Hela Rahas

Hela Rahas Official Web Portal

දුවක් ලැබුණ සතුටට ඉදි කළ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ (පල්ලිය වීදිය) ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් ලන්දේසි රෙපරමාදු දේවස්ථානයක් දකින්න ලැබෙනවා. මේ පල්ලියට අවුරුදු 267ක් තරම් ඉතිහාසයක් පවතින බව විශ්වාස කරනවා.
  • මේ කුරුස පල්ලිය හදන්න මුල් වුන කතාව දැන් බලමු. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වී බොහෝ කලක් ගතවන තුරු දරු සුරතල් බැලීමට නොහැකි වුනා. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකුවීමේ වාසනාව ලැබුණා. ඒ සතුටට ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරන්න තමන්ගේ වියදමින් මේ රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.
  • 1752දී ඉදි කරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතායි. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ.
  • කුරුස පල්ලියෙ ඉතා අපූරු අංග රාශියක් පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන අතර අපි පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන්. දේවස්ථානයේ ගෙබිම පුරා අල්ලා ඇති විවධ ප්‍රමාණයන්ගෙන් යුත් මේ ගල්පුවරු ඒ කාලේ මියගිය ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූන්ගේ සොහොන්වල ඵලකයන්ය.
  • දේවස්ථානයේ ඇතුළත බිම අල්ලා ඇති ඇතැම් ඵලක යට සොහොන් පවා තිබූ බවට සාධක ලැබී තිබේ. එනම් දේවස්ථානය ඇතුළතද මිය ගිය ඇතැමුන්ගේ මෘත දේහ තැන්පත් කර තිබේ. මෙවන් සොහොන් පුවරු 50කට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානයේ ඇතුළත ගෙබිම සැරසීම සඳහා යොදාගෙන ඇත.
  • මෙහි අල්ලා තිබෙන පැරැණිම සොහොන් පුවරුව 1662 වර්ෂයට අයත්වන අතර එය දේවස්ථානය ඉදිවීමටත් පෙර මියගිය අයෙකුගේ සොහොන් පුවරුවක්. එය දේවස්ථානය ඉදිවීමෙන් පසු මෙහි තැන්පත් කරන්නට ඇති බව විශ්වාස කරනවා.
  • දේවස්ථානයේ ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬවලින් කරන ලද සොහොන් පුවරු රාශියකි. දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක්. කොළඹ සිට මෙහි ගෙනවිත් ඇති එම ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදුකර ඇත.
  • එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් ඇත.ඒ කළු මැදිරිය ලී වලින් කරන ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා ඇත්තේ මෙම ධර්මාසනයේ සිටයි.
  • මෙම දේවස්ථානයේ දී පළමුවෙන්ම බවුතිස්ම කර ඇත්තේ වන්නේ මෙය ගොඩනැගූ ඩී යෝන්ග් මහතාගේ දියණියයි. ඒ 1755 අගෝස්තු 14. එම අවස්ථාව සිහි වෙව්න විශේෂ පුවරුවක් වම් පස බිත්තියේ සවිකර ඇත. එහි විශේෂත්වය වන්නේ බවුතිස්ම කරවූ දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීම.
  • මේ දේවස්ථානයේ පිටත දකුණු පසින් පොළොව යට දොරගුළු දමන ලද දොරටු දෙකකින් සමන්විත රහස් කුටියක් ඇත. මෙයද අතීතයේ මියගිය පුද්ගලයන්ගේ සොහොන් තැනීමට භාවිත කර ඇති බවට සාධක ලැබී තිබේ.
  • කුරුස පල්ලියට අයත් භූමියේ දක්නට ලැබෙන්නේ සොහොන් පුවරු සිය ගණනක්. ඒ අනුව පෙනීයන්නේ දේවස්ථානය වටාද, දේවස්ථානය ඇතුළත බිම මෙන්ම බිත්තිද වෙන් කර ඇත්තේ මළවුන් සිහිපත් කිරීමට බවයි.