Hela Rahas

Hela Rahas Official Web Portal

වියළි කැස්ස සුව කරන සත්කාර 6ක්

වියළි කැස්ස යනු උගුරේ අපහසුතා ඇතිකරවන ඉතා පීඩාකාරි තත්වයක් (මින් අදහස් වන්නේ උණ, පපුවේ වේදනාව හෝ වෙනත් පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන සාමාන්‍ය වියළි කැස්ස තත්වයයි.) මේ තත්වය සමනය කරගැනීමට නිවසේදීම උත්සාහ කල හැකි අත්බෙහෙත් ක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියාදෙන්නේ. මේවා කාලයක් තිස්සේ පරම්පරාගත අත්බෙහෙත් ක්‍රමවේද වීම විශේෂයි. මේවයින් ඇතැම් ක්‍රම විද්‍යාත්මකව පවා තහවුරු කරන ලද ඒවායි. කෙසේවෙතත්, සාමාන්‍යයෙන් මෙම ක්‍රම කෙටි-කාලීන භාවිතය සඳහා වඩාත් සුදුසු සරල අත්බෙහෙත් ක්‍රම කිහිපයක් ලෙස හැඳින්විය හැකියි.ඔබත් මෙවැනි අපහසුකාරී තත්වයකින් පීඩා විඳිනවානම් මේ ක්‍රම භාවිතයෙන් ඔබට බොහෝ දුරට සහනයක් ලැබෙනු ඇත.

1.අමු මී පැණි

  • ඕනෑම කැස්ස රෝග තත්වයකට පිළියමක් ලෙස භාවිතා වූ ඉපරණි අත්බෙහෙත් ක්‍රම අතරින් එකක් ලෙස මී පැණි භාවිතය හැඳින්විය හැකියි.උගුර තුල සියුම් වැස්මක් ඇතිකරනවා මෙන්ම මී පැණි වල අඩංගු ස්වභාවික ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් උගුරේ අපහසුතාවන් වඩාත් හොඳින් සමනය කරවයි.එමෙන්ම එහි අඩංගු බැක්ටීරියා නාශක ගුණ මඟින් උගුරේ හටගත හැකි බැක්ටීරියා සහ වෛරස් ආසාදනයන් වැළැක්වීමට කටයුතු කරයි.
  • මෙය කුඩා දරුවන්ට වුව ද ගැටලුවක් නොමැතිව ලබාදිය හැකියි. නමුත් වයස අවුරුදු 1 ට අඩු දරුවන් හට මී පැණි ලබානොදිය යුතුයි (ළදරු බොතුලීනියාව (infant botulism) නම් දුර්ලභ එහෙත් බරපතල රෝග තත්වය ඇතිවීමේ අවදානම් ඊට හේතුවයි.). මී පැණි යනු රුධිරයේ සීනි මට්ටම කෙරෙහි බලපෑම් කරන්නකි. එබැවින් ග්ලූකෝස් මට්ටම් පාලනය කරගැනීම සඳහා ඖෂධ භාවිතා කරන අය සඳහා මේ ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් උත්සාහ කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

2.වාෂ්ප ඇල්ලීම

  • වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රචලිත අත්බෙහෙත් ක්‍රමයකි. ඇතැම් අය මෙන්තෝල් අඩංගු වික්ස් වැනි බාම් ස්වල්පයක් මුසු කරමින් මෙසේ වාෂ්ප ඇල්ලීම සිදුකරති. උණුසුම් වාෂ්ප ඇල්ලීම මඟින් වියළී ගිය සහ පීඩාවට පත්වී ඇති නාස් කුහර තුලට තෙතමනය ඇතිකිරීම , උගුරේ වේදනා සමනය කිරිම සහ ප්‍රබල නොවන ආසාදන හෝ ආසාත්මිකතාවක් හේතුවෙන් හටගත් පීඩාකාරි කැස්ස තත්වය අඩු කිරීම වැනි ප්‍රතිලාභ ලබාදේ.
  • දෙහි කොළ, බැසිල් කොළ ආදිය මුසු කරමින් වාෂ්ප ඇල්ලීම උණ සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසනාලිකා ප්‍රදාහය (බ්‍රොන්කයිටීස්), කෝටර දාහය (සෛනසයිටීස්), ඇදුම සහ ආසාත්මිකතා (ඇලර්ජි) වැනි පීඩාකාරී තත්වයන්ගෙන් සුවය ලැබීම සඳහා උපකාරී වන ක්‍රමයක් බව සඳහන්ය.වාෂ්ප ඇල්ලීමේදී හිස සහ මුහුණ තුවායකින් ආවරණය කරගෙන එය සිදුකරන්න. පිලිස්සිම් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වීම ද ඉතා වැදගත් බව මතක තබාගන්න.

3.වැල්මී

Detail of liquorice stick background
  • වැල්මී මුසු කල තේ කෝප්පයක් පානය කිරීම උගුරේ අපහසුතා සමනය කරගැනීමට ඇති හොඳ අත්බෙහෙතකි. චීන පාරම්පරික ඖෂධවේදයේ මේවා හඳුන්වන්නේ ‘ගැන්කාඕ’ යන නමිනි. මේවා ක්‍රි.පූ. 2100 පටන් භාවිතයේ ඇති ඔසුවකි. වැල්මී වේදනාවන් දුරුකිරීමට, සෙම් තත්වයන් දුරු කිරීමට සහ කැස්ස තත්වයන් සමනය කරමින් උගුරේ අපහසුතාව දුරුකරගැනීමට හැකිකරවන ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
  • වියළන ලද වැල්මී ඖෂධ අලෙවිසැල් වලින් මිලදි ගත හැක. නටන උණු වතුරට මුල් ඉවත්කරගත් වැල්මි මේස හැඳි 2 ක් පමණ එක්කර මිනිත්තු 10 ක් පමණ තැම්බෙන්නට හරින්න.මෙම තේ පානය ආරක්ෂිත අත්බෙහෙතක් වුවද දිගුකාලීනව සහ පමණ ඉක්මවා පානය කිරීමෙන් රුධිර පීඩනය ප්‍රබල ලෙස වැඩිවීම, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවීම, තෙහෙට්‍ටුව ඇතිවීම, හිසරදයන් ඇතිවීම, තරල තැන්පත්වීම සහ (පුරුෂයින්ගේ) ශිෂ්ණය ප්‍රාණවත්නොවීම ආදි ගැටලු මතුකරවිය හැක.

4.ලුණුවතුර

  • සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදි ඇතිවන උගුරේ අපහසුතාවන් සමනය කරගැනීම සඳහා ලුණු වතුරින් උගුර සේදීම සිදුකරන්න යැයි වෛද්‍යවරුන් නිර්දේෂ කරති.ලුණු වතුර අස්‍රැති ගුණයෙන් යුක්තය. එනම් එමඟින් තරල ගමන් කරන දිශාව වෙනස් කරවයි. ලුණු වතුරෙන් උගුර සෝදන විට ලුණු වතුර මඟින් උගුරේ තුවාල වී ඇති-පීඩාවට ලක්වි ඇති ප්‍රදේශයෙන් තෙතමනය ඉවතට ඇදගැනීම සිදුකරන අතර ඒ හරහා එම ප්‍රදේශයේ ඉදිමුම සහ පීඩාකාරි ස්වභාවය අඩු කිරීමට දායක වේ.

5.වදකහ

  • වදකහ වල අඩංගු කර්කියුමින් නම් ප්‍රබල සංඝටක විශේෂය තුල වෛරස් නාශක, බැක්ටීරියා නාශක සහ ප්‍රති-ප්‍රදාහක ගුණ රාශියක් අන්තර්ගතය. ඉතාමත් ඈත අතීතයක සිට වදකහ සාම්ප්‍රදායික ඖෂධවේදයේ ඉතා ප්‍රබල ඔසුවක් ලෙස භවිතයේ පවතියි.ආතරයිටීස් වල සිට ශ්වසන රෝග තත්වයන් දක්වා විශාල පරාසයක රෝග සුවපත් කිරීම සඳහා දායක වන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද වදකහ සැලකේ.
  • ඇතැම් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ වදකහ ආහාරයට ගැනීම තුලින් කැස්ස තත්වයන් මෙන්ම ඇදුම රෝගයේ වෙනත් රෝග ලක්ෂණ සමනය කරගැනීමට උපකාර කරන බවයි.වදකහ තේ පානය අද කාලයේ ජනප්‍රිය වෙමින් පවතියි. එමෙන්ම වදකහ කැප්සියුල් පවා වෙළඳපොලේ ඇත. නමුත් මෙවැනි පෝෂක අතිරේක අධික ලෙස පරිභෝජනය කිරීමෙන් බඩේ අපහසුතා, පාචනය සහ ඔක්කාරය ආදි ගැටලු මතුකරවිය හැක.

5.ඉඟුරු

  • වායු මාර්ගය තුල ඇති සුමට පේශීන් ලිහිල් කරවමින් කැස්ස තත්වය සමනය කිරීම ඉඟුරු මඟින් සිදුකරයි.ඉඟුරු වල අඩංගු ජින්ජරෝල් නම් ප්‍රබල සංඝටක මඟින් කැස්ස ඇදුම රෝගයේ ලක්ෂණ මතුකරවීමට බලපාන වායුමාර්ගයේ අධි-ප්‍රතිචාර්යතාව (අධිකව ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවය) යටපත් කරවයි. ඉඟුරු තේ, ඉඟුරු වලින් සෑදු රසකැවිලි පරිභෝජනය කිරීම මෙන්ම උණු ජලයට ඉඟුරු මුසු කර වාෂ්ප ඇල්ලීම ද ඉතා හොඳ ක්‍රමයන් ය. අධික ලෙස ඉඟුරු පරිභෝජනය කිරීමෙන් වැළකිය යුතු වන්නේ එමඟින් බඩේ අපහසුතා, බඩපපුවේ දැවිල්ල හෝ පාචනය වැනි ගැටලු මතුකරවිය හැකි බැවින්ය.

6.සුදුලූණු

  • සුදුලූණු වල වදකහ වල මෙන්ම වෛරස නාශක, බැක්ටීරියා නාශක සහ ප්‍රති-ප්‍රදාහක ගුණ අන්තර්ගතය. දිනපතා සුදුලූණු පරිභෝජනයට ගැනීමට හුරුවිම තුලින් රුධිර පීඩනය අඩුවන බවත් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත්ව වැඩිදියුණු වෙන බවත් සඳහන් වේ. සෙම්ප්‍රතිශ්‍යාව සමඟ වැල‍ඳෙන වියළි කැස්ස තත්වය සමනය කිරීමට සුදුලූණු පරිභෝජනයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකාරයකි.
  • වියළි කැස්ස තත්වයන් ආසාත්මිකතා, විවිධ පාරිසරික බලපෑම් සාධක, ආසාදන සහ ඇතැම් ඖෂධ (ACE නිෂේධක, Zocor, coregh, actonel වැනි) හේතුවෙන් මෙන්ම ඇතැම් විට හඳුනානොගත් හේතුන් මත වුව ඇතිවිය හැකිය. දිගු කලක් පවතින කැස්ස තත්වය නිද්‍රා ඇප්නියාව, ආමාශයික-ආන්තයික ප්‍රතිවාහ රෝගය (GERD), මෙසොතෙලිඕමා,පෙනහළු පිළිකා වැනි යම් බරපතල සෞඛ්‍යය ගැටලුවක් -අවදානමක් පිළිබඳව සැකකල හැකි පූර්ව ලක්ෂණයක් වැනිය. එබැවින් වියළි කැස්ස තත්වය දිගු කල පවතින එකක් නම් එම තත්වය නොසළකා නොහැරිය යුතුය.
  • දිගු කලක් පවතින බරපතල කැස්ස තත්වයක්
  • සෙම සහ ශ්ලේෂ්මල සහිත කැස්ස තත්වයක්
  • කහින විට රෝස පැහැති ඛේටය හෝ රුධිරය පිටවීමක්
  • පපුවේ වේදනාව හෝ පීඩනයක් දැනෙන කැස්ස තත්වයක්
  • හුස්ම හිරවීම හෝ හති වැටීමක්
  • රාත්‍රිය පුරා නින්දක් නොමැතිව ඔබව අවදියෙන් තබන කැස්ස තත්වයක්
  • කටහඬ/ස්වරභංගත්වය ඇති කරවන කැස්ස තත්වයක්
  • අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.