Hela Rahas

Hela Rahas Official Web Portal

ධාතු පූජාවට ගැරහූ මහා ධනවතාට අත් වුන ඉරණම

  • මේ ප්‍රේත වස්තු වර්ණනාව තුළ එන තවත් කතාවක්. මේ කතාවෙන් කියන්නෙ අප ගෞතම බුදුහාමුදුරුවන්ගෙ ධාතු වන්දනාවකට අපහාස කළ මිනිසෙක් ප්‍රේතයෙක වෙලා විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන මේ කතාව ධාතු විවණ්ණික ප්‍රේත වස්තුවයි.
  • ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව උන්වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා විවිධ රජවරුන්ට බෙදා දුන්නා. ඉන් අජාසත් රජතුමා තමාට ලැබුණු ධාතූන් වහන්සේලා අවුරුදු හතකුත් මාස හතකුත් දින හතක් පුරා අනන්ත බුදුගුණ සිහි කරමින් පුද පූජා කළා.
  • ඒ කාලේ රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් සිටියා. ඔහුගේ බිරිඳ, දුව හා ඇගේ යාළුවා ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ගෙන ධාතුන් වහන්සේලා වඳින්න යන්න ගියා. එය දුටුව අර මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියලා නින්දා කරලා ධාතූ පූජාවේ නුගුණ කීවා. ඒ කතා ගණන් ගත්තෙ නැති තුන්දෙනා ධාතු පූජාවට ගිහින් ධාතූන් වහන්සේලාට පුද පූජා කරල ආවා.
  • ඉතිං මෙහෙම කාලයක් ගියාට පස්සෙ අර බිරිඳ, දුව හා ඇගේ යෙහෙළිය මැරුණා. මරණින් පස්සෙ ඔවුන් තුන්දෙනා දෙව්ලොව උපත ලැබුවා. ඒ වගේම අර මිනිසා මැරිලා ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන්, ක්‍රෝධයෙන් ප්‍රේත ලෝකයෙහි උපත ලැබුවා.
  • එක දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් වෙත කරුණාවෙන් මිනිස්සුන්ට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක.එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබුන පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න ඇසූහ. එහෙම ප්‍රශ්න අහද්දි අර ධාතු වන්දනාවට අපහස කර ප්‍රේතයෙක් වුන මිනිසත් හමු වුනා. කාශ්‍යප හාමුදුරුවෝ ප්‍රේතයගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා.
  • “එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්‍ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක.
  • “නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්‍ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී.
  • මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි.
  • දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු ප්‍රේතයා පැවසුවා.
  • අදත් මේ වගේ ධාතු වන්දනාවට නිග්‍රහ කරන්නන් සිටිනවා. ඔවුන්ට අත් වෙන්නෙත් මේ ප්‍රේතයට අත්වුන ඉරණම නේද? අපි කියන වචනයකින් පවා ගෙන දෙන විපාක ඇත. සිතා මතාම අයහපත් දේවල් කීවම සිදු වන්නෙ කුමක්ද කියල මේ කතාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්.