Hela Rahas

Hela Rahas Official Web Portal

ගාල්ලෙ ඇකර්ස්ලූට් අට්ටාලයේ ඇති පෘතුගීසීන් සිටවූ දෙල්ගස

  • 17 වැනි සියවසේ දී ලන්දේසීන් ගාල්ල පාලනය කරන කාලයේදී වරායේ පාලකවරයා වුන හාබර් මාස්ටර්ගේ නිල නිවස්න අදට ද ගාල්ල කොටුවේ දකින්න තියෙනවා. ඒ දැනට ඕලන්ද රෝහල කියල කියන කලින් ඉංග්‍රීසි රෝහල පැවැති ගොඩනැගිල්ලටත් ගාල්ල මහාධිකරණ ගොඩනැගිල්ලටත් අතර මැද.
  • එය අතීතයේ ලන්දේසි වරාය පාලකවරයාගේ නිල නිවස වුනත් ඇත්තටම ඒ ලන්දේසීන් විසින් සැකසූ මුර අට්ටාලයක් බව කියනවා. මේ මුර අට්ටාලය ඉදිකර ඇත්තේ නිල නිවසක් ලෙස භාවිතයට ගත හැකි අයුරින් වීම තමා විශේෂත්වය. ගාලු කොටුවේ ඇති මුර අට්ටාල අතරින් වඩාත් ආරක්ෂාකාරීවන ලෙස ඉදිකළ තාප්පයක් දැකිය හැකි එකම මුර අට්ටාලය වන මේ අට්ටාලය හඳුන්වන්නේ ඇකර්ස්ලූට් අට්ටාලය කියලා.
  • ඇකර්ස්ලූට් අට්ටාලයේ ඉතිහාසය අනුව ගාල්ලේ පෘතුගීසි බළකොටුවට පහරදී එය යටත් කරගත් ලන්දේසි අණ දෙන නිලධාරියා වූ විලියම් ජාකොබ් කොස්ටර් සිහිවීම පිණිස ඔහු ඉපදුන ප්‍රදේශය වූ නෙදර්ලන්තයේ ඒකර්ස්ලූට් ගම්මානයේ නමින් 1759 දී මේ අට්ටාලය “ඇකර්ස්ලූට්”‍ ලෙස නම් කර ඇති බව.
  • ඇකර්ස්ලූට් අට්ටාලය ලන්දේසීන් විසින් ඉදිකර ඇත්තේම වරාය පාලකවරයාගේ නිල නිවස ලෙස. වරායට​ ඇතුළුවන හා පිටවන නෞකා ඔහුට තම නිල නිවසේ සිටම නිරීක්ෂණය කළ හැකි ආකාරයෙන් මෙය ඉදිකර ඇත.
  • මේ අද්විතීය වටිනාකමක් ඇති ඇකර්ස්ලූට් මුර අට්ටාලය අද ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය භාරයේ පවතිනවා. සංචාරකයන්ට ‍එහි ඇතුළු වෙන්න අවසර නෑ. ඇකර්ස්ලූට් අට්ටාලයෙ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක ගෘහ නිර්මාණ ලක්ෂණ දකින්න තිබෙනවා.
  • බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගාල්ල ඕලන්ද කොටුවේ ඇතැම් තැන් වෙනස් කළා. කොටුවේ පැරණි ඕලන්ද රෝහල වෙනුවට එතැන දෙමහල් රෝහලක් ඉදි කළා. මේ ගොඩනැගිල්ල පසුව ගාල්ල කච්චේරිය ලෙස පවත්වාගෙන ගිහින් දැන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ වෙළෙඳ සංකීර්ණයක් ලෙස භාවිත කරනවා.
  • මේ ස්ථානයේ ඇති උද්‍යානයේ තමයි මුල් ම දෙල් පැළ ලන්දේසීන් විසින් රෝපණය කරලා තියෙන්නේ. ඉංග්‍රීසීන් ඕලන්ද ජාතිකයන් වරාය පාලකවරයාගේ නිල නිවස ලෙස භාවිත කළ ගොඩනැගිල්ල රෝහලේ මෘත ශරීරාගාරය බවට පත් කළා.
  • නමුත් නැවත 1907 වර්ෂයේ දී මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා නැවත වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත් කළා. ලන්දේසීන් විසින් ඉදි කළ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ජාතිකයන් විසින් ප්‍රතිසංස්කරණය කරද්දී එහි අභ්‍යන්තරයේ විශාල වෙනස්කම් කර තිබෙනවා. ඒ නිසා එහි දකින්න ලැබෙන්නේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ.
  • රෝහලේ මෘත ශරීරාගාරයක් බවට පත්ව තිබූ ඕලන්ද වරාය පාලකවරයාගේ නිල නිවස යළි වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත්කළ ද එහි දැන්නම් වරාය පාලකවරයා පදිංචි වී නැත. එය පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනයක් ලෙස භාවිත කර දැන් යළි වරාය අධිකාරිය සතු නිල නිවසක් බවට පත්ව තිබේ.
  • ඇකර්ස්ලූට් අට්ටාලය ආශ්‍රිතව ඇති තවත් වැදගත් කමක් තමා ශ්‍රී ලංකාවේ ජනාතව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන “රට දෙල්”‍ ලංකාවට හඳුන්වාදුන් ඕලන්ද ජාතිකයන් විසින් මෙරට සිටවන ලද මුල්ම රටදෙල් පැළය මේ අට්ටාලයේ අද දක්නට ලැබෙන විශාල රට දෙල් ගස වීම.
  • ලන්දේසීන් තමන්ගේ යටත් රාජ්‍යයන් හි විශේෂයෙන්ම වරාය ආශ්‍රිත නගරවල දෙල් පැළ රෝපණය කිරීම සිදු කළා. ඔවුන් එවැනි පියවරක් ගෙන ඇත්තේ රට දෙල්වල ඇති ඖෂධීය ගුණය සැලකිල්ලට ගෙන. නැව්වල මාස ගණන් ගතකරන යාත්‍රිකයන් විවිධ වසංගත රෝගවලට ගොදුරුවීම වැළැක්වීමේ ගුණයක් දෙල් සතුව තිබී ඇත. මේ නිසා ඔවුහු යාත්‍රිකයන්ට ආහාර ලෙස නැව්වලට දෙල්ගොඩ තොග ගණන් ලබාදිය යුතු නිසා තමන් යටතේ වූ සෑම වරායක් ආසන්නයේ ම දෙල් පැළ රෝපණය කර ඇත.
  • ලංකාවේ ඔවුන් තෝරාගෙන ඇත්තේ ගාල්ල කොටුවේ ස්ථාපිත කර තිබූ ඔවුන්ගේ රෝහල් භූමිය. එම රෝහලත්, කොටු පවුරත් අතර තිබූ උද්‍යාන කොටසේ අදටත් දෙල් ගස් කිහිපයක් දැකිය හැකි අතර විශාලතම දෙල් ගස පිහිටා ඇත්තේ වරාය පාලකවරයගේ බංගලාව පිහිටි මේ ඇකර්ස්ලූට් අට්ටාලය.
  • ඉස්සර තිබුන දෙල් ගස් පසු කලෙක විනාශ වී යන්නට ඇති බවත් අද එතැන දකින්න ඇත්තේ පසුව සිටුවන ලද දෙල් ගස බවත් අනුමාන කරන්න පුළුවන්. නමුත් ඇකර්ස්ලූට් අට්ටාලයේ ඇති දෙල් ගසේ විශාලත්වයත් කඳෙහි ස්වභාවයත් සැලකූ විට එය ලන්දේසීන් විසින් මෙරට රෝපණය කරන ලද මුල්ම දෙල් පැළ කිහිපයෙන් එකක් බව නොඅනුමානයි.
  • ඒ ළඟම තවත් විශාල කස ගහක් ගහක් දකින්න තියෙනවා. කස පැළය ගාල්ලේ රෝපණය කරලා තියෙන්නෙ පෘතුගීසීන්. මේ ගසේ විශාලත්වය අනුව එය පෘතුගීසීන් විසින් මෙරට රෝපණය කළ පැළවලින් එකක් බව විශ්වාස කරනවා.