Hela Rahas

Hela Rahas Official Web Portal

අලුතෙන් සාදන නිවසට නිවැරදිව මුල්ගල තබන විදිය

  • අපි අලුතින් නිවසක් සාදන විට ඒ සඳහා සුදුසු ඉඩමක් තෝරාගෙන තමන්ගේ ජන්ම නැකතට සීහුම්ව පරිදි සුභ දිනයක් තෝරා ගෙන සුබ වෙලාවකට එය කල යුතුය. මෙහි දී ලණු ඇදීමට ද අත්තිවාරම් කැපීමටද සුබ නැකැත්වලට කලයුතු අතර, මුල්ගල තැබීමද සුබ වෙලාවකට කළ යුතුය.
  • මෙම මුල්ගල ගෘහ මූලිකයා විසින් තැබිය යුතුය.ගෘහ මූලිකයා නොමැති නම් ගෘහ මූලිකයාගේ බිරිය විසින්ද මුල්ගල තැබුවාට වරදක් නැත. එම දෙදෙනාම නැති නම් පවුලේ වැඩිමල් අය විසින්ද මුල්ගල තබනු ලැබේ.මෙහිදී මුල් ගල තැබිය යුත්තේ නිවාසය සෑදීමට මුදල් වියදම් කරන අය විය යුතුය. කෙසේ වෙතත් මුල්ගල තබන අයගේ නැකතට මෙම සුබ වෙලාව ගත යුතුය.
  • වර්තමානයේදී බොහෝ විට මුල්ගල වෙළඳසැල්වලින්ද මිලදී ගන්නට පුළුවන. එසේ නොමැති නම් පුලිඟු ගලක් සාදා ගැනීමටද පුළුවන. මෙම මුල්ගලේ උස අඟල් 05ක්ද, පළල අඟල් 04ක්ද, දිග අඟල් 09ක්ද විය යුතුය. මුල්ගල තබන නැකතද නිවාස නැකත්වලට අයිතිය.මුල්ගලේ නිධන්වස්තු තැන්පත් කරන්නටද පුළුවන. නිධන් වස්තුද වෙළඳ සැල්වලින් මිලදී ගන්නට පුළුවන. නිධන් වස්තු එම නිදන් ගලේ තැන්පත් කල යුතුය. නිදන් ගලේ නිධන් වස්තු දමා එය පිරවූයේ නැත්නම් එම අඩුවට වී දමා පුරවාගන්නට පුළුවන.
  • මෙසේ සකස් කරගත් මුල්ගල අත්තිවාරමේ නිවැරදි දිශාවේ තැන්පත් කල යුතුය. මුල්ගල තියන දිශාව පිළිබඳවද විවිධ මත ඇත. බොහෝ දෙනෙක් මුල්ගල ගිනිකොන දිසාවට තැබීම සුදුසු යැයි අනුමත කරති. තවත් සමහර දෙනා එය ඊසාන දිශාවට තැබීම නිවැරදි බවටද මත පළ කරති.
  • ගිනිකොන දිශාව ගැන සලකන විට ඊශාන දිශාව ඊට වඩා සුදුසු යැයි අනුමත කරන්නටද පුළුවන. මරු නැති දිශාව ඊසාන දිශාව නිසා ඊශාන දිශාව මුල්ගල තබන්නට සුදුසු බවට පිළිගන්නට පුළුවන. ගිනිකොන දිශාවට මුලුතැන්ගෙය සාදන නිසාද ඊසාන දිසාව සියලු පූජාවන්ට සුදුසු දිශාව ලෙසද ගනු ලබන නිසා ඊසාන දිශාව මුල්ගල තබන්නට සුදුසුය.
  • නිවසට මුල්ගල තබන විට පිරිත් සජ්ඣායනා කිරීම යහපත්ය. පිරිත් සජ්ඣායනා කරන විට වෙනත් බාහිර ශබ්ද ඇති නොවිය යුතුය. පිරිතේ බලයෙන් මුල්ගල තබන විට එම නිවසට යහපතක් වනු ඇත. සඳහා හිමි නමක් හෝ සිල්වත් අයෙකු තෝරාගන්නට පුළුවන.නිවසේ මුල්ගල නොපෑගෙන තැනක තැබිය යුතුය.
  • මුල්ගල තබන ස්ථානයේ දොරක් හෝ උළුවස්සක් නොතැබීමද වැදගත්ය. වැසිකිලි වලක් ආසන්නයේද මෙම මුල්ගල නොතැබිය යුතුය.මෙම කටයුත්ත පුර පක්‍ෂයේ සුබ දිනයක කල යුතුය. රාහු කාලයද මගහැර මුල්ගල තබන්න. මුල්ගල තබන විට එම මුල්ගල හා නිධන් ගලටද සුවඳ දුම් අල්ලන්න.