයක් ඇතිවීමටත් ආකර්ෂණීය බව ලඟාකරගැනීමටත් ඔබට ගැලපෙනම වර්ණ ‍තෝරාගැනීමට යුහුසුලුවෙන්න!

1.රතු

  • රතු යනු පෙනෙන තරමටම සරල වර්ණයක් නොවේ. එම වර්ණය ‍තෝරාගැනීමම අභියෝගාත්මක සහ දැඩි තීරණයකි. රතු පැහැති ඇඳුම් වලට පුද්ගලයාගේ ආත්මවිශ්වාසය වැඩිකල හැකිය. පිරිසක් අතරේ කැපි පෙනීමට උපකාර කරයි.රතු පැහැය දැඩි ආශාව, රාගය සහ ලිංගිකත්වය පිළිඹිබු කරවන වර්ණයක් බව ලොව බොහෝ රටවල පවතින විශ්වාසයකි. ඉන්දියාවේ සාම්ප්‍රදායික මනාලියන් හැඩ වන්නේ රතු පැහැති මංගල ඇඳුමකිනි. රතු සහ කලු මිශ්‍ර ඇඳුම් විලාසිතාවන් විලාසිතා ලෝකයේ ඉතා ජනප්‍රිය වර්ණ සුසංයෝගයක් ලෙස සැලකේ. රතු පැහැය සමඟ සුදු සහ බේජ් වර්ණ ගළපා භාවිතා කිරීමෙන් වඩාත් සමබර සහ ඇසට ප්‍රිය ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැක.

2.කහ

  • වඩාත් අවීනීත අහංකාර පුද්ගලයින්ගේ පවා යහපත් අවධානය ලබාගැනීමට මෙම වර්ණය උපකාරි වන බව මතයයි. සන්සුන් බවක් හඟවන සහ ජීවය පිරුණු වර්ණයක් ලෙස සැලකේ. නමුත් සමට ගැලපෙන්නේද නැද්ද යන්න සැලකිලිමත් විය යුතුවේ.

3.නිල්

  • නිල් පැහැය රුධිර පීඩනය අඩුකරවන බව පැවසේ. කාර්යබහුල දිනයකට හෝ ඔබේ ජීවිතයේ වැදගත්ම කටයුත්තක පළමු දිනය සඳහා මෙම වර්ණයෙන් සැරසීම හොඳ ‍තෝරාගැනීමක් වනු ඇත. මෙම වර්ණය ඔබේ ගතටත් සිතටත් සැහැල්ලුවක් ඇතිකරවයි. අන්යන් තුල ඔබ කෙරෙහි ධනාත්මක හැඟීමක් ඇතිකරවයි. වර්ණය තද පැහැයෙන් වැඩියි නම් සාමාන්‍ය වර්ණ(neutral) සහ ලා පැහැති වර්ණ සුසංයෝග කරගනිමින් පෙනුමට මෘදු සෞම්‍ය නිමාවක් ලබාගත හැක.

4.කොළ

  • මනස සන්සුන් සැහැල්ලු කරවන ශක්ති ප්‍රබෝධය ඇතිකරවන පැහැයක් සේ සලකයි. එහි විවිධ වර්ණ පරාසයන් ඇත.ඕනෑම සමකට සරිලන ලෙසින් ‍තෝරාගත හැක. වඩාත් ආකර්ෂණීය පෙනුමක් සඳහා සාමාන්‍ය වර්ණ වලින් ආභරණ සහ ආයිත්තම් භාවිතා කරන්න.

5.වයලට්

  • පළපුරුදු බව සහ ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයෙකු බව හඟවන සහ එවැනි හැඟිමක් ඇතිකරවන වර්ණයකි. සම්මුඛ පරික්ෂණයකට වයලට් පැහැති ඇඳුමක් ඇඳීම ඇතැම් අය නිර්දේශ කරති. මෙම පැහැය පුද්ගලයාගේ මුහුණේ තරුණ බව ඉසමතු කරවයි.ප්‍රාණවත් පෙනුමක් ලබාදේ. මේ සමඟ පැස්ටල් වර්ණ සුසයෝග කල හැකිය.

6.කලු

  • ඕනෑම අයෙකුට ගැලපෙන වර්ණයකි. කලු ඇඳුම් විලාසිතා මඟින් වඩාත් කැපී පෙනෙන ස්වභාවයක් ඉස්මතු කර දක්වයි. කලු පැහැය දුක යන හැඟීම සංකේතවත් කරන බව ඇතැම් සම්ප්‍රදායන් වල පිලිගැනීමයි.එක් දීප්තිමත් පැහැයකින් යුතු ආභරණ හෝ ආයිත්තමයක් ‍තෝරාගැනීමෙන් කලු පැහැති ඇඳුම් විලාසිතා වල ආකර්ෂණීය බව වැඩිකරගත හැකිය.

7.තැඹිලි

  • සුර්යාගේ බඳු දීප්තිමත් කහ පැහැය සහ කැපීපෙනෙන රතු පැහැ සුසංයෝගයක් වන තැඹිලි වර්ණය යම් ක්‍රියාවක නිරතවීම උත්තේජනය කරවන බවත් පුද්ගලයින්ගේ නිර්මාණශීලිභාවය අවදිකරවිමට සමත්වන වර්ණයක් බවත් පැවසේ.මේ වර්ණය භාවිතා කරන්නේ නම් වෙනත් ප්‍රකටව පෙනෙන දීප්තිමත් පැහැයන් සහිත ඇඳුම් හෝ ආභරණ ආයිත්තම් භාවිතා නොකිරීම උචිතය. සිසිල් හෝ සාමාන්‍ය වර්ණ සුසංයෝග කරගැනීම උචිතය. ඉන් ඇසට ප්‍රිය ආකර්ෂණීය බවක් සහිත නිමාවක් ඔබේ විලාසිතාවට ලැබෙනු ඇත.